නිවසේ, උද්‍යානයේ, ගෙවත්තේ අලංකාරය සඳහා පහසුවෙන් වගා කර ගත හැකි එමෙන්ම ඖෂධ ගුණයෙන් අති මහත් “කප්පරවල්ලිය” ශාකය පිළිබඳවයි මෙවර Colombo Beacon අපි අපේ සුව ධරණි සුව චාරිකාව ඔස්සේ ඔබ වෙත ගෙන හැර දක්වන්නේ…
කප්පරවල්ලිය
ඉංග්‍රීසි නාමය :- Country borage
උද්භිද නාමය :- Coleus Amboinicus
වෙනත් නාම :- ශෛලේය, ශිලා පුෂ්ප
මන බඳිනා සුවඳකින් යුක්ත නිසා තෙළිඟු බසින් කප්පර නමින් හැඳින්වී, කප්පරවල්ලිය නමින් පබැඳි මෙම ශාකය ශ්‍රී ලංකාවේ සෑම පෙදෙසකම පාහි පහසුවෙන් වගා කර ගත හැකි අඩි එකහමාරක් දෙකක් පමණ උසකට වැවෙන පැළෑටියකි. ලබියාටේ ( Labiatae ) කුලයට අයත් කප්පරවල්ලිය ශාකයේ වැඩි කොටසක් මාංසල බවකින් යුක්තය. හෘදයේ හැඩයට සමාන හැඩැති පත්‍ර දක්නට ලැබේ. පත්‍ර දාරය බික්කු ආකාරයේ හැඩයක් ගනී. කෙටි නටුවක් සහිත මල් වල රේණු පිටතට දික් වී ඇත. උසැති කිනිති ආකාරයේ මල් හට ගනී. ලංකාව, ඉන්දියාව ආදී රටවල මෙම ශාකය වගාකෙරේ.
ඖෂධීය ගුණ
ශාකයේ සෑම කොටසක්ම පාහී ඖෂධ සඳහා යොදා ගැනේ. ඇදුම, ස්වසන ආබාධ, කක්කල් කැස්ස ආදී රෝග සඳහා කෙරෙන ප්‍රතිකාර වලට නැතුවම බැරි ශාකයකි. දීර්ඝකාලීන කැස්සට කප්පරවල්ලිය යනු දිවමන් ඔසුවකි. වේදනාව සහ විස නැසීමට, වාතය සහ සෙම සමනය කිරීමට, මුත්‍රා ගල් නැසීමට ප්‍රයෝජනවත් වේ.
කප්පරවල්ලිය පීනස සඳහා ඉතා ගුණදායක වේ. ආහාර ජීර්ණය පහසු කර ආහාර රුචිය වැඩි කිරීමේ ගුණයක් කප්පරවල්ලිය ශාකයේ දක්නට ලැබේ. අරුචි, අජීර්ණ, උදරශූල, අතීසාර, ග්‍රහණි, විසූචිකා, අර්ශස්, අම්ලපිත්ත සහ කෘමි රෝග සඳහා ගුණ ලබා දෙයි.
එසේම ගව මහීෂා දී සතුන්ට ප්‍රතිකාර කිරීමේ දී යොදා ගන්නා ඖෂධ සඳහා ප්‍රධානතම අමුද්‍රව්‍යයක් ලෙස කප්පරවල්ලිය භාවිතා කරයි. මන බඳිනා සුවඳකින් යුක්ත නිසා අතීතයේ දී සුවඳ විළවුන් සෑදීම සඳහා ද කප්පරවල්ලිය පත්‍ර භාවිතා කර ඇති බව පොත පතෙහි සඳහන් වේ.
මෑතක් වනතුරු වන තුරු සෑම ගෙවත්තකම පාහේ දක්නට ලැබුණු කප්පරවල්ලිය ශාකය, වල් නාශක භාවිතය නිසා දැන් දැන් විනාශ වී ගොසින් ඇත. කප්පරවල්ලිය වගා කිරීම ඉතා පහසු වේ. කුඩා ළපටි දඬු කැබැල්ලක් ඉතා පහසුවෙන් මුල් අද්දවා ගත හැක. වගා කිරීමට ඉතා පහසු නිසා මේ සා විශාල ගුණැති කප්පර වල්ලිය ශාකයක් ගෙවත්තේ සිටුවා ගැනීම බොහෝ ප්‍රයෝජනවත් ය.
Leave a Comment