ආගමික ඉතිහාසය දැනුම

කටුගෙයක  අමරණීය  වු  ඇත් පන්තියේ රජු රාජා

Written by Ushari Fernando

 ආසියාවේ ප්‍රථම වරට ජාතික උරුමයක් බවට පත් කළ ලාංකේය ඇත් රාජයාණන් පිළිබඳ වසර 50 ක මතකාවර්ජනයක් සමස්ත සමාජය සතුව පවතී.

1925 දී මඩකලපුව එරාවුර් ප්‍රදේශයෙන් සොයා ගැනෙන රාජා හස්තියා ලබා දෙන්නේ මාම්පිටිය දිසාවට යි. ඔහු විසින් තෑගි ඔප්පුවකින් 1937 වසරේ දී දළදා මාලිගාවට ලබා දෙන අතර ප්‍රථම වරට 1953 දී දළදා කරඬුව රැගෙන යාමේ භාග්‍ය ඔහු විසින් හිමි කර ගන්නා ලදී .

ලාංකේය ඉතිහාසයේ මුදුන්මල්කඩවන් දළදා මාලිගයේ සදාතුක කරඬුව ගෙන යාමේ භාග්‍ය උතුම් රාජා හස්තියා සතු වන්නේ අනෙක් ඇතුන්ගේ කුලයන්ට සාපේක්ෂව ඔහු ඉපදුණු කුමරි කුලයේ ලක්ෂණ ප්‍රකට කරමිනි. ඔහු කළ සේවය අගය කිරීමෙහි ලා හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ අනුමැතියෙන් ඔහුව කෞතුකාගාරයක තැන්පත් කර ඇත.

රාජා පිළිබඳව අප නොයෙකුත් කතා අසා ඇත. ඇතැම් කරුණු පිළිබඳව නිශ්චිතභාවයක් ඇතත් ඇතැම් කරුණු සනාථ කර ගැනීමේ දී බොහෝ ගැටලු මතු වේ.අතීත සමාජයේ මිනිසුන්ට ඔහුව සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වුවත් ඇතැම් අයට එම අවස්ථාව ගිලිහී ගොස් ඇත. නමුත් රාජා හස්තියාගේ සිරුර කටු ගෙයක තැන්පත් කිරීම තුළ ඔහුව ජීවමානව දකිනවා සේ හැඟීමක් පසු පරම්පරාවේ අපට හැඟී යනු ඇත.

ඉතා පහසුවෙන් බොහෝ දේවල් අමතක කර දමන අප රටේ මිනිසුන් මෙවැනි වූ උතුම් කර්තව්‍යයක් සිදු කළ හස්තියෙක් කෞතුකාගාරයක තැන්පත් කිරීම රටේ අභිමානයට මෙන් ම කෘතගුණ සැලකීමක් ලෙසට  හඳුන්වයි. අප සමාජය තුළ සිටින මිනිසුන් බොහෝ විට ආගමික වටපිටාව කෙරෙහි විශේෂ නැඹුරුවක් දක්වන බැවින් රාජාව කටු ගෙයක තැන්පත් කිරීම ඉතා යහපත් කාර්යයක් ලෙස සලකයි. එසේ ම හස්තියා මිය ගිය ද අදටත් ජනතාව තුළ ඔහු පිළිබඳ ව ඇත්තේ ගෞරවයකි. අභිමානයකි. සත්ත්ව කුලයකට අයිති වුව ද මිනිස් ආත්මයකට කළ නොහැකි වූ අග්‍රගණ්‍ය කර්තව්‍ය වෙනුවෙන් ඔහුව කටු ගෙයක තැන්පත් කිරීම එදා සමාජය තුළ ද විවේචනයක් නොවූයේ රාජා ඉටු කළ අපරිමිත මෙහෙය අගය කරනු වස් ය. 

සමස්ත සමාජය දෙස විමර්ශනශීලී ඇසින් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ ඇත් රාජයා කටු ගෙයක තැන්පත් කිරීමට ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය ගත් තීරණය අනභිභවනීය වන බවයි.   

දළදා කරඬුවත් සමඟ ගමන් කිරීම සුළුපටු කාර්යයක් නොවේ. එයිනුත් එම අවස්ථාව ලැබෙන්නේ ද දුර්ලභ ගණයේ හස්තියන්ට ය. කෞතුකාගාරයක් තුළ හස්තියාගේ දේහය තැන්පත් කිරීම තුළ තවත් වසර ගණනාවක පරම්පරා විශාල ප්‍රමාණයකට රාජා පිළිබඳ දැන ගැනීමට හා ගෞරවයක් පහළ කර ගැනීමට අවකාශය සැලසේ.      වාර්ෂිකව දළදා කරඬුව ගෙන යාමේ දී මුළු රටේ ම සතර දෙසින් පැමිණි ජනතාව වැඳුම් පිඳුම් කරන්නේ  ද මිනිසෙකුට වඩා සත්ත්වයෙකු විසින් ඉටු කරන මහානුභාව සම්පන්න කර්තව්‍ය අගය කිරීමක් ලෙස ය.

කෞතුකාගාරයක තැන්පත් කර ඇති රාජා අමරණීය සංකේතයක් මෙන් ම ජනතාව තුළ නොමැකෙන හස්තියෙක් වන්නේ ඔහු මෙරට ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන දළදා මාලිගයේ කරඬුව රැගෙන යාම හේතුවෙනි. 

ලෝකය තුළ මනුෂ්‍ය වර්ගයා උතුම් සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ අප බුද්ධිය මෙහෙයවා කටයුතු කරන බැවිනි. එසේ වුව ද අප කිසි ලෙසකින් සතෙකුට මෙවැනි හැකියාවක් ඇති බව විශ්වාස නොකරයි. එනමුදු රාජා හස්තියා යනු, එවැනි හැඟීම් දැනීම් වලින් යුක්ත වුවෙකි. ඔහුගේ හැඟීම් දැනීම් කොයිතරම් ද කියතොත් දළදා කරඬුව තබන ස්ථානයට යන මාර්ගයේ ඇති පාවඩය නිසි ලෙස නොමැති වුවහොත් ගමන එහි ම නතර කරයි. එය නිසි අයුරින් සකස් කරන තෙක් අඩියක් හෝ නොතබයි. එපමණක් නොව දළදා කරඬුව නිසි ලෙස තම ශරීරය මත සකස් කොට නොමැති අවස්ථාවක දී ද ගමන නතර කරනු ලබයි.  මෙවැනි අවස්ථාවල  දී  

සතෙකුට මෙතරම් දෙයක් දැනෙන්නේ ද යන්න අපට සිතුණ ද පින්වත් හස්තියන්ට එසේ දැනෙන බවට රාජාව දුටු විට ප්‍රත්‍යක්ෂ කර ගැනීම අපට  අපහසු නොවේ. 

දළදා මාලිගය බෞද්ධයන් වන අපගේ අතිශය වැදගත් සිද්ධස්ථානයකි. එම නිසා ම  එහි වාර්ෂික ව පවත්වන දළදා පෙරහැර ද අපට වැදගත් වේ. පැරණි ඇත් රාජයකු කටු ගෙයක තැන්පත් කිරීමේ වැදගත්කමක් තිබේ දැයි කෙනෙකුට සිතිය හැක. නමුත් දළදා පෙරහැර ගෙන යන හස්ති රාජයා කරඬුව ගෙන යාමේ පුර්ව කොන්දේසි සැපිරූ කෙනෙක් විය යුතු ය. එබැවින් එබඳු වූ උතුම් ක්‍රියාවක් කරන්නෙකුට උපහාර දැක්වීම අප සතු යුතුකමක් වේ.

රාජා වෙනුවෙන් සිදු කළ මෙම අනර්ඝ ක්‍රියාව පිළිබඳ ව සමස්ත සමාජයේ ම ඇත්තේ පොදු ආකල්පය කි.මෙය ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව ගත් ඉතා සාර්ථක ක්‍රියාමාර්ගයක් බව බොහෝ දෙනාගේ අදහසයි. 

වත්මන් සමාජය තුළ මෙන් ම අතීත සමාජය තුළ ද රජයේ සෑම ක්‍රියාකලාපයක් ම හෙලා දකින මිනිසුන් සිටිය ද එදත් අදත් හෙටත් මෙම ක්‍රියාව  කිසිවකුගේ විවේචනයට  ලක් නොවන බව මොනවට පැහැදිලි වේ. රාජා ව දැක ගැනීම සඳහා කටු ගෙයක තැන්පත් කර ඇති බැවින් දළදා මාලිගාවට පැමිණෙන බොහෝ දෙනා ඇත් රාජයා දැක බලා ගැනීමට අමතක නොකරයි. 

රාජා දළදා පෙරහැර වෙනුවෙන් සිදු කළ අපරිමිත මෙහෙවර උදෙසා සමස්ත ලෝක ප්‍රජාවේ ම වන්දනාමානයට පාත්‍ර වූවා සේ ම  ප්‍රථම වරට ආසියාවේ ජාතික වස්තුවක් බවටත් පත් වීමේ භාග්‍ය ද  හිමි කර ගනියි.  එම නිසා එකල රාජාගේ මරණය ලාංකේය ජනතාවට ශෝකයක් එක් කළ කරුණක් විය.

Design : Janani Kithmini

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Ushari Fernando

Leave a Comment