“අනේ ඒකත් බෑ… දැන් කීයක් නම් අතැරියද අප්පා… අනේ දෙවියනේ උදවු කරන්නකෝ… තව පැයයි තියෙන්නේ…”
තිසලිට දහඩිය දමන්නට පටන් ගත්තේ ය. ඇය මේ උසස් පෙළ භෞතික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ලියමින් සිටින්නේ දෙවැනි වතාවටයි. පළමු වතාවට වඩා පහසු ප්‍රශ්න පත්‍රයක් බලාපොරොත්තු වුවත් මෙතරම් අමාරු ප්‍රශ්න ඈ මින් පෙර කිසිදාක දැක නැත.
“අනේ මොනාද අනේ මේ අහලා තියෙන්නේ… මේකට නම් 20ක් වත් එයිද මන්දා… මට බෑ අප්පා…”
තිසුලි මෙලෙස කඩාවැටුනේ උත්සාහ කරන්නටවත් ඇති මානසිකත්වය බිඳ දමාගනිමිනි.
“මේ පේපරේ විසික් කරලා දාලා මං ගෙදර යනවා අප්පා…”
තිසුලිගේ දෙනෙතින් කඳුළු වැටෙන්නට පටන් ගත්තේ ය. ඇය කළ නොහැකි සියළු ප්‍රශ්න වලට හිතුමතේ පිළිතුරු ගැසුවා ය. එවන් ප්‍රශ්න 20කට ආසන්න ප්‍රමාණයක් තිබුණි. සියළු බලාපොරොත්තු බිඳී ගිය තිසුලි හැඬූ මුහුණින් ම පිළිතුරු පත්‍රය භාර දුන්නා ය.
“ලේසිද කියලා නම් අහන්න එපා අනේ… මට තරහා ගිහින් ඉන්නේ…!”
පිළිතුරු පත්‍ර භාර දුන් සැනින් තිසුලි වටා රොක් වූ ඇගේ මිතුරියන්ට එසේ පවසා ඈ තම බෑගය අසලට ගොස් පෑන් පැන්සල් එය තුළට දමන්නට පටන් ගත්තා ය. එවිට ඇය අසලට ආවේ ඇගේ හොඳම මිතුරිය යි.
“අම්මෝ හලෝ… පට්ට අමාරුයි නේ… ”
“කියලා වැඩක් නෑ දැහැමියෝ… මට බෑ අනේ… මං අර ආපු එකෙන් campus යනවා…”
” අනේ මේ පිස්සුද හලෝ… ඔයා medicine යන්නම ඕනි… ඔයාට ලකුණු ඇති හලෝ…”
තිසුලි නිශ්ශබ්ද වූයේ තවදුරටත් විස්තර කළ ද ප්‍රශ්න පත්‍රයේ ඇයට දැනුනු කටුක බව දැහැමි විශ්වාස නොකරන බව දන්නා නිසාවෙනි.
පළමු වර උසස් පෙළ විභාග ප්‍රතිඵලය වෛද්‍ය විද්‍යාලයට තේරීමට ඉතා ආසන්න වුවත් විශ්ව විද්‍යාල වලට අයදුම් කිරීමෙන් පසු ඇය තේරීපත්ව තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යා පාඨමාලාවකටයි. දෙවෙනි වර විභාගයට සතියකට පෙර මෙය දැනගන්නට ලැබීමෙන් ඇය දෙලොවක් අතර අතරමං විය. නමුත් එම පාඨමාලාවට අයදුම් කිරීමේ අවසන් දිනය විභාගය අවසන් වූ පසුව වැටී ඇති නිසා එය ඇයට සහනයක් විය.
” හැම mcq එහෙකටම 45න් උඩ ගන්න බැරි වුණොත් මං register වෙනවා…”
45ට වඩා ලකුණු ගැනීම එතරම් පහසු නොවෙයි. නමුත් වෛද්‍ය පීඨයට තේරෙන්නට නම් එවන් ලකුණු ප්‍රමාණයක් ලබාගත යුතුය. තේරීපත්ව සිටින පාඨමාලාවටත් ඇගේ අකමැත්තක් නොතිබුණි. ඇය වඩාත් සතුටු වූයේ එවිට වෛද්‍යවරයෙක් වීමට වඩා ඉක්මනින් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් කිරීමට හැකි වන නිසාවෙනි. එය මෝඩ අදහසක් යැයි බොහෝ අය ඇයට පැවසුවත් එය පිළිගැනීමට ඇගේ කැමැත්තක් නොතිබුණි.
වෛද්‍යවරියක් වීමට සිහින දකින්නට ඇයට සිදු වූයේ තම පියාගේ දැඩි ආශාව නිසාවෙනි. තිසුලිගේ මව නිවසින් පිටව ගිය දිනයේ පටන් තිසුලිගේ සහයටත් සෑම දෙයකටමත් සිටියේ තම පියා පමණි. පියා ගෙන ආ පුංචි අම්මා මුල් අවදියේදී සුරංගනාවියක් වුවත් පසුවට යක්ෂණියක් වූවාය. පිටින් බලන්නෙකුට නම් ඇගේ කියන්නට තරම් වරදක් නොමැත. ඇය හැසිරෙන්නේ උපාසිකාවක් මෙනි. එහෙත් ඇගේ සිතේ ඇති ඊර්ෂ්‍යාවේ තරම දන්නේ නිතර බැනුම් අසන තිසුලි පමණි. පියා තිසුලිට ඇති දැඩි සෙනෙහසට ඈ ඊර්ෂ්‍යා කළ නිසා ඇයට සැම විටම තිසුලිව පෙනුනේ තම නිවසට ආ මූදේවියක් ලෙසිනි. ඉතින් අහිංසක තිසුලි තමා කෙදිනකවත් අසා නොමැති වාග් කෝෂයකින් නිතර බැනුම් අසන්නට පුරුදු වී සිටියා ය.
මේ නිසා නිවස ඇයට බැණුම් මඩුවක් විය. සෑම ළමයෙකුම නිවාඩු දින වලට ප්‍රිය වුවත් තිසුලිගේ කැමැත්ත වූයේ සතියේ දින 7ම දවසේ පැය 24ම පාසලේ සිටින්නටයි. පෞද්ගලික ජීවිතය අපායක් වූ තිසුලිගේ දිවියේ එකම සතුට වූයේ අධ්‍යාපනයයි. ගුරුවරුන් මිතුරන් තිසුලිගේ මුවට සැමවිට සිනහව ගෙනෙන්නේ ය. මේ නිසා පොත පතට ඇලිච්ච ජීවිතයක් ගෙවූ තිසුලි අධ්‍යාපනයට දක්ෂ වීම අරුමයක් නොවේ.
අණුක ජීව විද්‍යා පාඨමාලාවට අයදුම් කිරීමට ඇති අවසන් දින 3 එළඹුණි.
” bio වලට නම් A එකක් එයි. Chemistry වලටත් A ඒවි; ඒත් ගිය සැරේට වඩා අඩුවෙන්. Physics නම් C එකක් වත් ආවොත් පුදුමයි…. ඒත් ඉතින් හැමෝටම අමාරු නිසා… අනේ මන්දා…”
ලැබී ඇති පාඨමාලාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නට ඇති ආසාව කෙමෙන් වර්ධනය විය. නමුත් ඒ සෑම විටම තම පියාගේ සිහිනය මතක් වන නිසාත් දන්නා හඳුනන සෑම කෙනෙකුම පාහේ ඈ වෛද්‍යවරියක් වන තුරු බලාසිටින බව මතක් වන විටත් ඇයට තීරණයකට එළඹීම පහසු නොවීය.
අවසානයේ අයදුම් කිරීම සඳහා ඇති අවසන් දවසේ ඇය අයදුම් පත්‍රය තැපැල් කළේ ය.
“මේ සැරේ result එකෙන් මීටත් වඩා අඩු එකක් ආවොත්… අපරාදෙ නේ එතකොට… කමක් නෑ ඒ නිසා…”
තැපැල් කළ දවසේ පටන් තිසුලිට වෛද්‍ය සිහින අමතක වුණි. මිතුරියන් විටෙක නොයෙකුත් දේ පැවසුවත් ඊටත් වඩා ඇයට අලුත් විශ්ව විද්‍යාල ජීවිතය ගැන සිතන්නට දේවල් තිබුණි. නමුත් සිත පෑරුණු අවස්ථා නැතුවාම නොවෙයි. ඒ තිසුලිගේ පියා තම සිහිනය ගැන මතක් කරනා විටයි.
” එතකොට මේ සැරේ medicine තේරුනොත් ඕකෙන් අයින් වෙන්න පුළුවන්ද? ”
“අනේ තාත්තේ මේ සැරේ කොහොමත් select වෙන්නේ නෑ…”
” කියන්න බෑනේ පුතේ… එහෙම වුණොත් අයින් වෙන්න පුළුවන්ද ?”
” බෑ තාත්තේ එකකට register වෙලා නම් අයේ තව ඒවාට යන්න බෑ කියලා අර පොතේ තියෙනවා…”
“අනේ මන්දා ඔයා කරන වැඩ… මගේ නම් ආසාව doctor කෙනෙක් කරන්න… ඊට එහා ඔයා ඕන දෙයක් කරගන්න… මං නෑ ඕවට… ඕක කරාම මොකද වෙන්නේ…?”
