දැනුම

කරල් හැබ

මිදුල, වත්ත, පිටිය සුද්ද කරන විට නොදැනුවත් භාවය නිසා බොහෝ ඖෂධීය පැළෑටි, වල් පැළෑටි ලෙස සලකා උදුරා විනාශ කරනු ලබයි. Colombo Beacon ‘සුව ධරණි’ ලිපි පෙළහි එක් අරමුණක් වන්නේ අපේ හෙළදිව ඖෂධීය සාරය ආරක්ෂා කර ගැනීමයි.

මෙවර මෙම පරිච්ඡේදයේ විස්තර වන්නේ අර්ශස් රෝගයට අතිවිශිෂ්ට ගුණදෙන නමුත් වල් පැලෑටියක් සේ සලකා විනාශ කරනු ලබන Amaranthaceae කුලයට අයත් කරල් හැබ ශාකය පිළිබඳවයි.

කරල් හැබ

උද්භිද නාමය :- Achyranthes aspera
ඉංග්‍රීසි නාමය :- Prickly Chaff plant
වෙනත් නම් :- කරල් සැබෝ, අපා මාර්ග

කරල් හැබ ප්‍රභේද දෙකක් වශයෙන් පවතී. ඒවා වන්නේ රත් කරල් හැබ හා ගස්කරල් හැබය. උසින් අඩි තුනක් පමණ පැළෑටියක් වන මෙය මල්වල වර්ණය අනුව මෙලෙස ප්‍රභේද දෙකකට වෙන් කරයි. මෙහි ඖෂධ සඳහා වැඩිපුර යොදා ගන්නේ රත් කරල් හැබ වේ.

කරල් වල හැඩය කොක්කක් ආකාරයෙන් පිහිටයි. එහි විශේෂත්වය වන්නේ අසලින් ඇවිදින අයගේ වස්ත්‍ර වල සහ සත්තුන්ගේ ඇඟෙහි ඇට ඇමිණි ප්‍රචාරණය වීම ය.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. එනම් මුහුදු මට්ටමේ මට්ටමේ අඩි තුන්දාහක් දක්වා ප්‍රදේශවල දක්නට ඇත. ස්වභාවික තෘණ පැළෑටි අතර පැලවෙන හෙයින් බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ වල් පැළෑටියක් ලෙසය.

ආමාශයට ඉතා හිතකර ඖෂධයකි. අරුචිය, වමනය, බඩ පුරවා දැමීම, උදර රෝග පණු අමාරු වල දී මේවායේ බීජ ඖෂධ සඳහා යොදාගැනේ. අර්ශස් සඳහා මෙයින් සාදාගත් කසාය විශේෂයෙන් ගුණදායක වේ.සෙම් වාත රෝග සමනය කරයි.

අතීතයේදී සහ අප කුඩා කාලයේ දී තුවාලයක් සිදු වූ විට නිදිකුම්බා සපා ආලේප කරනවා මෙන් කරල් හැබ තලා බාහිරින් සිදුවන තුවාල සඳහා භාවිතා කිරීම ප්‍රකටව පැවතුණි. වර්තමානයේ භාවිතයෙන් බැහැර ව ගිය ද බාහිරින් වන තුවාල, භගන්දර සහ වණ සඳහා කරල් හැබ වල ඇති ඉක්මනින් සුව කරන ප්‍රත්‍යක්ෂ ගුණදායි ඖෂධයක් කරල් හැබ ක්ෂාරයෙහි අන්තර්ගතව ඇත.

මෙලෙස බොහෝ ගුණ ඇති කරල්හැබ ශාකය වර්තමානයේ දී බොහෝ දෙනා වල් පැළෑටි ලෙස සලකා විනාශ කරන හෙයින් මෙවැනි ඖෂධීය ශාක රැකගැනීම ‘සුව ධරණි’ පාඨක ඔබ සැමගේ යුතුකමකි.

මූලාශ්‍ර :-

  • https://bit.ly/38Ny2R3
  • ආයුර්වේද වෛද්‍ය ප්‍රඥාඡීවි මහත්මියගේ උපදෙස්

Post Design by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment