දැනුම

කලා ලොවෙහි සොඳුරු සිනහවන්තිය

කලා ලොවේ පරිණත කාන්තාවක් වූ,
සහජයෙන් රංගනය සිනමාවට දායාද කළ,
කැපවීමෙහි ප්‍රතිමූර්තියක් බඳු වූ,
ලාංකේය කලාවෙහි සොඳුරු රුවැත්තිය,
නමින් දුලීකා මාරපන වේ…

වර්ෂ 1975 නොවැම්බර් 15 වන දින නුවර මහ රෝහලේ දී උපන් දුලීකා මාරපන මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් සහ කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරීය. අප ඇයව දුලීකා මාරපන ලෙස නම් දැරුවත් ඇය වාසල කුලතුම් විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරි විජේකෝන් මාරපන වන්නීය. මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම වේදිකා නාට්‍ය නිළියක් සහ කතිකාවක් ලෙස පරසිඳු දුලීකා මාරපනගේ දිවියේ වූ කටුකත්වය පිළිබඳව නම් ඔබ අප සැම දන්නා වූ කරුණකි.

දුලීකා මාරපන යනු සුවිසල් චරිතයකි. සිය ජීවිතයේ වූ කටුක සිද්ධීන්ට ශක්තිමත්ව මුහුණ දුන් ඇගේ කතාව අදටත් නීතිය ඉගෙන ගන්නා සිසුන්ගේ පාඩම් මාලාවක් වී ඇති බැව් නම් අපූරුය.

දුලීකා මාරපන තුළින් හමුවන සුවිශේෂී චරිතයක් ලෙස ඇයගේ මව හඳුනා ගත හැකිය. සිය ස්වාමියාගෙන් ස්වකීය දියණියට එල්ල වූ අඩත්තේට්ටම් වලින් ඇයව රැක ගැනිම සඳහා අනේකවිධ දුක් විඳි ඇය, ශ්‍රේෂ්ඨ වන්නට වෙනත් හේතු ඇවැසි නැත. පිරිමි පුතකු බලාපොරොත්තුවෙන් උන් දුලීකාවන්ගේ පියාට සිය කුළුඳුල් දරු උපතින් ලද ගැහැණු දරුවාව තම සෙවණෙහි හදාවඩා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තරම් වු දරදඬු හිතක් ඇති වූයේ කෙසේද යන්න සැබැවින්ම සිතා ගත නොහැකිය. ඉන් නොනැවතී ඔහු මවගෙන් දියණියව වෙන් කර තබන්නට දැරූ උත්සාහයන් ද අපමණය. දුලීකාවන්ගේ මව සිය දියණියව ඔහුගෙන් බේරා ගෙන උස්මහත් කළ අපූරුව නම් සමස්ත කාන්තා පරපුරටම අගනා ආදර්ශයක් වනු ඇත.

අනාවැකිකරුවකුගෙන් ලද නිමිත්තකට අනුව ගැහැණු දරුවකුගෙන් පියාට සහ සිය පවුලට වන අපලය දුරු කර ගන්නට අලුත උපන් දියණියව වෙනත් පවුලකට හදාවඩා ගන්නට දීමට පමණක්ම නොව, වයස අවුරුදු 18 වන විට මවගෙන් දියණියව වෙන් කරනවා යන පියාගේ අභියෝගයට පවා මුහුණ දෙන්නට දුලීකාවන්ගේ මවට සිදු විය. දරුවාට එරෙහිව ඇතිවන මෙකී බාධාවන් නිසා ඉන් තරමක හෝ සහනයක් බලාපොරොත්තුවෙන් නඩු මගට පිවිසෙන දුලීකාවන්ගේ මවට තවත් අභියෝගයක් එල්ල විය. 