” ඉතින් මේ සැරේ ඊටත් අඩු එකක් ආවොත් කියලා මං දැම්මේ…”
” ඕන එකක් කරගන්නවා ඉතින්…”
තිසුලිගේ පියාට කේන්ති ගියේ හිතේ වේදනාවටයි. තිසුලි ඒ බව හොඳින් දනියි. නමුත් ඒ ගැන කල්පනා කරන්නට දැන් තිසුලිට ආසාවක් නැත. දැන් ඇය ඇගේ විශ්ව විද්‍යාල ජීවිතය ගැන සිහින මවයි.
” මේ ඔයාට letter එක ආවද? ”
” නෑනේ අනේ තාම…”
” ආ.. මට ආවා… අපිට පටන් ගන්නේ දෙසැම්බර් 2 ලු…”
” හෑ!!! මං මොකක් හරි වැරදියටවත් දාලාද..??? ”
” නෑ නෑ බන් එයි එයි… තව ටිකක් ඉන්නකෝ… මං ඉතින් management faculty නේ… අනික ජපුර නේ…. ඔගොල්ලන්ට වෙනස් ඇති… පරක්කු වෙලා වෙන්න ඇති පටන් ගන්නේ…”
” අනේ මන්දා… අහන්න කෙනෙක් වත් නෑනේ….”
තිසුලිගේ තවත් මිතුරියකවන නුවනි එසේ පැවසූ දා සිට සෑම දිනකම තිසුලි ලියුම් මාමා එනකන් බලා සිටියා ය. මාස දෙකක් පමණ කිසිදු තොරතුරක් නැතිව බලා සිටි තිසුලිට ප්‍රශ්න ගොන්නක් පැන නැගුණි.
” මං ඔක්කොම හරියට කළා නේ… 2nd shy කරාම cancel වෙනවද දන්නේ නෑ… අහන්න කෙනෙකුත් නෑනේ… ශික්… කමක් නෑ ඉතින්… එහෙම උනොත් මං 2nd shy එකෙන් දානවා.. ”
බලාපොරොත්තු බිඳීගෙන එන විටම ලියුම ආවේ ය. තිසුලි සතුටින් ඉගිලුනි.
” තාත්තේ… ලියුම ආවා…”
” ආ… කවද්ද පටන් ගන්නේ..? ”
” ඉන්න කියවලා බලන්නං… කොළ ගොඩක් තියෙනවා…”
ආසාව පිරුනු තිසුලි ලියුම් කවරය පරිස්සමට ඉරා ඇතුලේ තිබූ කොළ එළියට ගත්තා ය. ඒ සියල්ල ඈ ඇල්ලුවේ ඉතා ප්‍රවේසමිනි. කිසිදු විදියකින් ඒවාට හානියක් නොවන ලෙසය. ඉන්පසු ඇය ඉතා ඉවසීමෙන් සියල්ල කියවූවා ය. ගෙන යන්නට අවශ්‍ය දේ සියල්ල වෙනම කොළයක සටහන් කරගත්තා ය.
” january 17 යන්න තියෙන්නේ… එදාට ලියකිවිලි බාර දීලා english test එහෙකුත් කරන්න තියෙනවලු… ආයේ lectures පටන් ගන්නේ march 16…”
” අපෝ අයේ මාස දෙකක් ඉන්න තියෙනවා නේ…”
” ඔව්… ආ… දෙමවුපියන්ටත් වෙනම programme එකක් තියෙනවා”
තවත් මාස 2ක් නිවසට වී සිටීම කනස්සල්ලට හේතු වුවත් ඇය සැනෙකින් අවැසි දේ සූදානම් කරන්නට පටන් ගත්තා ය.
ජනවාරි 17 උදා වුණේ ය. පියාගේ ආසාව වෙනත් දෙයක් වුවත් මෙදින ඔහුද ඉතා සතුටින් පසුවුනි.
“ඔක්කොම ගත්තා නේ… ? ”
” ඔව් තාත්තේ…”
” එහෙනම් යමු… 8.30ට එතන ඉන්න එපැයි…”
කොළඹ නගරයට කෙතරම් පැමිණ තිබුනත් මේ තියෙන්නේ කොළඹ campus එක කියා තිසුලිගේ පියා කෙතරම් පෙන්වා තිබුනත් එම ගොඩනැගිලි දෙස තිසුලි උවමනාවෙන් බැලුවේ එදිනයි. විශ්වවිද්‍යාල භූමියට පය තබන විට ඇයට විශාල සතුටක් ඇති වුණි. එහි සියල්ල හොඳින් සංවිධානය කර තිබූ අතර සිටි සෑම අයෙක්ම ඉතා කාරුණික අය වූහ.
” නංගිලා මල්ලිලා මාත් එක්ක එන්න… අම්මලා තාත්තලා මේ hall එකට යන්න…” එහි සිටි කෙනෙක් පැවසී ය.
තාත්තාට ඔළුව වනා තිසුලි අනිත් අය සමග එක් වූවා ය. තාත්තා පැවසූ පරිදි එම ශාලාවට පිවිසුනි. ඉන් පසු තිසුලි සහ අනෙක් අය ශාලාවකට රැගෙන යනු ලැබුවේ ය. ඒ අතර තුර හමුවෙන සියලු දෙනාට සිනවෙන් සංග්‍රහ කරන්නට තිසුලි අමතක නොකළා ය.
” ඔයාගේ physical ද?”
තිසුලි අසල වාඩිවී සිටි ගැහැනු ළමයා ඇසුවේ ය.
” නෑ මං molecular biology… ”
” ආ අර අතන ඉන්න එක්කෙනත් molecular…”
” ආ…”
” අනේ මට තාම අපේ අයගෙන් එක්කෙනෙක් වත් හම්බවුනේ නෑ.. කොහේ ඉන්නවද මන්දා…”
” ආ ඔයාගේ ඉස්කෝලේ අයද..”
” නෑ group වලින් අදුරගත්ත physical අය.. ඔයාට යාළුවෝ හම්බුනාද ?”
” නෑ… මං නම් මේ කාවවත් අදුරන්නේ නෑ..”
” ඔයා අපේ group එකේ නැද්ද?”
” නෑ… කොයි group එකේද? මාවත් add කරන්නකෝ… ”
“හරි ඉන්න…”
එසේ පවසනවාත් සමගම ඔවුන්ව තවත් තැනකට රැගෙන ගියේ ය. Group ගැන දෙන්නටම අමතක විය.
කටයුතු සියල්ල අවසන් විය. තිසුලි ගේ පියා තිසුලි එන තුරු බලා සිටියේ ය.
” කොහොමද යාළුවො හම්බුනාද?”
” ඔව් තාත්තේ… ශෝක්… හරි හොඳයි ඒගොල්ලෝ…”
තිසුලිත් තාත්තාත් දීර්ඝ කතාවක් සමග නිවසට පිටත්ව ගියේ හදපිරි සතුටකිනි.
” දැන් ආයේ පටන් ගන්නේ මාර්තු 16 නේ?”
” ඔව්… English බැරි අයට වෙන්න ඇති orientation කියලා එකක් තියෙනවා… අර English test එකේ ලකුණු අඩු අයට කතා කරනවා ඇති…”
මාර්තු 16ට කලින් සතිය තිසුලි ඉතා කර්‍යබහුල විය. අවැසි දේ සූදානම් කිරීමේ කෙලවරක් නැත. ඒ අතරතුර මුහුණු පොතේ සැරි සරන්නටත් වේලාවක් තිබුණි.
මුහුණු පොතේ සැරිසරන විට තම විශ්වවිද්‍යාලයේ නම තිබූ පළ කිරීමක් ඇය දුටුවේ ය.
” මියුරු දැහැන..? 19/20 බැච් එක ලු නේ… මාත් ඉතින් 19/20 නේද?
තිසුලි එම පළ කිරීම කළ මුහුණු පොතේ මිතුරියගෙන් අහන්නට සිතුවේ ය. ඇය හඳුනන කෙනෙක් නොවුනත් තිසුලි පසුබට වූයේ නැත.
” Hi.. ඔයා කොළඹ campus ද? ”
වාසනාවට හෝ අවාසනාවට එම මිතුරිය එවේලේම පිළිතුරු දුන්නා ය.
” ඔව්”
” ඔයා මොකේද? ඕගොල්ලන්ට පටන් ගත්තා ද? ”
” ඔව් මං physical ”
” ආ මං molecular biology… අපිට නම් තාම පටන් ගත්තේ නෑ… ”
” මෙතන mb අයත් ඉන්නවා.. ”
” mb කියන්නේ? ”
” molecular biology ”
තිසුලිගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය.
” ඈ ඒ කොහොමද? මං දන්නේ නෑනේ පටන් ගත්තා කියලා…? ”
” ඔයාට ලියුමක් ආවේ නැද්ද? ”
” නෑ.. එකක් ආවා ඒකෙ ජන්වාරි 17 එන්න කියලා තිබුනා… අයේ මාර්තු 16 පටන් ගන්නවා කියලා තිබුනා…”
” ඒකේ නැද්ද පෙබරවාරි 17 orientation පටන් ගන්නවා කියලා? ”
” orientation? ටිකක් ඉන්න මං බලන්නම්”
තිසුලි දිව ගොස් එම ලියුම සොයා නැවත කියෙව්වේ වෙවුලමිනි.
” හපොයි….. දෙවියනේ…. මං මේක දැක්කෙ නැත්තේ කොහොමද…. අනේ….ඉවරයි…. සේරම ඉවරයි….”
😭😭😭😭😭😭😭😭
***මෙහි එන නම් ගම් චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
Leave a Comment