තම ඉංජිනේරු සිහිනය අතහැර, රංගනය සිහිනයක් කරගෙන ඒ පසුපස හඹා යන තරුණයෙක්, ඔහු 2006 වසරේ දී පසුබිම් නර්ථන ශිල්පියෙක් ලෙස රංගන දිවිය ආරම්භ කරන අතර, එතැනින් නොනැවතී 2008 වර්ෂයේ පුංචි තිරයේ සිහින තාරකාව ලෙස භාරතීය ප්‍රේක්ෂකයන්ගේ සිතෙ හි ඉඩක් වෙන් කර ගත් රංගන ශිල්පියෙකි. එතැන් සිට වසර 14 ක පමණ තම රංගන දිවියේ ගමන් මග තුළ ප්‍රධානම සංධිස්ථානයක් ලෙස 2013 වසරේ බොලිවුඩ් පුරයේ ඉඩක් වෙන් කර ගැනීමට ද සමත් විය.
පියාගෙන් පුතුට උරුම වන නැතිනම් පවුලේ උරුමයක් ලෙස රැඳීමට වරම් ලබන බොලිවුඩ් සිනමාව තුළ කිසිදු සිනමා පවුල් පසුබිමක් නොමැතිව රැඳී සිටීමට තරම් ඔහුගේ රංග ප්‍රතිභාව විශිෂ්ඨ විය. බොලිවුඩයේ සිහින තාරකාවන් අතර කෙටි කාලයකින් ඉඩක් වෙන් කර ගැනීමට සමත් වූ මොහු වයස අවුරුදු 34 දී අවාසනාවන්ත ලෙස ජීවන ගමනේ අතරමගින් සමුගෙන යන්නේ මුළු භාරතීය සිනමාලෝලීන් මෙන්ම ලොව පුරා සිනමාලෝලීන්ගේ නෙතට කඳුළක් උරුම කර දෙමිනි.
තමන්ගේ අවිහිංසක සිනහවෙන් ලොවක් වසඟයට ගත් ඔහු කවුරුන් ද? යන්න භාරත සිනමාලෝලීන් දැනටමත් දන්නා කරුණකි. ජීවත්ව සිටියා නම් අද ට සිය 36 වන ජන්ම දිනය සමරන ඔහු අන්කිසිවෙකු නොව, බොලිවුඩයේ ආදරණීය “සුශ්” නොහොත් සුශාන්ත් සිං රාජ්පුත් ය.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා හි දී 1986 ජනවාරි 21 වන දින ක්රිෂ්ණ කුමාර් සිං සහ ඌෂා සිං යන මව්පියන් ට දාව සුශාන්ත් සිං රාජ්පුත් උපත ලැබී ය. ඔහුගේ පියා විශ්‍රාමික තාක්ෂණික නිලධාරියෙකු වන අතර පැට්නා හි බිහාර් ප්‍රාන්ත අත් යන්ත්‍ර සංස්ථාවේ සේවය කළේ ය.
දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූ සුශාන්ත්, කුඩා කල ගුල්ෂාන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබුණි. ඔහුගේ සහෝදරියන් හතර දෙනාගෙන් එක් අයෙක් මිතු සිං රාජ්‍ය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවකි.
කුඩා සුශ් පාසල් අධ්‍යාපනය සඳහා පැට්නා හි ශාන්ත කැරන්ස් පාසලට ඇතුළත් විය. 2002 වර්ෂයේ දී මවගේ සෙනෙහස අහිමි වන සුශ් සහ ඔහුගේ පවුලේ සියලු දෙනාම දිල්ලියට සංක්‍රමණය විය. එහි දී සුශාන්ත් කුලාචි හන්ස්රාජ් ආදර්ශ පාසලෙන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.
මොහු තාරකා භෞතික විද්‍යාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක් වූ අතර භෞතික විද්‍යාව පිළිබඳ ජාතික ඔලිම්පියාඩ් තරගාවලිය ජයග්‍රහණය කළ උද්යෝගිමත් පාඨකයෙකු වේ.
2003 වර්ෂයේ දී ඔහු දිල්ලි ඉංජිනේරු විද්‍යාලයේ ප්‍රවේශ විභාගයෙන් 7 වන ස්ථානය ලබාගෙන, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් හැදෑරීමට දිල්ලි ඉංජිනේරු විද්‍යාලයට ඇතුළත් විය. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කිසිදු උනන්දුවක් නොතිබුණත්, පවුලේ බලපෑම මත යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට සුශාන්ත් ට සිදු විය.
ඒ වෙනුවට ඔහුගේ සිහිනය වූයේ තාරකා භෞතික විද්‍යාව පිලිබඳ හැදෑරීමට සහ ගගනගාමියෙකු වීමට ත් පසුව ගුවන් හමුදා නියමුවෙකු වීමටත් ය. නමුත් තමන්ගේ සිහිනයක් අතහැර යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටින අතරතුර දිල්ලි ඉංජිනේරු විද්‍යාලයේ රංගන කණ්ඩායමේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස එක් වීමට සුශාන්ත් සමත් විය. ඉගෙනීමට උපන් හපන්කම් දැක් වූ මොහු මුළු ජීවිත කාලය තුළ ඉංජිනේරු ප්‍රවේශ විභාග 11 ක් සමත් විය.
දිල්ලි ඉංජිනේරු විද්‍යාලයේ සිව්වන වසරේ දී සුශාන්ත් ෂියාමාක් දවර්ගේ නර්තන පන්ති වලට ඇතුළත් විය. නර්ථනයෙන් ලැබූ ආභාසය සමඟ ඔහු රංගනය ඉගෙන ගැනීමට බැරී ජෝන්ගේ නාට්‍ය පන්ති වලට සම්බන්ධ විය. නර්ථනයට දැක් වූ හැකියාව නිසා ම ෂියාමාක් දවර්ගේ නර්ථන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත් වීමට ද සුශාන්ත්ට හැකි විය. 2005 වසරේ 51 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී සුශාන්ත් පසුබිම් නර්තන ශිල්පියෙකු ලෙස ඉදිරිපත් විය. 2006 වර්ෂයේ දී ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ ප්‍රසංගයක් ඉදිරිපත් කළේ ය.
ඉංජිනේරු සිහිනය අතහැර රංගනය තම සිහිනය කර ගනු ලබන තරුණ සුශාන්ත් ඉංජිනේරු විද්‍යාලයේ සිව්වන වසරේ දී තම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා උපාධිය අත්හැර දමමින් මුම්බායි වෙත සංක්‍රමණය විය. එහි දී Nadira Babbar ගේ Ekjute නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වූ අතර වසර දෙකකට වැඩි කාලයක් එම කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේ ය.
2008 දී, Balaji Telefilms නම් නාට්‍ය කණ්ඩායම සුශාන්ත්ගේ එක් වේදිකා නාට්‍යයක් දුටු අතර එහි දී ඔහුට නවක නළුවන් තෝරා ගැනීමේ පරීක්ෂණයක් සඳහා ආරාධනා කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සුශාන්ත් රූපවාහිනී කතා මාලාවක් වූ “Kis Desh Mein Hai Meraa Dil” හි දෙවන ප්‍රධාන චරිතය වන Preet Junei සඳහා තේරී පත් විය. එයින් පුංචි තිරයේ නොමැකෙන සටහනක් තබන සුශාන්ත් 2009 වර්ෂයේ විකාශනය වූ දෛයිනික ටෙලි නාට්‍ය මාලාවක් වන”Pavitra Rishta” හි Manav Deshmukh ලෙසින් නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ පරමාදර්ශී පුත්‍රයෙකු සහ ස්වාමිපුරුෂයෙකුගේ චරිතයට පණ පොවමිනි.
එම චරිතය ඔහුගේ රංගන දිවිය තුළ මහත් පෙරලියක් කිරීමට සමත් විය. “Manav Deshmukh” චරිතය තුළින් දැක් වූ දස්කම් නිසා ම සුශාන්ත් සම්මාන කිහිපයකට ම හිමිකම් කීමට සමත් විය.
- Indian Television Academy Awards 2010
Most Popular Actor (Male) - BIG Star Entertainment Awards 2010
Best Television Actor (Male) - Gold Awards 2010
Best Actor in a Lead Role - FICCI Frames Excellence Honours 2011
Best TV Actor (Male) - Screen Awards 2011
Best Male Debut
එකම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් සම්මාන කිහිපයක් ලබා ගැනීම මගින් ඔහුගේ රංගන හැකියාව කෙතරම් විශිෂ්ඨ මට්ටමක තිබුණා දැයි පෙන්නුම් කරයි. 2010 දී ඔහු “Zara Nachke Dikha 2” නර්ථන වැඩසටහනට සහභාගී වූ අතර එහි දී Mast Kalandar Boys Team හි සාමාජිකයෙකු විය.
