නිසදැස්

උමතු

රතු පාට වෙස්මූණක් දාපු යකෙක්. ඇත්තටම ඌ යකෙක්ද? ඌට තිබුණෙ, මිනිස් අත පය කියල මට විශ්වාසයි. ඒත් ඒ මූණ භයංකරයි. මුඛය දෙපැත්ත පසාරු කරගෙන එළියට පැනපු විශාල උල් දත් දෙක, ගොරක මද වලටත් වඩා තද බොර පාට ඇස් ගෙඩි, ඒක වෙස්මූණක් තමයි. ඒත් හරි භයංකර වෙස්මූණක්. තව ඌට තිබුණා උල් නිය. ඒවයෙ මස් වැදලි  එල්ලිලා තිබුණා. කෙහොමහරි ඌට ඕන වුණේ මාව කන්න. එදා රබර් කැලේ මැදදි වගේම. මගේ මාංසෙ හප කරල උරා බොන තරමේ  අතෘප්තිකර අමනුස්ස ආසාවක් ඒ ඇස්වලින් මං දැක්කා. කොහොමත් ඒ අමනුස්සයෙක්නෙ. ඈතින් ඒ රූපෙ ආයෙම පෙනෙද්දි මගේ සරුවාංගෙම දාඩියෙන් පෙඟෙන්න ගත්තා. මට ආයෙම මතක් වුණේ එදා දවස. යක්ෂයාගෙ හෙවණැල්ල මගේ ඉහට උඩින් මුලින්ම වැටුණු දවස. 

මට ඒ දවස ගැන හරි හැටි නිනව්වක් නැති වුණත් එදා මහ පාළු මූසල දවසක් කියල මට මතකයි. මං හිටියෙ රබර් කැලේ මැද්දෙ තට්ට තනියම. බයක් නෑ. මොකටද මං බය වෙන්නෙ? රබර් කැලේ මැද පාර මට හුරුයි. ඒත් මොකද්දෝ නුහුරු කමකුත් නොදැනුණාම නෙමෙයි. එක පාරම ඒ අපුල හිතෙන පිළී ලේ ගඳ දැනෙන්න ගත්තා. ඒක ඉවසගන්න පුලුවන් එකක් නෙමෙයි. හුළඟ දරුණු වුණා කවදාවත්ම නොවිච්ච විදියට. ඒ තරම් සැඩ හුළඟක් කවදාවත්ම රබර් කැලේට හමන්නේ නැතුව ඇති. නෑ, මං පස්ස හැරිල බැලුවෙ නෑ. මං කළේ දුවපු එක. දෙවියනේ! ආයෙම ඒ ලේ ගඳ. මං ඇසිල්ලෙන් හැරුණා. එතන හිටියෙ රතු වෙස්මූණා.

ඒ යකෙක්. මට කෑ ගහන්න ඕනි වුණා. නෑ මං කෑගැහුවා. ඒත් උගුරෙන් ඒ හඬ පිටවුණේ නෑ. මං ආයෙම දිව්වා. ගොඩක් ඈතට දිව්වා. ඒත් ඈතට යන්න යන්න අර ලේ ගඳ මං ගාවින්ම දැනෙන්න ගත්තා. ඒ වෙලාවෙ දැනගත්තා මං “ඌ එන්නෙ මාව කන්න.”

උගේ කුණු ලේ ගඳ මුඛයෙන් “සමන්ති…” “සමන්තී…” කියල මුමුණනවා මට හොඳටෝම ඇහුණා. ඉහින් කනින් දාඩිය වැගිරෙද්දි මරණය කියන බය මාව ⁣වෙළාගත්තා. හරියට සර්පයෙක් වෙලා ගත්ත වගේ. මං ආයෙ දුවන්න හැදුවා. ඒත් මොකක්දෝ වෙලා මට අඩියක්වත් හොලවන්න බෑ. යක්ෂයා මං ළඟට ආවා. උගේ නියපොත්තකට මගේ ගවුම් කරේ පළුවක් ඉරුණා. ඌ හිනා වුණා. බය හිතෙන සද්දෙට හිනා වුණා. ඒ හඬ මට හුරුයි. මට විශ්වාසයි, ඒ හඬ මට හොඳටෝම හුරුයි කියල.

