“වයස අවුරුදු හතේ දී “රේඩියෝ සිලෝන්” හි දුව පැන ගීත ගායනා කළ පුංචි ලියෝනි, ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ සම්මානනීය ප්‍රථම නිළිය වනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත.”
වර්ෂ 1948 උපත ලැබූ ලියෝනි වීරසිංහ මහත්මිය කා අතරත් ජනප්‍රිය වූයේ කලාවේ නපුරු ආච්චි අම්මා ලෙසයි. ඒ අන් කිසිවක් නිසා නොව, අවස්ථා කීපයක දී ම ඇය විසින් නිරූපණය කරන ලද විශිෂ්ට ගණයේ චරිත නිරූපණයන් නිසා ය. “ලියෝනි වීරසිංහ” නම් වූ ඇය, ජායාරූප ශිල්පී තිස්ස කොතලාවලයන් සමඟ විවාහ දිවියට පා තැබීමෙන් අනතුරුව “ලියෝනි කොතලාවල” නමින් ප්‍රකට වූවා ය.
1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් සංවිධානය කළ නාට්‍ය තරගයක් සඳහා ජී.ඩී.එල්. පෙරේරා මහතා නිර්මාණය කළ “සාමා” වේදිකා නාට්‍යය තුළින් කලා ලොවට පිවිසි ඇය, ඒ ඇසුරින්ම නිමැවුණු “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් සිනමාව තුළ ද ලියෝනි නාමය සනිටුවහන් කිරීම ඇරඹුවා ය. “සාමා” හි ඇය නිරූපණය කළ ගැමි චරිතය සුවිශේෂි එකක් වූයේ ඇය කොළඹ නාගරික පරිසරය තුළ හැදී වැඩුනු නිසාවෙනි.
“චණ්ඩාලි”, “පිපෙන කුසුම්”, “වජිරා”, “රජ දරුවෝ”, “පුනරුප්පත්තිය” වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ ඇය, අනතුරුව “මචං”, “බොරදිය පොකුණ”, “බන්ධනය” වැනි මෑතකාලීන චිත්‍රපට තුළ ද තම ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව විදාහා පෑවාය. 2016 දී තිරගත වූ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ කුසුම්ගේ නැන්දණිය ලෙසින් කළ චරිතය ඇයගේ සිනමා ප්‍රතිභාව මනාවට ඉස්මතු වූ තවත් අවස්ථාවකි. එය තවදුරටත් තහවුරු කරමින් ඇය එම චරිතය වෙනුවෙන් “සිග්නීස්” උත්තමාචාර සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය සඳහා නිර්දේශ විය.
ලූෂන් බුලත්සිංහලයන්ගේ “සෝමාගේ සිහිනය” ටෙලි නාට්‍යය තුළින් පුංචි තිරයට පිවිසි ඇය “තාරාදේවි”, “චරිත තුනක්”, “කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්ද්‍රා” ,“හිරුට මුවාවෙන්”, “නෑදෑයෝ” වැනි විශිෂ්ට ටෙලි නාට්‍යයන් කීපයකටම තම රංගන දායකත්වය ලබා දුන්නාය. ඉතා ජනාදරයට පාත්‍ර වූ “පාං බට්ටා” ටෙලි නාට්‍යය තුළ ඇය නිරූපණය කළ අත්තම්මාගේ චරිතය අදටත් ප්‍රේක්ශක හදවත් තුළ නොමැකෙන සටහනක් බවට පත් වී ඇත.
“වජිරා” යනු, ලියෝනි කොතලාවලගේ රංගන දිවිය තුළ අමතක කළ නොහැකිම නාමයකි. ඒ ගුවන් විදුලි, රූපවාහිනී සහ සිනමා යන මාධ්‍යයන් ත්‍රිත්වයේම දිගහැරුණු “වජිරා” නිර්මාණයන්හි “ඇසිලින්” චරිතය නිරූපණය කළේ කොතලාවලයන් නිසා ය.
1962 දී ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ නිළියන් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවේ දී ම “මෙහෙව් ලෝකය” වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලබා ගැනීම ලියෝනි කොතලාවල රංගන පෞරුෂය විස්තර කිරීමට ප්‍රමාණවත් ය. වයස අවුරුදු හතේ දී “රේඩියෝ සිලෝන්” හි දුව පැන ගීත ගායනා කළ පුංචි ලියෝනි, ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ සම්මානනීය ප්‍රථම නිළිය වනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත.
කලක් රෝගාතුරව සිටි ලියෝනි කොතලාවල මහත්මිය මිය යන විට 74 වන වියේ පසු වූවාය. ශ්‍රී ලාංකේය කලා අඹරේ සොඳුරු අත්තම්මේ, ඔබට සුභ ගමන්..!
Leave a Comment