එම වර්ෂයේ ම අවසාන භාගයේ දී ඔහු නර්තනය පදනම් කරගත් රියැලිටි වැඩසටහනක් වන “Jhalak Dikhhla Jaa 4” සඳහා සහභාගී වූ අතර නර්තන ශිල්පී ෂම්පා සොන්තලියා සමඟ යුගල නර්ථනයක් ඉදිරිපත් කළේ ය. 2011 දී ඔහු වසර දෙකක ට පසු Pavitra Rishta කතා මාලාවෙන් ඉවත් වූයේ චිත්‍රපට නිෂ්පාදනය හැදෑරීම සඳහා එක්සත් ජනපදයට යාමට අදහස් කරගෙන සිටි බවත්, තමන් සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් “Raaz 2” චිත්‍රපටයේ තිරය පිටුපස අත්දැකීම් ලබා ඇති බවත් ප්‍රකාශ කර තිබුණි.
2011 දී “Kai Po Che” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂක මුකේෂ් චබ්රා විසින් සුශාන්ත් ට තිර පරීක්ෂණයක ට ආරාධනා කළේ ය. එම අවස්ථාවේ ඔහු ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී සිටි නමුත් එම යෝජනාව පිළිගැනීමට තීරණය කළේ ය. එහි දී ඔහු රාජ්කුමාර් රාඕ සහ අමිත් සාද් සමඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේ ය. එම චිත්‍රපටය 2001 ගුජරාට් භූමිකම්පාවෙන් සහ 2002 ගුජරාට් කෝලාහලයෙන් විපතට පත් මිතුරන් තිදෙනෙකුගේ ජීවිතය සම්බන්ධ කර ගත් “The 3 Mistakes of My Life” නම් වූ Chetan Bhagat නවකතාව පාදක කර ගෙන නිෂ්පාදනය කර ඇත. එය 2013 දී නිකුත් කරන ලද අතර එය වාණිජමය සාර්ථකත්වයට පත් විය. මෙහි දී ඔහුගේ රංගනය වෙනුවෙන් සුශාන්ත් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නවක නළුවා කාණ්ඩයේ නාම යෝජනා අතරට එක් විය.
එලෙස බොලිවුඩ් සිනමා ගමන් මග ආරම්භ කරන මොහු එම වසරේම “Shuddh Desi Romance” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය. මොහුගේ පළමු චිත්‍රපට දෙක නිකුත් වීමෙන් පසුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ශේකර් කපූර් විසින් වරක් සුශාන්ත් විස්තර කරනු ලැබුවේ “ඉන්දියාවෙන් පිටතට පැමිණි වඩාත් ප්‍රබෝධමත් තරුණ නළුවන්ගෙන් එක් අයෙක්” සහ ඇතැම්විට “ඊළඟ SRK” ලෙසිනි. එලෙස සුශාන්ත් ඇගයීමට ලක්වන විට ද ඔහුගේ ප්‍රියතම බොලිවුඩ් සිනමා තරුව වූයේ ද ශාරුක් ඛාන් වීම ද විශේෂත්වය කි.
2014 වර්ෂයේ “PK” චිත්‍රපටය හරහා සිනමාලෝලීන් අතරට පැමිණෙන අතර එය එම වර්ෂයේ වැඩිම ආදායමක් ඉපයූ සිනමාපටයක් බවට ද පත් විය.
මොහු 2015 වර්ෂයේ තිරගත වූ “Detective Byomkesh Bakshy” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. එය රහස් පරීක්ෂකයෙකු වටා ගෙතුනු අභිරහස් ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපටයක් විය.
2016 වසරේ නිකුත් වූ “MS.Dhoni” චිත්‍රපටය සුශාන්ත්ගේ සිනමා දිවියේ අද්විතීය හැරවුම් ලක්ෂය බවට පත් විය. ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ අසහාය නායකයෙකු වූ මහේන්ද්‍ර සිං දෝණිගේ ස්වයං චරිතප්රධානය වූ “MS.Dhoni” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට සුශාන්ත් සමත් විය. මෙම චිත්‍රපටය කේන්ද්‍රගත වූයේ මහේන්ද්‍ර සිං දෝණිගේ ළමා වියේ සිට ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාවට 2011 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා ගෙන යන ජීවිතය කතාව වටා ය. සුශාන්ත් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ නොවූ අතර මාස 13 ක් ක්‍රීඩාවේ නිරතුරුව පුහුණු වීමට මෙන් ම චිත්‍රපටයේ ඔහුගේ නිරූපණය සඳහා දෝනිගේ ක්‍රීඩා විලාසය ග්‍රහණය කර ගැනීමට ඔහුට සිදු විය. ඔහු පුහුණු කළේ කිරන් මෝර් විසිනි. නළුවෙකුට වඩා වෘත්තීය ක්‍රීඩකයෙකුගේ තන්ත්රය මනාව ඉදිරිපත් කිරීමට මොහු සමත් විය . මෙම චිත්‍රපටය 2016 වසරේ 5 වැනි ඉහළම අදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටය බවට පත් විය.
මෙහි දැක් වූ විශිෂ්ඨ රංගන හැකියාව වෙනුවෙන් සුශාන්ත් 2017 දී Screen Awards , Best Actor (Critics) සහ Indian Film Festival of Melbourne Best Actor ලෙස සම්මාන හිමි කර ගැනීමට සමත් විය.
එයින් නොනවතින ඔහු Raabta (2017), Welcome to New York (2018), Kedarnath (2018), Sonchiriya (2019), Chhichhore (2019), Drive (2019), Dil Bechara (2020) යන සිනමා නිර්මාණයන්ට සම්බන්ධ විය. “Dil Bachera” සිනමාපටය තුළ සුශාන්ත්ගේ රංගනය විශේෂ ස්වරූපයක් ගනී. එයට හේතුව පිලිකා රෝගය නිසා පීඩා විඳින පෙම්වතෙකූගේ චරිතය නිරුපණය කිරිම යි. මෙය සුශාන්ත්ගේ අවසාන සිනමා රංගනය වීම ද විශේෂත්වය කි.
රංගනයට, නර්තනයට, නිවේදනයට පමණක් සීමා නොවූ මොහු තමා විසින් තබා ගත් සිහින එකතුවක් වෙත යාමට හැකි සෑම අවස්ථාවක ම පොතක් කියවීම, අහස නිරීක්ෂණය කිරීම සිදු කරගෙන ගොස් ඇති අතර ඒ උනන්දුව නිසාමදෝ ඒ සඳහා විශේෂ දුරේක්ෂයක් ද මිලදී ගෙන තිබුණු බවත්, ඔහු සඳෙන් කොටසක් ද මිලදී ගෙන තිබුණේයැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ගගනගාමියෙකු වීමේ තම සිහිනය අත්නොහරින සුශාන්ත් ඒ සඳහා NASA ආයතනය තුළ පුහුණු වීම් ලබමින් සිට ඇත. එය වරක් ඉන්දීය මාධ්‍ය මෙසේ ප්‍රකාශ කර තිබුණි.
නිහතමානී සිනහවකට උරුමකම් කියන මොහු අන්අයට උපකාර කිරීමට කැමැති වූව ත් එතරම් ප්‍රසිද්ධියට කැමැත්තක් දක්වා නැත. එවන් අවස්ථා කීපයක් වාර්තා වී තිබෙනු සොයා ගැනීමට හැකියාව ඇත. වරක් ඉන්දියාවේ ගංවතුර අවස්ථාවක ඔහු උපකාර කර ඇති අතර එය මෙසේ ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබුණි.
“In the post from 2018, Sushant Singh and team can be seen handing a cheque to the CM, helping people during Nagaland flood. CM of Nagaland captioned it as, “I am moved at the kind gesture made by @itsSSR and his team towards #NagalandFloods and willingness to help #Nagaland at this crucial hour. Your contribution is encouraging and I hope to see the rest of the nation come forward selflessly, to #DonateForNagaland”.
තම රසිකයන්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට සුශාන්ත් කිසිවිටක අමතක නොකළේය.
“Sushant helped a fan in Kerala. A netizen told Sushant Singh Rajput on a social media platform that he wants to donate food to people in Kerela but doesn’t have any money and asked for his suggestion as to what he can do to help. The MS Dhoni: The Untold Story actor immediately replied and said that he will transfer fund on his name to help people and he also thanked him for making him do that.”
වසර 14 ක රංගන දිවිය තුළ පිලිවෙලින්,
- Kis Desh Mein Hai Meraa Dil (2008) හි Preet Juneja වූ
- 2010 Zara Nachke Dikha (2) – 2010 හි නර්තනයෙන් ඉදිරියට
- Pavitra Rishta හි Manav Deshmukh
- Kai Po Che හි Ishann Bhaat
- Shuddh Desi Romance හි Raghu
- PK හි Sarfaraz Yousuf
- Detective Byomkesh Bakshy හි Byomkesh Bakshy
- M.S. Dhoni: The Untold Story හි Mahendra Singh Dhoni
- Drive හි Samar
- Raabta හි Jilan/Shiv Kakkar
- Kedarnath හි Mansoor Khan
- Sonchiriya හි Lakhan
- Chhichhore හි Anni
- Dil Bechara හි Manny
ලෙස තම රංගන හැකියාව දැක් වූ සුශාන්ත් 2020 වර්ෂයේ ජුනි මස 14 වන දින මුම්බායි හි පිහිටි සිය නිවසේ දී මිය ගොස් සිටිය දී හමු විය. සියදිවි නසා ගැනීමක් ලෙස වාර්ථා වුව ද ඇති වූ යම් සැක සහිත තත්වයන් නිසා ඔහුගේ පියා විසින් ජූලි මාසයේ අවසානයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ පැමිණිල්ලකින් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. මේ වන විට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයට යටත්ව මිනීමැරීමක් ද? සියදිවි නසා ගැනීමක් ද? යන කාරණය ද බැහැර නොකර CBI ආයතනය හරහා ද NCB, ED යන ආයතන දෙක ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.
ඉන්දියාවේ Dr. Padma (Madakasira Vasantha Padma Srivastava is an Indian neurologist, medical academic and writer, and the professor of neurology at the All India Institute of Medical Sciences, New Delhi) විසින් සුශාන්ත්ගේ මරණය සම්බන්ධව ඉදිරිපත් කර ඇති වීඩියෝ ගණනාවක් අතුරින් එක් වීඩියෝවක ඇය අනාවරණය කරන පරිදි ජූනි 14 සුශාන්ත් මිය ගොස් සිටිය දී හමු වූ අවස්ථාවේ එම මෘත දේහයට පැය 18-20 ක් පමණ ගත වී තිබී ඇත. එය එසේ ම නම් ඔහු මිය ගොස් ඇත්තේ 14 වැනි දා නොව 13 වැනි දා ය. පද්මා වෛද්‍යතුමිය සිය වීඩියෝවේ සඳහන් කරන කරුණු සමඟ අන්තර්ජාලය ඔස්සේ දකින්නට ලැබුණ ඔහුගේ මෘත දේහයේ ඡායාරූප, බෙල්ලේ තිබූ සලකුණු, අත්, පාද වල පිහිටීම අනුව එහි යම් අසාමාන්‍ය බවක් නිරීක්ෂණය නොවේ ද යන්න ඇසිය හැකි ය. ඒවාට විද්‍යාත්මක පිළිතුරු ලබා දීම ක්ෂේත්රයේ විශේෂඥයින්ට සහ නිගමනය ගැනීම අවසාන වශයෙන් නීතියට භාර කටයුත්තකි.
අවසානයේ කෙසේ වුව ත් සුශාන්ත් සිං රාජ්පුත් යන අසහාය රංගන ශිල්පියා සිනමා ලෝකයට අහිමි වී අද වන විට වසර දෙකක් පමණ ගත වී ඇත. ඔහුගේ අහිමි වීම සමඟ බොලිවුඩයේ ඇති වූ හිස් තැන සම්පුර්ණ කිරීමට සමත් කිසිදු රංගන ශිල්පියෙකු අද දක්වා බිහි වී නොමැත. ජීවත්ව සිටියා නම් අදට සිය 36 වැනි ජන්ම දිනය සමරන සුශාන්ත්ට යුක්තිය ඉටු වේවා! යි ප්‍රාර්ථනාවක් එක් කරන්නෙමු.
“ආදරණීය සුශ්, ඔබ අප වෙනුවෙන් තැබූ සිනමා මතකයන්ට සහ සිනහවන්ට ස්තූතියි “
“I know nothing with any measure of certainty and I’m glad that I’m atleast certain about that.”
– SUSHANT SINGH RAJPUT –
Design by : Pramodya Madhushani
References :
Images :
Leave a Comment