“මචං… වැඩක් තියෙනවා බං කර ගන්න… හොඳ කෙනෙක් කියහන්කො…
මොකක්ද බං වැඩේ…??
මෙන්න මේක බං…
ආහ්… ඕකට නම් බං (….) තමා හොඳ ම…
මචං කොලිටියටම ඕනි. (…) එකේ වැඩක් බං. චාටර් වෙන්න බෑ…
ඌ තමා බං ඕකට හරියනම කෙනා… ආයි කොලිටිය ගැන නම් බය වෙන්න එපා… ගානට තිතට කරලා දෙයි… ඌට ගහන්න වෙන එකෙක් නෑ… බය නැතුව ඌට දීහන්… ”
ලෙක්චරේ ඉවර වුන ගමන් ජූස් බාර් එක මතක් වෙලා ද කොහෙද බණ්ඩියත් හිමීට කෑ ගහනවා මට විතරක් ඇහෙන්න. යාළුවො ටිකත් කතා කරන් නුග ගහ පැත්තෙන් ජූස් එකක් බොන්න හිතන් හවානා එක පැත්තට ගියේ ඊළඟ ලෙක්චරේට පැයක් ම තියෙන නිසා. කන්න බොන්න නම් අපිට ලොකු බඩගින්නක් එන්න ම ඕනි නෑනෙ. ලෙක්චරේ මැඩම් කෑමක් මතක් කලත් ඇති, ඉවර වෙනකම් බලන් ඉන්නෙ කැන්ටිමට දුවන්න. දුෂ්කර ක්‍රියා කලේ plant resources ඉගෙන ගත්ත 1st sem එකේ තමා. මුළු ලෙක්චරේ පුරාම තියෙන්නෙ රසම රස කෑම ජාති. Fruits ගැන උගන්නද්දි නම් බඩේ පණුවො දහ අට වන්නමත් නටලා මදි පාඩුවට අඩව්වකුත් ඇල්ලුවා. ඉවර වුන ගමන්ම ලෙක්චරේ හැමෝම එක්කො කැන්ටිමේ; නැත්නම් ජූස් බාර් එකේ.
මේ යන්නෙත් ඉතින් ඒකටම තමා. වෙන මොනාට ද? ‘කෑම නම් අපි – අපි නම් කෑම.’ ඒ තරම් බැඳියාවක් තියෙන්නෙ කැමත් එක්ක.
අපිට ඉස්සරහින් යන දෙන්නා නම් බරම බර සාකච්ඡාවක. මොකක්ද මංදා එකක් හදා ගන්න වැඩ්ඩෙක්ව හොයනවා. මටත් ඉතින් ඕන නැති ඕප දූපයක් නෑනෙ. ටිකක් කන දීගෙන ඉඳලා හොට දැම්මා ආයෙ කල් යල් බලලා ගැලපෙනම තැනට.
“ඔව් ඔව්… එයාට දෙන්න ඕක… එයා තමා හොඳ ම… ඔයාට ටොප් එකටම ඉවර කරලා දෙයි…”
දෙන්නා බය වෙලා වගේ බලද්දි තමා තේරුණේ අනුන්ගෙ කතාවක් නේ ද මේ අහන් හිටියෙ කියලා. වැඩේ දෙල් වෙලා බැනුමක් අහ ගන්න කලින් දත් තිස් දෙකම දාලා හිනා වුනා ෂේප් වෙන්න. වැඩේ හරි. දෙන්නගෙ කතාව තුන් දෙනාගෙ වෙලා යෝජනාව සම්මත වුනා. හවානා එකෙන් ජූස් එකකුත් බීලා කට්ටියත් එක්ක කයියකුත් දාලා සෙට් එකම ගියා ලෙක්චරේට…
කතාව එතනින් ඉවර වුනාට සිද්ධිය නම් අමතක වෙලා නෑ වගේ.
බස් එකේ සීට් එකට හේත්තුවකුත් දා ගෙන ජනේලෙන් එළිය බලන් ෆෝන් එකත් අතේ කියන්නෙ ඉතිං මං ඉන්නෙ මගෙ ලෝකෙ. හිතට එන හැම දේම දුරකථන තිරය මත අකුරු වෙද්දි ඉබේම මතක් වුනේ උදේ වුනු සිද්ධිය. අකුරෙන් අකුර සිද්ධියම අමුණලා ඉවර වෙද්දි මතක් වුනේ ඉස්කෝලෙ යන කාලෙ බෝඩ් කෑල්ලක ලියලා තිබුන දෙයක්.
“එක එක මිනිස්සුන්ට සුවිශේෂී වූ විශේෂ දක්ෂතා දීලා තියෙන්නෙ එකතු වෙලා වැඩ කරන්න.”
එදා ඒක නිකම්ම නිකම් අකුරු ටිකක් වුනාට කොයි තරම් ඇත්තක් ද කියලා හිතුනෙ අද ඒක මතක් වෙද්දි. තනි වෙච්ච ලෝකෙක අතරමං වෙලා තනියෙන් ම හැම දේම කරනවට වඩා දක්ෂයො ගොඩක් එක්ක එකතු වෙලා වැඩ කරන්න සොබා දහම දක්ෂතාවයන් බෙදලා තියෙන විදිහ දැක්කම වෙන කෙනෙක්ගෙ දක්ෂතාවයකට ඊර්ෂ්‍යා කරනවට වඩා තමන්ට පුළුවන් දේ ඔප මට්ටම් කර ගෙන නොදන්න දේ දන්න අය අතරෙ හුවමාරු කර ගත්තොත් අලුත් අලුත් ලස්සන දේවල් කොයි තරම් නම් ලෝකෙට එළි බසියි ද? එහෙනම් අදට වඩා ලස්සන හෙටක් අලුත් අලුත් නිර්මාණ ගොඩකුත් එක්ක අපි හැමෝටම ලැබේවි. ආසියාවෙ විතරක් නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය විදිහට මේ පුංචි මුතු ඇටය දිදුලවන්න අපි හැමෝම එකට එකතු වෙනවා නම් වසරක් පාසා ලංකාව හැර දමා යන බුද්ධියට කොමාවක් නැතුවම තිතක් තියලා මේ රට පළමුවන ලෝකයේ ආර්ථිකයකට උරුම කම් කියන රටක් බවට පත් කරන එක අමාරු වැඩක් නෙවේ. මොකද ලෝකයේ බලගතු යැයි කියන රටවල්වල බලගතු ආසන බොහොමයකම හිමිකාරිත්වය මේ වන විටත් ලාංකික උගත් බුද්ධිමතුන් අත් පත් කර ගෙන අවසන් නිසා. ඉතින් අපිටත් බැරි නෑ අපේ රටත් දකින හීනෙ ඉහලින් ම ඔසවලා තියන්න.
ඉතින් අපි පුංචි තැනින් පටන් ගමු. මේ පුංචි මුතු ඇටය දිදුලවන්න…
එකා මෙන්ව එකතු වෙලා…
දක්ෂයන්ව දිරි ගන්වමින්…
සුදුස්සන්ට සුදුසු තැන දෙමින්…
Leave a Comment