විශේෂ දිනයන්

කතන්දර ලොවේ රැජිණිය…

කලා කීර්ති සිබිල් වෙත්තසිංහයාණෝ…

” පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණයි. ඇය ඔවුන් ආදරයෙන් රැක බලා ගත්තා. අත්තම්මා ජීවිකාව ගෙන ගියේ පොල් අතු විවීමෙන්, කොහු ඇඹරීමෙන් සහ එළවළු කොරටුවෙන් ලැබුණු ආදායමෙන්. විමල් සහ සාමා පාසලට ගිහින් හොඳින් ඉගෙන ගත්තා… “

ළමා කතන්දර ලොවේ සුරංගනාවිය වන කලා කීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචිත ‘මැටි ගෙදර ළමයි’ කෘතියේ පළමු පේළි කිහිපය යි ඒ ඔබ ඉහතින් දුටුවේ. මෙම කෘතිය කුඩා කල එක් වරක් හෝ කියවා ඇති ඕනෑම අයෙක් ඉහත පේළි කිහිපය කියවීමෙන් තම සුන්දර ළමා වියට ඇදී යන බවට සැක නැත. ළමා කතන්දර පොත් වර්ග රැසක් තිබුණත් වෙත්තසිංහ මහත්මියගේ කෘති වල ඇති විශේෂත්වය නම් ඇය විසින්ම අඳින ලද සිත් ගන්නා සුළු අපූරු සිතුවම් ගොන්නකින් කතන්දර පොත හැඩගැන් වී තිබීමයි. ඇයට ආවේණික වූ ශෛලිය සහ නිර්මාණශීලී තේමා මගින් ළමා සිතට අරුණැල්ලක් වෙමින් කෙළි සෙල්ලමට බර ළමා මනසේ අවධානය පොත පත දෙසට ගැනීමට වෙත්තසිංහ මහත්මිය දැක්වූ කුසලතාවය සැබවින්ම විස්මයජනකයි.

මැටි ගෙදර ළමයි

පොත් කියවීම සඳහා ඇල්මක් දක්වන නොදක්වන සෑම කෙනෙකුටම හුරුපුරුදු නාමයක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගැන අසන්නට ලැබූ දුකිඛිතම තොරතුර පෙරදින අපගේ කන වැකුණි. පාඨක සිත් සතන් තුළ කිසිදා නොසිඳෙන කඳුළු දහරාවකට මග පෙන් වූ මේ මහා කතුවරියගේ නික්ම යෑම වෙනුවෙන් ඇගේ ජීවන ගමන් මගේ නොමැකෙන මතක කිහිපයක් ආවර්ජනය කිරීමට Colombo Beacon අපි මේ ලිපිය ගෙන එන්නෙමු.

1927 වර්ෂයේ ඔක්තෝම්බර් මස තිස් එක්වන දින ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටි ගිංතොට ග්‍රාමයේ උපත ලද ඇය, අවුරුදු පහක් යන තුරු එම ග්‍රාමයේම දිවි ගෙවූයේ ගිංතොට බෞද්ධ විද්‍යාලය (වත්මන් ගිංතොට මධ්‍ය මහා විද්‍යාලය) තම ප්‍රාථමික තක්සලාව කරගනිමිනි. නමුත් තම පවුල කොළඹ නගරයට මාරුවීමත් සමග අවුරුදු 6 සිට ඇගේ අධ්‍යාපනික ගමන් මගේ තෝතැන්න වූයේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරමය යි.

මෙතුමිය වෘත්තීය වශයෙන් කතුවරියක් ලෙස ගමන අරඹන්නේ ඇයට වයස අවුරුදු 17 දී ලංකාදීප පුවත්පතට එක්වීමෙනි. පසුව වර්ෂ 1952 දී ඇය ලේක්හවුස් සමාගම සමඟ සම්බන්ධ විය. එහිදී ජනතා පුවත්පතේ ප්‍රධාන චිත්‍රකාරක ලෙස ඇය සේවය කළා ය. එකල පුවත්පත් ලිපි ලිවීම අර්ධ කාලීන රැකියාවක් පමණක් වුව ද පූර්ණ කාලීන පුවත්පත් ලිපිකාරිනියක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වූයේ සිබිල් වෙත්තසිංහ මහත්මිය යි. ජනතා පුවත්පතේ ළමුන් සඳහා වෙන් වූ පිටුවට වෙත්තසිංහ මහත්මිය ලියූ කතාව ‘කුඩ හොරා’ නම් විය. පසුව එය කෘතියක් ලෙස පළ කෙරුණි. එලෙසින් වෙත්තසිංහ මහත්මියගේ පළමු ළමා කතන්දරය වූයේ මෙම ‘කුඩ හොරා’ නම් කෘතියයි. පළමු කෘතිය වුවත් එය සඳහා ලැබූ ප්‍රතිචාරය නම් සුළුපටු නොවුණි. දේශීය පාඨක ආදරයට එහා යමින් තවත් භාෂා 7කටම මෙම කෘතිය පරිවර්තනය වූයේ විදෙස් පාඨකයින්ගේ ආකර්ෂණය ද නො අඩුව දිනා ගනිමිනි.

කුඩ හොරා

ලේක්හවුස් සමාගමට සම්බන්ධ වීමත් සමග තවත් පුවත්පත් රැසක (සිළුමිණ, Sunday observer, daily news) කතුවරියක හා චිත්‍රකාරක ලෙස සේවය කිරීමට ඇයට හැකි වුණි. පසුව වර්ෂ 1955 දී එකල ලේක්හවුස් සමාගමේ ප්‍රධාන කතෘ වූ දොන් ධර්මපාල වෙත්තසිංහ මහත්මාගේ ජීවන සහකාරිය වන්නට ඇගේ දෛවය වාසනාවන්ත විය.

කුඩ හොරා කෘතිය සඳහා ලැබුණු ඉමහත් ප්‍රතිචාරය වෙත්තසිංහ මහත්මියට තව තවත් ලියන්නටත්, අඳින්නටත් කළ ආයාචනයක් ලෙස සැලකූ ඇය තවත් ඇගේ නිර්මාණශීලී හැකියාවෙන් සමාජයට සේවය කිරීමට යුහුසුළු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රසවත් බවින් පාඨක සිත් තවත් ලොවක අතරමං කරන්නට සමත් අපූරු කෘතීහු 200කට අධික ප්‍රමාණයක් ඇය විසින් රචනා වූහ. කුසුමලතා, මගුල් ගෙදර බත් නැතෝ, සූත්තර පුංචා, දුවන රැවුළ, අච්චාරු මුට්ටිය, කිරියට ලැවරිය වැනි කෘති එවන් ශ්‍රේෂ්ඨ නිර්මාණ වලින් කිහිපයකි. මෙවන් කෘති තවත් භාෂාවලට පරිවර්තනය වන්නේ විදෙස් පාඨක සිත් තුළත් ඇගේ නාමය සදා අමරණීය බව පසක් කරමිනි.

මගුල් ගෙදර බත් නැතෝ

මෙවන් මහර්ඝ වූ කුසලාවයකට හිමිකම් කියූ ඇගේ එම සේවාව නිසා ඇයට ලැබුණු සම්මාන ගිණිය නොහැකි තරම් වේ. වර්ෂ 1971 දී ‘මගුල් ගෙදර බත් නැතෝ’ කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණි. වර්ෂ 1992 දී ‘මැටි ගෙදර ළමයි’ කෘතිය සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් පිරිනමන හොඳම බාල ළමා පොත් සම්මානය ලැබුණි. ‘කුඩ හොරා’ කෘතිය ජපානයේ හොඳම විදේශ පොත් සම්මානය (1986) සහ ජපන් පුස්තකාල සංගමය විසින් ලබා දෙන වඩාත් ජනප්‍රිය ළමා පොත (1987) සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. වර්ෂ 1996 දී ‘The Wesak Lantern’ කෘතිය හොඳම ඉංග්‍රීසි ළමා පොත ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගත්තේ ය. වර්ෂ 1995 දී ‘The child in me’ කෘතිය වඩාත් නිර්මාණශීලී ඉංග්‍රීසි පොත ලෙස Gratiaen ත්‍යාගය හිමිකරගත්තේ ය.

ඉහත දක්වා ඇත්තේ ඇගේ කෘති සඳහා ලැබුණු සම්මාන වලින් අතලොස්සක ප්‍රමාණයක් පමණි.

තවද වර්ෂ 1996 දී ගරු සිරිමාවෝ බණඩාරනායක මැතිනිය විසින් ඉදිරිපත් කරන ලද කලාව සහ ළමා සාහිත්‍යය සඳහා විශ්ව ප්‍රසාදිනී සම්මානය, වර්ෂ 2003 දී රුහුණු විශ්වවිද්‍යාලය විසින් පිරිනමන රෝහන ප්‍රදීප සම්මානය, වර්ෂ 2007 දී සෝලියස් මෙන්ඩිස් සම්මානය වැනි තවත් සම්මාන රාශියකට හිමිකම් කියන්නට ඇය වරම් ලැබී ය.

ඇය විසින් සිදු කරන ලද සේවාව සුළුපටු නොවන බව මේ සම්මාන ගොන්න සාක්ෂි දරන අතර විදෙස් රටවලත් ශ්‍රී ලංකා නාමය බබළවන්නට ඇගේ කැපවීම ඉවහල් වී ඇති බව මින් මොනවට පැහැදිලි වේ.

දරුවන් සිව්දෙනෙකුගේ සෙනෙහෙබර මවක් සහ මුණුබුරු මිණිබිරියන් පස් දෙනෙකුගේ සෙනෙහෙබර මිත්තණියක වූ වෙත්තසිංහ මහත්මියට 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මස තිස් එක්වන දිනට වයස අවුරුදු 93ක් සපිරීමට තිබුණි. වයස්ගත් වීමත් සමග රෝගාතුර වීම නිසා රෝහල්ගත වී සිටි ඇය පසුගිය ජුනි මස තිස් වැනි දා රාත්‍රී 11ට පමණ සදාකාලික නින්දකට සමවැදුනි.

ප්‍රතිභාපූර්ණ කතුවරියක ලෙස වසර 70කට ආසන්න කාලයක් අප සැම රසවත් කතාන්දර ගොන්නකින් පොත් අතර අතරමං කරන්නට ඇය දැරූ වෙහෙස සුළුවෙන් තැකිය නොහැක. අනාගත පරම්පරාවට නවතම කතා ශෛලයක් හඳුන්වා දුන් ඇය තවත් බොහෝ කතුවරුන්ගේ ආදරණීය ගුරුවරියයි. නිහඬ සේවාවකින් අප රට පමණක් නොව මුළු මහත් ලෝකයම නිරන්තරවම කලාකාමී කළ, දස්කම් සපිරි ඒ සුරත අද නිසල වුවත් ළමා කතන්දර ලොවේ ඈ කිසිදා නිසල නොවන බව නම් සත්‍යක් වනු ඇත.

ළමා ලොවේ ආදරණීය ලේ, ඔබට නිවන් සුව !!!

Reference: https://en.m.wikipedia.org/wiki/Sybil_Wettasinghe

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමෝධා සචිකො

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment