“ඕව ලෙඩ කෑමනේ”
“ඔය කෑම තියෙන ලෙඩ්ඩුන්ට කන්ඩනේ”
ජීවිතයේ කෙදිනක හෝ මෙවැනි වදන් ඔබ අසා තිබෙනවා නේද?
Colombo Beacon සුව ධරණී සුව චාරිකාවෙන් අද අපි කතා කරනුයේ එවන් ලෙඩ කෑමක් ගැනයි. ලෙඩ කෑමක් ලෙස හැඳින්වුවත් ගම්බද ප්‍රදේශ වල සෑම ගෙදරකම පාහේ දක්නට ලැබෙන එළබටු ශාකය ගැනයි මේ විස්තරය.
එළබටු
උද්භිද නාමය :- Solanum insanum
ඉංග්‍රීසි නාමය :- Thai Eggplant
වෙනත් නම් :- තලන බටු, තැලුම් බටු
එළබටු ශාකය සොලනේසියේ (Solanaceae) කුලයට අයත්ය. මීටරයක් පමණ උසට වැඩෙන බූව සහිත ශක්තිමත් ශාකයකි. ශාකය පුරා ඉතා අධික ලෙස විහිදුණු ශක්තිමත් තියුණු කටු වලින් සමන්විතය. පත්‍රය 20cmක් පමණ දිගින් සහ 4 – 12cm අතර පළලින් යුක්ත වේ. සුදු හෝ දම් පැහැති පුෂ්ප හට ගන්නා අතර ඵලය ගෝලාකාර වේ. ඉදුණු ගෙඩි කහ පැහැයෙන් යුක්ත ය.
එළබටු ශාකයේ සම්භවය ලෙස හැඳින්වෙන්නේ අප්‍රිකානු ප්‍රදේශයි. වර්තමානයේ මැද පෙරදිග, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැඩගස්කරය, මුරුසිය ආදී රටවල එළබටු ශාකය ව්‍යාප්තව පවතී. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම වියළි කලාපයේ හේන් ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ. සාමාන්‍යයෙන් එළබටු ශාකයක් යනු නිසරු පසෙහි සංකේතයක් ලෙස ද ගැමියන් හඳුන්වනු ලබයි.
ඖෂධීය ගුණ සැලකීමේ දී මුළු ශාකයම ඖෂධ ලෙස යොදා ගනී. එලෙස එළබටු උපයෝගි කර ගනිමින් සාදාගන්නා බටු පැණිය යනු ආයුර්වේදයේ ප්‍රසිද්ධ ඖෂධයකි.
එළබටු ත්‍රිදෝෂ සමනය කරයි. දීපන, පාචන ග්‍රාහී ගුණයෙන් යුක්ත ය. බාහිර වශයෙන් ඇති වන වේදනා සඳහා ඉතා ගුණදායක වේ. දද, කැසිලි, කෘෂ්ඨ ආදියට ගුණදායක ඖෂධයකි.
වාජීකරණ ගුණයෙන් යුක්ත වේ. එමෙන්ම ස්වාස, ඇදුම, කාස නාසක ගුණයෙන් යුක්ත ය. උදුගොව්වන් කෑමට, අර්ශස් රෝගයට සහ උදර වේදනාවන්ට ගුණ ලබා දේ . ළදරුවන්ගේ කිරි වමනයට ද එළබටු උපයෝගී කරගනිමින් සකසාගන්නා අත්බෙහෙත් ගැමියන් විසින් අතීතයේ භාවිතයට ගෙන ඇත.
කල්ගත කැස්සට සහ නිතර ස්වසන රෝග සෑදෙන අයට පොල් කිරි රහිතව සකසන ලද එළබටු කොළ කැඳ පානය කිරීම ඉතා ගුණදායක වේ. තව ද එළබටු ගෙඩි කිරට සහ තෙලට ව්‍යංජන ලෙස සකසා ගත හැක.
ඉතා පහසුවෙන් පැළ කරගත හැකි එළබටු ශාකයක් ඔබේ ගෙවත්තට ද එක් කර ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වී සිටීමට ප්‍රතිශක්තිය ලබා ගත හැකි ය.
මූලාශ්‍ර:- දේශීය ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ප්‍රකාශනයක් ඇසුරිනි.
Leave a Comment