ඊට පස්සෙ… ඊට පස්සෙ හැමදේම අපැහැදිලි චිත්‍රයක් විතරයි. මට මතක නෑ. එක්කො මං ඒක හිතලම අමතක කරන්න ඇති. මට කෑගැස්සුණේ ඒ මූසල දවස මතකෙට ඇවිත්. සීලිමේ එල්ලිලා හිටි පංකාව සියවෙනි වතාවටත් කැරකෙමින් මට විරිත්තුවා. 

හුරුපුරුදු  බේත් ගඳට මං ඉව ඇල්ලුවා. ආයෙම වාට්ටුවෙ දොරකඩට මං ඇස් ගෙනිච්චෙ. ඌ මෙහෙටත් ඇවිත් මාව කන්න. මං දිහා බලලා ඌ හිනා වුණා. දෙවියනේ! මාව බේරගනිල්ලා… යක්ෂයා ඇවිල්ලා. මං උදව් ඉල්ලුවා. යකා මං දිහාවටම එනව. මුන්ට කන් ඇහෙන්නැද්ද? ඇයි මාව බේරනොගන්නෙ? මට ඇහුණෙ හිනා සද්ද. ඔක්කොම එකතුවෙලා මට හිනා වෙනව. කෙනෙක් යක්ෂයෙකුගෙ මාංසයක් වෙන එක හිනා වෙන්න ඕන දර්ශනයක්ද? යක්ෂ වෙස්මූණ මං ළඟමයි. අර අපුල ගේන පිළී ගඳ මුඛයෙන් ආයෙම ඌ “සමන්තී… සමන්තී…” කියල මට කතා කරනවා.එදා වගේම ඌ මගෙ ඇඟට කඩාපැන්නා. මං දැඟලුවා, ඉකි ගැහුවා, බෙරිහන් දුන්නා, ආයෙම ⁣හැමදේම බොඳ වෙලා ගියා. වමත පසාරු කරන් මහා වේදනාවක් දැනුණා.

හෝරාවක්, නෑ දෙකක්. සමහර විට ඊට වැඩි වෙන්න ඇති. මං ඇහිපිය හරිද්දි පුරුදු විදියටම පංකාව මට විරිත්තුවා.

“මට හිතෙන්නෙ එයා තවමත් හිතන් ඉන්නෙ ඒ මනුස්සය එයාගෙ පස්සෙ පන්නනව කියල”

“ඒත් ඒ මිනිහ මැරුණනෙ. මැරුණා නෙමෙයි මේකිමනෙ මරල තියෙන්නෙ.”

“අනේ මන්දා. කොහොම වුණත් උසාවියෙන් නඩු පවරන එකක් නම් නැහැ. මෙයා දැනටම මානසික රෝගියෙක්නෙ. තමන්ගෙම මාමාව මරා දමපු”

මිසීලා දෙන්නෙක් වෙන්නැති, කතා වෙනව මට යන්තමට ඇහුණා. මොන විකාරයක්ද ඒ කියවන්නෙ? යක්ෂයාව මං මැරුවා! මං මානසික රෝගියෙක්! මුන් සේරටම පිස්සු. මං පිස්සියෙක් නෙමෙයි. මං ඌව මැරුවෙ නැහැ. ඌ තමයි මාව හප කරන්න ආවෙ. ඇත්තටම මං ඌව මැරුවද? වෙන්න බැහැ. මට මුකුත් මතක නැහැ.

ඒත් මං එක දෙයක් දන්නව. යක්ෂයා තාම ඉන්නවා. මගේ දිහා බලාගෙනම.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සෙත්මිණි දිලේකා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment