මේ දවස් වලනම් එළිමහනේ ඉන්න බැරි තරම් අව්වකුත් නෑ ඇළ දොළ පිටාර ගලන තරම් වැස්සකුත් නෑ. හැම තැනම පට පාට මල් පිපිලා ,තව වෙනදට වඩා ලස්සනට සද්දෙට ඇහෙන කුරුල්ලන්ගේ කිචි බිචිය, ඒ අතර ඇහෙන ආගන්තුක කුරුල්ලෙක්ගේ අමුතුම කුරුලු ගීය,මුළු වට පිටාවම අමුතුම එළියක් අරං. වසන්ත කාලේ ඇවිල්ලා ,අවුරුදුත් එනවනේ. පරිසරයත් හරි හරියට අලුත් අවුරුද්දට ලෑස්ති වෙන හැඩයි.
මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි
රට වැසියන්ගේ ආයු වැඩෙන්නයි
සිංහල හා හින්දු ජනතාව සෑම අවුරුද්දක් පාසාම බක් මස අලුත් අවුරුද්ද සමරන අතර සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම නව අවුරුදු උදාව ලෙස හදුන්වයි. අලුත් අවුරුද්ද ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.
සිංහලයන් හා හින්දූන් ලෙස ජාතීන් දෙකක් වෙන වෙනම නව වසර සැමරුවත් අවුරුදු චාරිත්‍ර වල වැඩි වෙනසක් දක්නට නොලැබෙන්නේ දෙගොල්ලන්ම අවුරුදු සමරන්නේ කෘෂිකාර්මික හා ආගමික විශ්වාසයන් පදනම් කරගෙන වීමත්, දෙගොල්ලන්ගේම අරමුණ රටේ සෞභාග්‍යය හා තමාගේ තමා අදරය කරන අයගේ, සියලු රට වැසියන්ගේ හා ලෝක වැසියන්ගේ සෞභාග්‍යය සතුට වර්ධනය වීමත් වන නිසාය.
අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට සියලු දෙනා ලබා දෙන්නේ මුල් තැනකි . නව සඳ බැලීමෙන් ආරම්භ වන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැකතට ළිප ගිනි මෙලවිම, ආහාර අනුභවය , වැඩ ඇල්ලීම , ගණුදෙනු කිරීම , හිසතෙල් ගෑම වැනි චාරිත්‍ර ඉටු කර අවසානයේදී රැකී රක්ෂා සදහා පිටව යාමේ චාරිත්‍රයෙන් අවසන් වේ. පවුලේ ගෘහණිය මුල් කොට ගෙන සිදු කරන මෙම චාරිත්‍ර වාරිත්‍ර වලින් පවුල තුළ සතුට සමගිය තවත් වර්ධනය වේ.අලුත් අවුරුද්දේදි සිංහල හා හින්දු දෙපිරිසම ආගමික කටයුතු වලට වැඩි ඉඩක් ලබා දී පන්සලේ හා කෝවිලේ පුණ්‍ය කාලය ගත කරයි.අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙස සිංහලයන් හිස තෙල් ගා ප්‍රාර්ථනා කරන්නේත් හින්දූන් මරුති නියර් නැමති ඖෂධය ගා ස්නානයෙන් බලාපොරොත්තු වන්නේත් ආයු වර්ධනයයි.
සියලු දෙනා මහ ගෙදරට එක්ව තම මව පියා සීයා ආච්චි ඇතුළු පවුලේ සැම සමගින් සමරන මෙම අවුරුද්ද නිසා කුඩා දරුවන්ට ඉහත සදහන් චාරිත්‍ර වාරිත්‍ර ,පවුලේ සමගිය ගැන වැටහීමක් ලැබෙන අතර එමගින් අපේ සංස්කෘතිය අනාගතයේදීත් නොනැසී පවතිනු ඇත.
අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලින් අමතරව අවුරුදු උත්සව යනු මෙම සංස්කෘතික මංගල්‍යයේ මුල් තැනක් ගන්නා තවත් සුවිශේෂී අංගයකි . අතීතයේ සිට පැවත එන ජන ක්‍රීඩා වලට අමතරව නවීකරණය වූ තවත් ක්‍රීඩා වලින් සමන්විත මෙම අවුරුදු උත්සව කුඩා තරුණ මහළු සියලු දෙනාට වයස් බේදයකින් තොරව සතුටු වීමට, විනෝද වීමට හමු වන කදිම අවස්තාවකි. අවුරුදු කුමාරිය තේරීමේ තරඟය අවුරුදු උත්සවයේ ඉතා සිත් ගන්නා සුළු තරගයක් වන අතර සාම්ප්‍රදායික ඇදුමින් සැරසුණු තරුණියන් මේ සඳහා සහභාගි වේ. ගමේ සුන්දර තරුණියක් එයින් ජය ලබන අතර කොට්ටා පොර ගැසීම , ග්‍රීස් ගහේ නැගීම,කඹ ඇදීම වැනි තරග මගින් ගමේ සිටින ශක්තිවන්ත තරුණයන් ජය ලබයි . හුදෙක් ජයග්‍රහණය පමණක් බලාපොරොත්තුවෙන් නොව විනෝදය සතුට උදෙසා සිදු කරන මෙම අවුරුදු ක්‍රීඩා , සියලු දෙනාට එකට එකතු වී පෙර තිබූ තරහ මරහ අමනාපකම් අමතක කරගැනීමට ලැබෙන කදිම අවස්තාවකි.
ඉතිං , සියල්ලන්ම එකතු කරමින් හිරු කුමාරයාගේ නව සංක්‍රමණයත් සමඟ ළඟ ළගම එන මේ අලුත් අවුරුද්දත්, සියලු දෙනාගේ තරහ මරහ සියල්ල අමතක කර එකා මෙන් එක්වී සතුටින් සමරමු.
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
පුත්තාණ්ඩු වාල්තුක්කල් !!
Leave a Comment