හෙළ වෙදකමේ ඖෂධයන් ගස් ද, පඳුරු ද, පැළෑටි ද, කොළ ද, මල් ද, මුල් ද යනාදී සෑම තැනක ම විසිරී තිබෙනවා. ” සුව ධරණී” යටතේ ගියවර රූස්ස ගසක් පිළිබඳව විස්තර කළ ද, මෙවර ප්‍රස්තුත වන්නේ පඳුරු වශයෙන් ගහන ශාකයක් පිළිබඳවයි.
කටු කරඬු
ඉංග්‍රීසි නාමය :- Porcupine flower
උද්භිද නාමය :- Barleria prionitis
ශාකයේ අතු බෙදෙන තැන් වල තියුණු කටු දක්නට ලැබීම නිසා කටු කරඬු යනුවෙන් නම් ලද මෙම ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාවේ නිවර්තන හා දකුණු අප්‍රිකාව වැනි ප්‍රදේශවල වැවේ ඉතාමත් වටිනා ඖෂධ ශාකයකි.
ලංකාවේ බහුලව දක්නට ලැබෙන කටුකරඬු ශාකයේ කහ පැහැති දර්ශනීය මල් හට ගනී. කඳ සහ අතු සිලින්ඩරාකාර හැඩයක් වන අතර පත්‍ර ඉලිප්සාකාරය. තියුණු පත්‍ර අගයකින් යුක්ත වේ. තනි තනියෙන් හටගන්නා මෙම මල්වල විශේෂත්වයක් ඇත. එනම් සරු රේණු සහ වද රේණු දෙකක් තිබීමයි. ඩිම්බ කෝෂය ද්වි කෝෂ්ඨීයව පිහිටා තිබීම මෙයට හේතුවයි. කටු කරඬු ඵලය, සේද ආකාරයේ කෙඳි වැනි ස්වභාවයකින් ආවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ඇත්තේ කහ කටු කරඬු වූවත්, පුෂ්පයන්ගේ වර්ණය අනුව මේවා ප්‍රභේද හතරකට බෙදේ.
▪️සුදු කටු කරඬු – සුදු මල් පිපේ.
▪️නිල් කටු කරඬු – නිල් මල් පිපේ.
▪️කුරුණ්ටක කටු කරඬු – කහ මල් පිපේ.
▪️රත් කටු කරඬු – රන් පාට මල් පිපේ
එක් එක් ප්‍රභේදයන් ට ආවේණික ගුණ වෙනස් ය.
සුදු කටු කරඬු
ඌෂ්ණ ගුණැතිය. සම රැලි වැටීම, අකලට හිස කෙස් පැසීම පාලනයට, හිසකෙස් වර්ධනයට යහපත්ය. දත් ආරක්ෂා කරනු ලැබේ. රුධිරගත රෝග වාත රෝග, කුෂ්ඨ රෝග, වණ, සෙම හා විවිධාකාර විස තත්ත්වයන්ට සුව ලබාදේ.
කුරුණ්ටක කටු කරඬු
තිත්ත රසැතිය. කුස ගින්න වර්ධනය කරයි. වාතය පිත සෙම යන තුන්දොස් දොස් සමනය කිරීමේ ගුණයෙන් යුක්ත ය. චර්ම රෝග, රුධිරගත රෝග, ඉදිමුම් ආදිය නසන ගුණයෙන් යුක්තය. කැඩුම් බිඳුම් රෝගවලදී ද කටු කරඬු යොදා ගැනේ.
රත් කටු කරඬු
තිත්තය. තුන් දොස් සමනය කරයි. රුධිර ගත රෝග, ඉඳිමුම්, බඩ පිපීම, උණ, හුස්ම ගැනීමේ අපහසුතා වලට සුවය ලබා දේ.
නිල් කටු කරඬු
තරමක් සැර තිත්ත බවකින් යුක්ත ය. වණ, කුෂ්ඨ, ඉදිමීම, චර්ම රෝග සහ කැසීම් ආදියට ගුණ ලබා දෙයි. නිල් කටු කරඬුද වාතයට සහ සෙමට ගුණ ය.
Design by – Samith Kanshada
Leave a Comment