එවකට පැවති මෙරට නීතියට අනුව දික්කසාදයකින් පසු ගැහැණු දරුවා පියාටත්, පිරිමි දරුවා මවටත් යන නීතිය දුලීකාවන් මවගෙන් වෙන් කරන්නට බැඳි පාලමක් සේ බලා සිටින්නට විය. කෙසේවෙතත් එවකට පැවති නීති සංශෝධනයක් මගින් දියණියව මවට ලබා දීම සඳහා අධිකරණය කටයුතු කරනු ලබයි. මේ අනුව ලංකාවේ  නීති ප්‍රකාරව  ‘හබයාස් කොපුස්’  රීට් ආඥාවක් අනුව  මවකට භාර දෙන පළමු ගැහැනු දරුවා  වන්නේ දුලීකා මාරපනයි. ඒ අනුව ඇයට සිය මවගේ වාසගම හිමි වෙයි.

දිවියේ අනේකවිධ හැලහැප්පීම් වලට මුහුණ දුන් දුලීකා මාරපන සිය ජීවිතයේ හැරවුම් සටහන තබන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු විමත් සමඟය. ඇය හා සිටි ඇගේ මිතුරන්ගේ උදව්වෙන් මෙන්ම මවගේ ආශිර්වාදය මුල් කාලීනව රංගනය කෙරෙහි නොලැබුණත් ඇයගේ ආශිර්වාදය ද සමඟ මෙතරම් දුරක් කලා ක්ෂේත්‍රය තුළ වැජඹෙන්නට ඇයට හැකි වේ යැයි ඇයත් නොසිතන්නට ඇත. 

වර්ෂ 1997 පටන් මේ දක්වා වේදිකා නාට්‍ය, සිනමා පට මෙන්ම ටෙලි සිත්තම් ඔස්සේ ද ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා අසහාය රංගන දායකත්වය ලබා දෙන දුලීකා මාරපන මහත්මිය මෙරට කලාවට එක් කරන්නා වූ නව ආරය සැබවින්ම චමත්කාරය. 

ඇගේ රංග ප්‍රතිභාව මනාව විදහා දැක්වු ටෙලි සිත්තමක් ලෙස ‘මලී’ ටෙලිනට්‍යයේ ඩිංගිරි අම්මාගේ චරිතය හඳුනාගත හැකිය. එහිලා ගැබ්ව තිබූ භාව ප්‍රකාශන සැබවින්ම විශ්මයජනකය. ‘ලොරෙන්සොගේ මනමාලී’ වේදිකා නාට්‍යය ද ඇයගේ අපූර්වතම රංග වින්‍යාසයට සොඳුරු උදාහාරණයක් වන්නේය. 

කලා ලොව ජය ගත් ශක්තිවන්ත කාන්තාවන් අතර මුල් ස්ථානයේ වන දුලීකා මාරපනයන් සුජීව ප්‍රියලාල් නම් වූ මෙරට අග්‍රගණ්‍ය නළුවා සමඟ විවාහ දිවියට එළඹෙන්නේ එතෙක් විඳි දුක් කම්කටොළු වලට මෙන්ම දෛවයට පවා අභියෝග කරමිනි. වර්තමානය වන විට සිය ජීවිතයේ බලාපොරොත්තු නොවූ බොහෝ තැන්හි ජය ලද දුලීකාවන්ගේ සුන්දර වූ සිනහව ඇයට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂක ජනයාගේ මුවගට සිනහ නංවන්නට සමත් වන්නේ නිරායාසයෙනි. 

ජීවිතයත් කලාවත් අතර වූ සබැඳිය සමඟ තවත් බොහෝ දුර කලාවෙහි රැව් නංවන්නට දුලීකා මාරපන මහත්මියට හැකි වේවා! යන්න සුවහසක් ප්‍රෙක්ෂකයන්ගේ මෙන්ම Colombo Beacon අපගේ ද පැතුමයි. කලා ලොවේ සොඳුරු සිනහවේ උරුමක්කාරියනි, ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා!

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඩිලාන් චානුක

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment