නිසදැස්

කඳුරු ලියකට රත් හඳුන්ගෙන්

වැඩිම ඉල්ලුම තිබුනු
කළුවර මස්සිනා ආයෙත්
නොදැක්කත් කවදාවත්
තිබුනා හදවතේ කෙලවරක
යන්තමින් දල්වපු හීනයක්
ඇවිලෙන්න කලියෙන් ගින්දර
අතු පතර පුලුස්සමින්……………….

ලන්ද පුරාම අදත්
දැවටෙන සුවඳ සටහන්
මැකෙන්නට පෙර මතකෙන්
සිත හඬයි ඉල්ලමින්
දකින්නට මොහොතකට
මිදෙන්නට පෙර ලොවින්
හනික දිරන කඳුරු ලියකට
පෙම් කෙරුව රත් හඳුන්………

දවද්දී නන්දෙසින්
ලන්ද ගිනිබත් කරමින්
අහම්බෙන් බැලු දෙසකින්
නුඹෙන් ගිලිහුනු කොලයක්
හමා ඇවිදින් අසලින්
තබද්දී ගිනි නොවටිනා මට
කියනු ඇසුනා කවියක්………..

_____________________________

දයාබර කඳුරු ලියෙනි
මා කැබලි වලට වෙන්වුනි
පැකට් කර සාප්පුගත කෙරුනි
නුඹ දැකුමට රිසි වුනෙමි
එනිසාම ආත්මය අරගතිමි
පත්‍රයකට මුසු කලෙමි
නුඹ සොයා එවුයෙමි
පෙම්බරිය යලිත් භවයක
මා නුඹව මුණගැසෙමි
එතෙක් මෙපමණක් ඉල්ලමි……….

දිනක අප හමුවෙමු
පෙර ලෙසම පෙම්කරමු
නමුත් යලි කිසිදිනෙක
අපි , අපිම නොවී ඉමු…….
යලිත් සඳුන් වුවහොත්
සුවඳට කෑදර උන්
වෙන් කරාවි ලොවින්
පෙම් කතා සිඳමින්……..

ඉඳින් පුරමු පාරමිතාවන්
වන්නට අතු පතර විහිදන
ප්‍රතාපවත්ව වෙලෙමින් සැනසෙන
ආදරණීය නුග සෙවණක්
පෙම්වතුනට නිවහන වෙමින්…………….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අනුරාධි උත්තරා

වෛද්‍ය පීඨය - සිව්වන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment