ආදරය

ඒක ඉස්සරහට…

මා සියල්ල අත්හැර ඇති බැව් නොපවසමි.මන්ද මට ඔබව අත්හැර දා යාමට හැකි යැයි  සීතිම ද ප්‍රෝඩාවක් බැවිනි. එය අසීරුය.වෙහෙසකරය. ආදරය මේ යැයි කියා දුන්නෙ නුඹ ය.එහෙත් කිසිදා මට ආදරේ යැයි වදනකුදු නොකීයූ මිනිසා නුඹ ය.මම පුන පුනා මග බැලීමි.නුඹ සිනාසේ.වැලද ගෙන මා නළල මත හාදු තබා කොපුල් සිහිනිවට කොනිතිගසා අතැර දමන්නා නුඹ ය.ඉතින් මා හට හඬන්නට කියා දුන්නෙ නුඹ ය.
“ගෑනූ අඩන්න ඕනෙ තාලෙකට….”
නුඹ සිනාසෙමින් ගයයි.
මම උගනිමි.

නුඹ කිසිවකුදු නොදොඩයි.නුඹ දඟය.ඒ මට නොවේ.නුඹ කුප්ප කතා කියා කෙල්ලන් නලවයි.ඒත් මා නොවේ.මටත් ඒ කතා අවැසිය.එහෙත් නුඹ මට කියන්නේ,කියවන්නෙ මට ගෝචර වන්නට කල්පයක් යන නුඹ ට තෙරේන මඟුල් ය.නුඹ පාව්ලෝ දනී.සන්නා,සිල්වා,වික්‍රමසිංහ, දනී.හිට්ටල්,චැප්ලින්,ගුවේරා…රෝමියෝ දනී.මා නොදනි.මෙවුන් ඔක්කොම දන්නා නුඹ මා පමණක්ම නොදනී.මම බලා සිටිමී.නුඹ සිනාසේ.

“සිතින් මා නොසැලී හිදිද්දී
කදුළ නුඹ ඇවිදින්…”
මම නැළවෙමි.මට මදි ය.මෙහෙම නැලවී මදිය.එහෙත් මට නැළවෙන්නට කියාදුන්නේ නුඹ ය.මම ගී අයදිමි.ස්වර උච්ඡ ය.දැන් මට නටන්නට හැකි ය.ඉතින් මට නටන්නට කියා දුන්නෙ නුඹ ය.නිරුවත් සිතින් නුඹ වැළද මට නිදන්නට අවැසි ය.නුඹ මෑත ය.මට ඈත ය.මම බලා සිටිමි.නුඹ සිනාසේ.

මේ ආදරේ දැයි මම නොදනිමියි මුසාවාදා මොකට ද?
එලි පිට හෙළුවැල්ලෙ කදුළු අස්සෙ මම උමතුවෙන් දොඩවමි.නුඹ  දන්නෙ ගයන්නට පමණි.අනන්ත රාත්‍රින් ගතවේ.නුඹ දිලිසෙන ඇස් අතර මා සිර කරයි.තුරුල්ලෙ පමනටත් වඩා ඉඩ තබා දෑතක් දුරින් මා තබා ඔබ ⁣⁣කවි ලියයි.මම බලා හිදිමී.නුඹ සිනාසේ.

“ඇයි?”
මම අසමි.
“උඹ මලක්…”
නුඹ කියයි.
“මල් තියෙන්න ඕන ගස් වල…මම ගහක් නෙවෙයි…”

මම හඬමි.
නුඹ සිනාසේ.
මේ ආදරේ යැයි සිතමි.
නුඹ මා නොදනී.
මා නුඹ ……

නුඹට මා සුවද ය.සිනිදු ය.එපමනය.මම මලකි.ගසේ උඩ අත්තෙ තනිව හිදින්නෙමි.ඉතින් නුඹ සුළගක්ව එනවානම්…මම බලා සිටින්නෙමි.

මෑතකින් නුඹ සිනාසෙනු පෙනේ.

හද ස්වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කළේ කවුරුන්දෝ…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවිත්‍රානි දිසානායක

නීති පීඨය - උපාධිධාරි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment