දැනුම

කලා ලොවේ ජ්‍යේෂ්ඨතම නිළි තරුව

හෙළ සිනමාව දෙස් විදෙස් සියල්ලන්ගේම ජනාදරයට පාත්‍ර වූ කලාංගයකි. මෙකී හෙළ සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් ලෙස අයිරාංගනී සේරසිංහ මහත්මිය රසිකයන්ගේ සිත් දිනා ගෙන ඇත. ඇය සිංහල සිනමාවට පමණක් නොව වේදිකා නාට්‍යය තුළත්, පුංචි තිරය තුළත් නොමඳව දක්නට ලැබෙන අපූරු චරිතයකි. ඒ අපූරු චරිතය පිළිබඳ තතු බිඳක් ඔබ හා බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

1927 ජුනි මස 9 වන දින මුදුන්ගොමුව රුවන්වැල්ලෙහි දී ජන්මය ලැබූ සේරසිංහ මහත්මිය අයිරාංගනී රොක්ස්යානා මීදෙනිය නම් විය. කොළඹ ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ආරම්භ කළ මැය බිෂොප් විද්‍යාලයෙන්ද, මහනුවර උසස් බාලිකා විදුහලෙන්ද සිප් සතර හැදෑරුවා ය. අනතුරුව පියාගේද එරෙහිවීම් පසෙකලා තම අධ්‍යාපනය වැඩි දුරටත් කරගෙන යනු පිණිස University of Ceylon විශ්ව විද්‍යාලයට ඇතුළත්ව කලා උපාධිය හදාරන ලදි. පසුව එංගලන්තයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු තවදුරටත් සිදු කළාය. විප්ලවකාරී දේශපාලන චරිතයක් වූ ඇය විශ්ව විද්‍යාලයේදීම කොමියුනිස්ට්වාදී සටන්කාමියෙක් වූවාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව නාට්‍ය හා රංග කලාව පිළිබඳ පාඨමාලාවක් හදාරා අනතුරුව කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කළාය. මාධ්‍යකරණයට සිත් යොමු කළ ඇය, පසුකාලීනව SLBC ටයිම්ස්හි මාධ්‍යවේදනියක ලෙසද සේවය කළාය. 

සේරසිංහ මහත්මියගේ ජීවිත කාලය තුළ සිදු වූ දේ බොහෝ ය. ඇය හිතුවක්කාරකමට සිය පළමු විවාහය එස්.බී. දිසානායක මහතා සමඟ සිදුකර ගත් අතර එම විවාහය වැඩිකල් යාමට පෙර බිඳ වැටිණි. පසුව ඉංග්‍රීසි වේදිකා නාට්‍යයන්හි රඟපාන විට හමු වූ වින්ස්ටන් සේරසිංහ සමඟ ඇය දෙවන වරට විවාහ විය. ඒ හරහා ඇය අයිරාංගනී රොක්ස්යානා සේරසිංහ බවට පත් විය. මෙම විවාහයෙන් ඇයට රවී සහ රංජිත් ලෙස පුතුන් දෙදෙනෙකු විය.

අයිරාංගනී මහත්මිය මැක්සිම් ගෝර්කිගේ The Lower Depths නමැති ඉංග්‍රීසි වේදිකා නාට්‍යයට සම්බන්ධ වන අතර ඇය පළමුව රංගන දායකත්වය ලබා දෙනුයේ මෙම ඉංග්‍රීසි වේදිකා නාට්‍යයටය. ඉන් පසුව හෙන්රි ජයසේන මහතාගේ  ‘අපට පුතේ මඟක් නැතේ’ සිංහල වේදිකා නාට්‍ය හා සම්බන්ධ විය. 

ලාංකීය සිනමාවේ පළමු කාන්තාව ලෙසින් විරුදාවලි ලබන මෙතුමිය පළමුවරට සිනමාවට පිවිසෙනුයේ 1950 වර්ෂයේදී තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ‘රේඛාව’ චිත්‍රපටය හරහා ය. එහි කත්‍රිනා (කතිරිනා හාමි) නම් වූ මවකගේ චරිතයකට ඇය පණ පොවන ලදි. ඒ හරහා ඇය මොනවට තම දස්කම් විදහා පෑ අතර 1956 හොඳම නිළිය ලෙස දීපශිකා සම්මානයද එතුමියට හිමි විය. රේඛාව චිත්‍රපටයෙන් අනතුරුව සංදේශය, දෙලොවක් අතර, වෑකන්ද වලව්ව, සමාරා, රෝස කැලේ, අභිනික්මන… යනාදී ලෙස චිත්‍රපට බොහෝ ප්‍රමාණයකට ඇය රංගනයෙන් දායක වූවා ය. එසේම රෝයි ද සිල්වාගේ නිර්මාණයක් වන, 2013 වසර්දී තිරගත වූ ‘It’s a matter of Love’ නමැති චිත්‍රපටයට ද ඇය සම්බන්ධ විය. මෑතක් වන තුරුම ඇය රංගනයේ යෙදී සිටීම ඉතා පැසසුම් සහගත වේ.  මක්නිසාදයත් ඇයගේ රංගනය ආරම්භය සිට අද වන තෙක්ම ඉතා ආකර්ෂණීය මෙන්ම විශිෂ්ට රංගනයන් වේ. මේ වන විට චිත්‍රපට 40ට අධික ප්‍රමාණයකට ඇය රංගනයෙන් දායක වී ඇත.

මෙරට රංගනය හැදෑරූ ප්‍රථම නිළිය වන මෙතුමිය සිනමාවට, වේදිකාවට පමණක් නතු නොවී පුංචි තිරයද ඇයගේ රංගනයෙන් හැඩ කළා ය. 1980 දී  ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ‘සුදු හාමිනේගේ චරිතය’ හරහා ලාංකීය ටෙලිනාට්‍ය කලාවට පිළිපන් වූ මැය දූ දරුවෝ, ගම්පෙරළිය, නෑදෑයෝ, අම්මයි තාත්තයි, සත්පුරවැසියෝ, මුතු කිරිල්ලී… වැනි ටෙලිනාට්‍ය ගණනාවකට තම රංගන දායකත්වය සපයන ලදි. දශක පනහකටත් අධික කාලයක් ක්ෂේත්‍රයේ රැඳුණු සේරසිංහ මහත්මිය ‘කලා කීර්ති’ සම්මානයෙන් සේම ‘Sri Lankan of the Year’ යන සම්මාන වලින් පිදුම් ලබා ඇත.  මීට අමතරව හොඳම නිළිය, හොඳම සහය නිළිය යන සම්මාන රාශියකටද උරුමකම් හිමිකරගත් අතර එමඟින් සුවිශද වන්නේ ඇයගේ ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාවය යි. 

රංගනයට පමණක් නොව පරිසරයටද ලැදි ඇය 1950 ගණන්වල සිටම රුක් රැක ගැනීමේ ව්‍යාපාරය හරහා පරිසරයට සිදුවන හානි අවම කර ගැනීමට ඇය ක්‍රියා කළාය. ඒ අනුව, අවසන් වශයෙන් කලා නිර්මාණ රාශියකට පණ පෙවීම හරහා රසික සිත් මුසපත් කළ කලාවේදිනී අයිරාංගනී රොක්ස්යානා සේරසිංහ මහත්මියට Colombo Beacon අපි මෙසේ ප්‍රණාමය පුද කරන්නෙමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සුමේදා රංදිමාලි විතාරණ

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment