“ලෝකය තැනී ඇත්තේ මවගේ ක්ෂීරයෙන් හා හිරුගේ ආලෝකයෙනි.”
මැක්සිම් ගෝර්කි
වසර බිලියන හතරකටත් වඩා ඉපැරණි පෘථිවියේ මිනිස් ජීවියාගේ ආරම්භය සිදුවන්නේ අදින් වසර 200,000කට පමණ පෙරාතුවයි. එතරම් මෑතකදී පෘථිවිය මත ජනිත වූ මිනිසා අනෙක් ජීවීන් සමඟ සසඳා බලන කළ තවමත් ආගන්තුක ජීවී කොට්ඨාසයක්. Homo erectus නම් වූ මානවයාගෙන් පැවත එන මිනිසුන් නැමැති සත්ව කොට්ඨාශය විද්‍යාත්මකව හඳුන්වන්නේ Homo sapiens sapiens නාමයෙන්. ලතිනීකෘත එහි අර්ථය නම් උගත් මිනිසා යන්නයි. එදා සිට අද තුරා මානවයාගේ ගමන් මග වේගවත්. ඒ වගේම ආශ්චර්යවත්.
ඉතින්, උගත් මිනිසා යන නාමය මොවුන් සඳහා නොගැලපෙන්නේ ද?
ලෝක ජනගහණය බිලියන 7කට අධිකයි. ඔවුන් ලොව පුරා විසිරුණු විවිධ රට වල වාසය කරති. ඒ ඒ රටවල් සතු වූ ඔවුනටම අනන්‍ය ඉතිහාසයක් ඔවුන්ට ඇත. ඔවුනොවුන්ටම අනන්‍ය වූ සංස්කෘති දරති. ඒ ඒ රටවල් වලට සුවිශේෂී වූ භාෂාවන් හසුරවති. ඔවුනොවුන්ගේ විශ්වාස මත විවිධ ආගම් අදහති. ඇතැම් විට එකම රටක වුව ද විවිධ සංස්කෘති, ආගම්, භාෂාවන් ඇත.
උෂ්ණත්ව වෙනස් වීම් අනුව හා ජෛව විද්‍යාත්මක හේතුන් නිසාවෙන් මිනිසාගේ සමේ වර්ණය වෙනස් වී අඳුරු සමැති හා එසේ නොවූ සමකට උරුමකම් කියන්නා වූ මිනිසුන් ලෝ පුරා ජීවත් වෙති. සාගරයෙන් හා තමා විසින්ම බෙදා වෙන්කර ගත් ගොඩබිම් සලකුණු නිසාවෙන් වෙන් වුනු එක් එක් රටවල වාසය කරන ජනයා තම තමන්ට ආවේණික සංස්කෘතියන් නිර්මාණය කරගත්තා මිස තමන්ට ලැබී ඇති මිනිස් චර්මයේ පැහැය ඒ සඳහා හේතු සාධක කර නොගත් බව ඔබ අප සියලු දෙනා හොඳින් දන්නා කරුණකි.
සියලු මනුෂ්‍යයෝ එකම මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නෝ ය. සියල්ලන්ම මෙලොවට පැමිණෙන්නේ එකම ආකාරයෙනි. සියල්ලන්ගේම සිරුරේ දුවන්නේ රත් පැහැ රුධිරයයි. ඉතින් මතුපිට වර්ණය සලකා අරගල කිරීම ඥානාන්විත ද?
මතු දිනෙක ජරා බවට පත් වන මේ භෞතික සිරුර, සියල්ලන්ගේම එක සේ සම්-ඇට-මස්-ලේ-නහර ලෙසින් ගොඩ නැගී ඇත.
උස, මහත, මුහුණේ හා සමේ පැහැය අතර ඇති වෙනස්කම් වලට හේතුව, තාක්ෂණයෙන් මෙන්ම විද්‍යාවෙන් ද දියුණු වත්මන් සමාජයට හෝඩියේ සිට පැහැදිලි කිරීම අනවශ්‍යය. මින් හැඟෙන්නේ මිනිසා හුදු කණ්ඩායම් ගත වීමට මුල් වී ඇත්තේ, මිනිසා විසින්ම උපකල්පනය කරගත්, එනමුදු කිසිදු සත්‍ය මූලධර්මයක් නොමැති මිථ්‍යා පදනමක් බවයි. ළදරු වියේ කෙළි සෙල්ලමට මිතුරන් සමඟ අපි දෙපිල බෙදීම ද මේ හා සමානම නොවන්නේ ද?
සත්‍ය දැන දැනත් උවමනාවෙන්ම එය පසෙකලා මිනිසුන් අතර විසල් අරගල ඇති කරගැනීමට හුදු සමේ වර්ණය වැනි සරල හේතූන් උපයෝගී කර ගැනීමට තරම් උගත් මිනිසාගේ උගත් බව පහතට වැටුණේ කෙසේදැයි සිතා බැලිය යුතුම කරුණකි. වඩාත් දුකට කරුණ නම්, හොල්මන්, අවතාර, ග්‍රහ අපල වැනි මිථ්‍යා මත පවා නොසලකා හරින වර්තමාන ලෝකයේ බලවත් ම රටවල් වල පවා මෙවැනි හුදු අර්ථ විරහිත අරගල දක්නට ලැබීමයි.
සත්ත්ව ලෝකයේ පවා එකිනෙකා අතර වර්ණ වෙනස්කම් දක්නට ඇත. නමුත්, ඔවුන් අතර ඇති සබැඳියාව එම වර්ණ වෙනස්කම් වලට පරාජය නොවී ය. සොබාදහමට පිටුනොපා, සරලව ගෙවෙන එම සත්ත්ව ලෝකය, මිනිස් ලෝකයට වඩා උසස් වන්නේ මෙවන් අවස්ථා වලදී ය. මිනිසත්කම සමේ පැහැයෙන් මනින්නට තැත් කරන අප හට ඔවුන් කියා දෙන්නේ අගනා පාඩමකි. ඉතින් අපට කොහි හෝ තදබල ලෙස වැරදී ඇති බව නොහැඟෙන්නේ ද?
ලෝකය තුල උස් හා පහත් වූ මිනිසුන් නැතිවා නොවේ. නමුත්, ඒ ජාතිවාදයෙන් හෝ ආගම්භේදයෙන් හෝ සමේ පැහැයෙන් හෝ නොව, හදවතේ ඇති මනුෂ්‍යත්වයෙනි.
අනෙකාගේ කරදරයක දී නොපැකිලිව පිහිට වීමට ඇති වන හැඟීම, අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ඇති නිර්භීතකම, කුමන සමාජ තත්වයක වුවත් සැම දෙස සමානව බලන්නට ඇති හැකියාව, සැමට එක ලෙස දක්වන කරුණාව හා ආදරය අප තුළ ඇති මිනිසත්කමයි. අති විශාල වික්‍රම කරන්නට නොහැකි වුවත්, කරුණාවෙන් ඕනෑම කෙනෙකුට සිනහවෙන් සංග්‍රහ කරන්නට තරම් ත්‍යාගශීලී නම් එතැන මිනිසත්කම පවතී. සමගියට අවැසි වන්නේ එකම පැහැයක් නොව, එකම මනුශ්‍ය හැඟීමකි. උපදින ළදරුවා තුල ද්වේශය, ඊර්ෂ්‍යාව වැනි නපුරු සිතුවිලි නොවන්නේ ය. ඔහු හෝ ඇය උස් මහත් වන වටපිටාවෙන් ඒවා ඔවුනගේ මනසට කාවද්දන්නේ ය. අපහට ලැබී ඇති මිනිස් සිරුර අපගේ තේරීමක් නොවන බව සැබෑය. නමුත් මනුශ්‍යත්වයෙන් යුතු මිනිසකු වනවා ද නැති ද යන්න තීරණය කිරීම අප සිදු කළ යුතු තේරීමකි.
ඉතින් අවදිවන්න!
විසි එක් වන සියවසේ වෙසෙන අපට මිථ්‍යා මත තවදුරටත් උචිත නොවන්නේ ය. විද්‍යාත්මක ඇසින් ලොව දෙස බලන ඕනෑම අයෙකුට සමේ වර්ණය තවත් එක් විද්‍යා පාඩමක් පමණි. ඒ සියලු වාද වලට වඩා වටින්නේ මනුෂ්‍යත්වයයි.
අප සියල්ලන්ම රෝගී වේ. මහලු වේ. හැකියාව ඇත්නම් මුදලින් අතමිට සරුකරගත හැක. නමුත්, යම් දිනෙක දුගී වීමට ද ඉඩකඩ නැතුවා නොවේ. අට ලෝ දහම අප සැමට බලපාන්නේ සමේ පැහැයේ වෙනස් කම් නොතකා ය. එය සැමට එක ලෙස බලපාන්නේ ය. ඉතින් තව දුරටත් ජාතිවාදයෙන් මිනිස් ලෝකය පහතට ඇද වැටීමට ඉඩ දී බලා නොසිට අප මනසේ ඇති භේද සිතුවිලි මකා දමන්නට දැන් කාලය උදා වී ඇත.
සැවොම මනුශ්‍යයෝ ය. උස් හෝ පහත් වන්නේ හදවතේ දරන්නා වූ මානව ගුණාංගවලින් පමණක්ම ය.
ඒ මන්ද යත් මනුෂ්‍යත්වයේ නිර්ණායකයන් තුල කළු සුදු භේදය නොපවතින බැවිනි.
Leave a Comment