ලාංකේය ග්‍රාම්‍ය ජීවිතය සමඟ තදානුබද්ධ ව පැවැති යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම්, බලිතොවිල්, වශී ගුරුකම් ආදිය ජනප්‍රිය වූයේ කර්මජ රෝග සුවකර ගැනීමට ය. කර්මය නිසා ඇතිවන රෝග කර්මජ රෝග වේ. මෙකී රෝග සුව කරගැනීමට භාවිත කළ බොහෝ ක්‍රම වර්තමානය වන විට තාක්ෂණය සමඟ ගැටෙන මිනිසා බැහැර කළ ද, අතීත මිනිසුන් හිස් මුදුනින් පිළිගෙන ඇත.
නූතන පරම්පරාවේ ගායිකාවක වන අභිෂේකා විමලවීර නවකතා කලාවේ ප්‍රසූතිය ලබන්නේ පෙර සඳහන් කළ ග්‍රාම්‍ය සංස්කෘතියක මිනිස් විශ්වාස, ආදරය, කුල ගැටුම් ආදිය පිරි “කර්මජ” නම් නවකතාව හරහා ය. 2020 වසරේ ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටයේ පවා නියෝජනය කළ පිටු 160 කින් යුතු මෙම නවකතාව ලේඛිකාවගේ ළමා කාලය රසවත් කළ ඇගේ පියා විසින් සඳහන් කරන ලද අතීත කතාවක ජීවත් වූ “පේදරං” නම් චරිතය වටා ගෙතී ඇති නවමු අත්දැකීමකි.
“ලවුස්පීකරයෙන් නම නොකීවත්, ගම් හතක් පුරා තමාගේ නම සහිත පෝස්ටරය අලවා තිබීම ඔහුට සහනයකි…”
නරාවල ගමේ සාමාන්‍ය ජනතාවගේ පමණක් නොව, පන්සලේ නායක හිමියන්ගේ ද, එවකට කෘෂිකර්ම ඇමතිතුමා වූ පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ ද ගෞරවයට පාත්‍ර වූ මෙන්ම ඇමතිතුමා විසින් ප්‍රදානය කළ වෙලේ විදානේ ධූරයකට ද හිමිකාරයෙකි. ඔහුට මේ ගෞරවය හිමි වුව ද ගමේ තවත් වැදගතෙකු ලෙස හැඳින් වූ ලියන මහතා පේදරං සමඟ යම් සිත් අමනාපයකින් කටයුතු කරන ආකාරය ලියන මහතාගේ ක්‍රියාකලාපය හරහා විසඳ කරයි. එය පේදරංගේ ආඩම්බරකාරීත්වය මදක් බිඳ දමන්නට තරම් ප්‍රබල වී ඇත.
“මට ඕන කළේ වසුන්දරාගේ රුධිරෙයි, කෙසුයි ගන්න… මං මොකටද මට හිමි වස්තුවක් අනුන්ට දෙන්නෙ…”
කතා නායකයා දිනක් කොහොඹලාදෙණිය බෝමළුව පුරාණ රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් ඉදිරිපිට ඔහුගේ අතීත මතක අවදි කරයි. ඒ හරහා පේදරං යනු, කුඩා කාලයේ දී ම මහණ දම් පිරූ හිමිනමක් බවත්, තරුණ වියේ දී තම සිත දිනා ගත් තරුණිය කළ නීච කුල නාරී බන්ධන වශියක් හරහා ඇය කැමති කරවා ගෙන උපැවිදි වී රහසේම විවාහ පත් වී ඇත. විවාහයෙන් පසු ඔවුන් දෙදෙනාට දාව එක් පුතෙකු බිහිවන අතර මඳක් කල් යාමේ දී බිරිඳ පිළිකා රෝගයකින් මිය ගොස් ඇත. තරුණ අවධියේ දී තම ගුරු හාමුදුරුවන්ගේ ඉගෙනගත් යන්ත්‍ර මන්ත්‍ර සිදු කිරීම් ආදිය හිතු මනාපයට භාවිත කරමින් කටයුතු කර ද්‍රෝහියකු ද වී ඇත.
පේදරංගේ චරිතය කෙසේ වුව ද ඔහුගේ පුත්‍රයා නම් ඉතා විනීත, දැහැමි, අනවශ්‍ය කිසිවකු සමඟ වැඩි ඇසුරක් නොදක්වන තරුණයෙකි. ඔහු ලියන මහතාගේ දියණිය වූ කුසුමලතා සමඟ යම් සබඳකමක් හෝ මිත්‍රත්වයක් ඇති බැව් පාඨකයාට ව්‍යාංගයෙන් කතාන්දරය මුල දී පසක් කරයි. එහෙත් පසුව ඔවුනොවුන්ගේ ලියුම් හුවමාරුවක් හරහා පාඨකයාගේ සිතේ හටගන්නා ප්‍රශ්නවලට සෙමෙන් පිළිතුරු ලබා දීමට ලේඛිකාව දක්ෂව ඇත.
“ඔහේට අරින්න දොරවල් මෙහෙ නෑ… ආපු අතක් බලාගෙන යන එකයි තියෙන්නෙ…”
එක් දිනක් නිවසට පැමිණෙන පේදරං දැක කෝපයට පත්වන ලියන මහතාගේ බිරිඳ ගෙදර දොරවල් වසන්නේ පේදරංට ද එය හැඟෙන ආකාරයට ය. ඉන් මහත් කෝපයට පත් වූ පේදරං,
“මං බස්සන්නංකො ඕකිගෙ උද්දච්චකම…”
යැයි සිතමින් තම නිවසට ගමන් අරඹයි. ඉන් පසු දිනයක පාසලේ ගුරුවරයෙකු වූ ජිනදාස මහතා පැමිණ තම බයිසිකලය අස්ථාන ගත වී ඇති බවත් ඒ සොයා දෙන මෙන් ද ඉල්ලා සිටියි. පේදරං මේ අවස්ථාව තම දස්කම් ගමේ සියළු දෙනා ඉදිරියේ ප්‍රදර්ශනයට කදිම අවස්ථාවක් කරගනිමින් හොරා ද, බයිසිකලය ද මන්ත්‍ර බලයෙන් සොයා දෙන අතර පේදරංගේ යන්ත්‍ර, මන්ත්‍ර වල ප්‍රබලත්වය ද ගම්මුන් අතර ඉතා වේගයෙන් ප්‍රචාරය වේ.
ලියන මහතාගේ බිරිඳගේ ක්‍රියාකලාපය නිසා ඇති වුණු අපහාසය පියවා ගැනීමට හූනියමක් සිදුකර එය ලියන මහතාගේ ගෙදර මිදුලේ වළ දැමීමට සූදානම් වේ. මේ සඳහා දින දෙක තුනක් ඔත්තු බලමින් සිට එක් දිනක් රාත්‍රියේ ලියන මහතාගේ නිවසේ මිදුලේ වලක් කපා හූනියම වල දමයි. මේ කාර්යයේ දී පේදරංගෙන් සිදුවන සුළු සුළු අත්වැරදීම් නිසා ලියන මහතාගේ අතටම හූනියම හසු විය. එහෙත් මෙය පේදරං විසින්ම කරන ලද්දකැයි ප්‍රකාශ කිරීමට තරම් සාධාරණ සාක්ෂි නොමැති ලියන මහතා නිශ්ශබ්දව සිටියි.
මේ අතරතුර ලියන මහතාගේ බිරිඳ හදිසියේ ම දරුණු අසනීප තත්ත්වයකට පත් වේ. ඒ අංශභාග රෝගයක් යැයි සැක කරමින් පන්නිපිටිය ඇරැව්වල වෙදගෙදරට තම බිරිඳ රැගෙන ගිය අතර ලෙඩා පරීක්ෂා කළ වෙදැදුරුතුමාගේ නිගමනයට අනුව නිවසට පැමිණ හෙදකම් කරන අතරතුරම හොඳ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කට්ටඩියෙකු හමුවීමට ලියන මහතා කටයුතු කරයි.
“උඹට බැරිද ලියන මහත්තයාගෙ ගේ පැත්තෙ ගිහිං… මොකද වෙලා තියෙන්නෙ කියල බලාගෙන එන්න…”
මේ අතරතුර තම මවගේ අසනීප තත්වය නිසා කුසුමලතා රැකියාවට නොගොස් නිවසේ කිහිප දවසක් නවතින අතර ඒ පිළිබඳ කනස්සල්ලට පත් ශාන්ත ද රැකියාවෙන් නිවාඩු ලබා නිවසෙහි නතර වේ. ඉන් අනතුරුව අබිලිං නම් පේදරංගේ නිවසෙහි අත්උදව් සපයන පුද්ගලයා ලියන මහතාගේ නිවසට යවා එහි වැඩකටයුතු වලට උදව් කරන්නට සැලැස් වීම හරහා ලියන මහතාගේ නිවසෙහි සිදුවන සියල්ල පිළිබඳ විස්තර අබිලිං මාර්ගයෙන් සීරුවට සොයාගනු ලබයි. අබිලිං යනු, කතාන්දරය මැද දී පාඨකයාට හමු වු අනු චරිතයක් වේ. ඔහු මවුපියන් අහිමි වූ, අනුන්ට වැඩ කර දීමෙන් කුසගිනි නිවා ගන්නා පුද්ගලයෙකි. හමුවන ඕනෑම අයෙකුට උදව් උපකාර කරන හෙයින් සියළු දෙනාගේ කරුණාවට පත් වූවෙකි. ලියන මහතාගේ නිවසේ අත් උදව්වට මේ දිනවල අබිලිං නිරන්තරයෙන් යෑම සමඟ ඔහු සිතේ ලියන මහතාගේ ගෙදර සේවිකාවක වූ යසවතී පිළිබඳ ආදරයක් ඇති වේ. එය පේදර්ං තම කාර්යයට ඉත්තෙකු ලෙස යොදා ගනී.
දවස් කිහිපයක් මෙලෙස ලියන මහතාගේ නිවෙසට යන අබිලිං දිනක් ලියන මහතාගේ නිවසෙහි තොවිලය ගැන විස්තර පේදරං සමඟ පවසයි. මේ අතර අතරතුර ලියන මහතාගේ බිරිඳ ද සුවය ලබයි. එහෙත් ඉන් අනතුරුව සිදුවන්නේ කිසිවෙක් නොසිතූ ආකාරයේ සිදුවීමකි. එනම් තම මවුපියන් රවටමින් රහසේම ශාන්ත සහ කුසුමලතා විවාහ පත් වී යහළුවෙකුගේ නිවසේ නවාතැන් ලබාගෙන ඇත. පේදරං සිතන්නේ තමන් විසින් සිදු කළ නීච කුල නාරි බන්ධනය නිසා මෙය සිදු වූ බවය.
“කුසුමලතායි මගෙයි අතරෙ වෙච්ච දේවල් බැරි වෙලාවත් ලියුමක ලිය වුණා නම් විසුමක් වෙන්නෙ නෑ…”
එහෙත් ශාන්ත සහ කුසුම් අතර වූ ලියුම් හුවමාරුවේ දී ඔවුන් විශේෂ යමක් කියවුනොත් යැයි බිය වීම හරහා නම් මේ සම්බන්ධය පේදරං සිතා සිටි ආකාරයට වඩා වෙනස් අකාරයක එකක් බව හැඟෙයි.
“දැන්වත් පිළිගන්නවද මීට වසර ගණනකට ඉහත “දිනමිණ” කාර්යාලයට ගිහිං නම් වෙනස් කිරීමට දැන්වීමක් දැම්මයි කියන එක…”
තවත් දිනක් පන්සලේ නායක හාමුදුරුවන්ගේ පණිවිඩයක් ලැබ පේදරං පන්සලට යයි. ඒ අවස්ථාවේ දී නායක හාමුදුරුවන් වහන්සේ විසින් කියූ කතාව සහ ඇසූ ප්‍රශ්න වලින් පැන යාමට නොහැකි තැන පේදරං තම සත්‍යය නාහිමියන් ඉදිරිපිට පිළිගනී. මේ සිදුවීම හරහා මෙතෙක් කාලයක් ලියන මහතාගේ සිතෙහි පේදරං කෙරෙහි තිබූ අමනාපයට හේතුව ද නිරාකරණය වේ. ගාල්ලේ උපත ලබා ඇති පේදරං අදින් වසර ගණනාවකට පෙර තම වාසගම සහිත නම වෙනස් කරමින් දිණමින පුවත්පතේ ලිපියක් පළ කර ඇත. එම කාරය ලියන මහතා විසින් සිදු කර දී ඇති අතර එම නිසා ලියන මහතා පේදර්ංගේ ව්‍යාජ නම කිසිදු ස්ථානයක පැවසීමට අකමැත්තක් දක්වා ඇත. මෙකී ක්‍රියාව වැරැද්දක් ලෙස දැකීම අනුමත කිරීමට නොහැකි අතර ඒ හරහා එකල සමාජයේ පැවති කුල භේදයෙහි ස්වභාවය කෙබඳු දැයි ද විස්තර පාඨකයා හමුවෙහි තබා ඇත.
දිනෙන් දින ලියන මහතාගේ නිවසේ සිදුවන හූනියම කැපීමේ මහා තොයිලයට දින එළඹේ. එදින පේදරංගේ නිවස ඉදිරිපිට ද ගැමියන පිරිසක් එකතු වී බලාසිටියේ සැබවින්ම හූනියම කර ඇත්තේ පේදර්ං අද රාත්‍රියේ ඔහුට කුමක් වේ දැයි යන සැකයෙන් පෙළෙමින් ය. කරුණු කෙසේ වුව ද තොයිලය අවසානයේ පේදරං නාහෙන් කටින් ලේ දමා මිය යයි. ඔහුගේ මරණය තුළින් හූනියම සිදුකර ඇත්තේ පේදරංම බව විශ්වාසයක් ඇති වුව ද පේදරංගේ චරිතයට ගෞරව කළ ගම් වැසියන් පිරිසක් මේ ක්‍රියාව ලියන මහතා විසින් සිතාමතා පේදරං මරණයට පත් කිරීමට කරන ලද්දක් ලෙස දන්වමින් ගම පුරා කැලෑ පත්තර අලවා ඇත.
“පේදරං මාමා කොයි තරම් බයෙන් උන්නද කියලා දනෙනේ මමනේ. බයට, දරාගන්න බැරි කමට පපුව පැළිලා මැරිල යන්ට ඇති…”
කතානායකයාගේ මරණින් පසු මෙතෙක් කලක් අනු චරිතයක් වූ අබිලිං ප්‍රධාන චරිතයක් ලෙස ඉදිරියට ගෙන එන ලේඛිකාව අබිලිං විසින් ශාන්ත සහ කුසුමලතා නවාතැන් ගෙන සිටින නිවසෙහි ලිපිනය සඟවා තිබූ ස්ථානයෙන් සොයාගෙන පැමිණ නායක හාමුදුරුවන්ගේ දෑතට දීම මෙන්ම මේ සිද්ධි දාමය පිළිබඳ මෙනෙහි කරන කොටස හරහා පේදරං ලියන මහතාගේ නිවසේ පැවති තොයිලය පිළිබඳ දැඩි බියකින් පසු වූ බවත් ඒ නිසා මිය යන්නට ඇතැයි ද අබිලිංට සිතේ. මේ හරහා ග්‍රාම්‍ය ජීවිත වෙලාගෙන සිටින යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වල සත්‍යාසත්‍යතාව තම තම නැණ පමණින් පහදා ගන්නට පාඨකයාට අවස්ථාව හිමිකර දී ඇත. ආදරය, ප්‍රේමය බලහත්කාරී ලෙස සිත් තුළ නිර්මාණය කිරීමට නොහැකි බවත්, බලහත්කාරී ලෙස හිමි කර ගත්තද දිනෙක එය අහිමිව යන බවත් පසක් කරන්නට උත්සාහ ගෙන ඇත.
පෑලියාව, පළඟාන, තමුහෙ, අලඟු, අබල්ං, ජාගර යන ගැමි වදන් ඉතා චමත්කාර ලෙස මුසු කරමින් පාඨකයාට එක හුස්මට කියවා නිම කරන්නට තරම් කැමැත්තක් නිර්මාණය වන පරිදි රචනා කර ඇති “කර්මජ” නවකතාව හරහා ලේඛිකාව තම ප්‍රතිභා ශක්තිය ද සමාජ පණිවිඩයක් සමඟ සමාජගත කරන්නට සමත් වී ඇතැයි ප්‍රකාශ කළ හැකිය. “කර්මජ” ගැමි සුවඳ රසවිඳින්නට කැමති පාඨක ඔබගේ කියවීම් කලාවට තවත් සුන්දර අත්දැකීමක් එකතු කරනු ඇතැයි නිසැකය.
Designed By Pathum Lakshan
Leave a Comment