සාමාන්‍ය

ක්‍රෂ්

වැහි අඳුරත් එක්ක මං පොතකුත් අරන් ඇඳට ගියේ කම්මැලි නිසාමයි. වෙනදා මේ වගේ වෙලාවක නම් අම්මා හදලා දෙන දුම් දාන රසම රස කෝපි කෝප්පයක් එක්ක අම්මගෙ උණුහුමට ගුලි වෙලා අම්මයි මායි දෙන්නම ජනේලෙ බැඳෙන මීදුමේ එක එක විදිහෙ විකාර රූප ඇඳ ඇඳ වැඩ ඇරිලා ඉවර වෙලා එන අප්පච්චි එනකම් කවුළුවෙන් එළිය බලන් ඉන්නෙ ඉස්කෝලෙ වෙච්ච රස කතා තොරතෝංචියක් නැතිව කියවන ගමන්. ඒ රස කතා අතරෙ අම්මටත් නොකිව්ව යාළුවො අතර විතරක්ම හුවමාරු වුන කතාත් නැත්තෙම නෑ.

ගමේ පාසලේ ගුරුවරියක් වුන අම්මාට බාර වෙලා තිබුනෙ ඉස්කෝලෙ සිත්තම් කාමරේ. ඉතිං චිත්‍ර කියන දේ අම්මා ඇන්දාම වර්ණනා කරන්න වචන නැති තරම්.

කියන්න සතුටුයි අම්මා චිත්‍ර ගුරුවරියක් වුනාට මට නම් හරියට බලිකුරුට්ටක්වත් ඇඳ ගන්න බැරි තරම්. අප්පච්චිගෙම දුව කියලා ඔප්පු කරන්න අප්පච්චිගෙන් ආව ඔන්න ඔය වගේ ලක්ෂණ නම් මං ගාව අඩු නැතිව තිබුණා.

හරියට කෙලින් ඉරක් ඇඳ ගන්න බැරි වුනාට නටන්න ගත්තම නම්, මං තරම් කෙනෙක් අපේ ගමේ තියා අහල ගම් හතකවත් නෑ. ලොකු අප්පච්චියි, සීයයි දෙන්නම ගමේ හිටපු හොඳ නැටුම් ගුරුවරු නිසාම අප්පච්චිගෙත් ඇඟේ ම තිබුණා නැටුම කියන එක.

කොහොමින් කොහොම හරි නැටුම පැත්තකින් තියලා උසස් පෙලත් ලියලා, මං ආවා සරසවියට. ගමට ආයුබෝවන් කියලා සරසවියට ඇතුලු වුනත් අම්මගෙයි අප්පච්චිගෙයි එකම හුරතලී වුන මට බෝඩිම් ජීවිතේ නම් වහ කදුරු වගේ. ඒත් ඉතිං මොනා කරන්න ද? රස්සාවත් එක්ක ඒ දෙන්නටත් බැරි වුනා මාරුවක් හදා ගන්න. අන්තිමට එකම කාමරේ බෙදා හදා ගෙන යාළුවො ගොඩක් එක්ක ගෙවෙන සරසවි ජීවිතයට අකමැත්තෙන් වගේ පුරුදු වුනත් ඒකෙත් රස මුසු තැන් නැත්තෙමත් නෑ. ඒකට ඉතින් වග කියන්න ඕනි මාත් එක්ක ඕන පිස්සුවකට අත වනන මගෙ ම යාළුවො සෙට් එක තමා.

කොහොමින් කොහොම හරි කියවන්න කියලා පොත අතට ගත්තට, අතේ පොත කියවිල්ල පැත්තකින් තියලා කියවන්න ගත්තෙ මං හිතේ පොත. කියන්න සතුටුයි පිටුවක් පිටුවක් ගානෙ තියෙන්නෙ නටපු පිස්සුම තමා.

ඒ අතරෙ තමා මට මතක් වුනේ ඒ කාලෙ මට හිටපු ක්‍රෂ් එක. අම්බෝ….මතක් වෙද්දිත් හිනා යනවා. ඒ තරම් පිස්සුවක් ජීවිතේට නටලා නෑ.

පන්තියෙ හිටපු ලොකුම ආඩම්බරකාරයා. ඉන්නෙ එංගලන්තෙ මහ රැජිණගේ පුතා වගේ. පෙනුමටම හරියන්න මොලේ. පොඩ්ඩක් හැන්ඩියට හිටියට මට පේන්නම බැරි වුනේ ඒ තිබ්බ අහංකාරකම. ඕක නිසාම එයා කෙල්ලො එක්ක නම් ඇයි හොඳැයියක් නැති තරම්. ඒකත් නරකම නෑ ඉතිං. මුලින් නම් නයාට අඳු කොළ වගේ වුනත් පස්සෙ පස්සෙ මටත් නොදැනීම මගෙ හිත නතර වුනා එයා ගාව. දැන් තමා හොඳම පිස්සුව පටන් ගත්තෙ.

වෙනදාට අම්මටත් පරක්කු කරලා පරක්කු පෝලිමෙත් ඉඳලා යන මං, අම්මටත් කලියෙන් ඉස්කෝලෙට දුවන්න හේතු හෙව්වෙ මව මව. වෙලාවට අම්මා ඉගැන්නුවෙ මගෙ ඉස්කෝලෙ නොවුන නිසාම යාන්තමින් අම්මට මාට්ටු වෙන් නැතිව නම් වැඩේ ගොඩ දා ගන්න එච්චර අමාරු වුනේ නෑ. ඒත් ඉතිං අම්මට ඉව වැටුනෙ නෑම කියන්නත් බෑ. බොරු දාහක් කියලා ඒ වෙලාවට ෂේප් වුනත් මං දන්නවා අම්මා නම් ඒවා තඹ සතේකට මායිම් කලේ නෑ කියලා. ඒත් ඉතිං දෙයියනේ කියලා රහස රහසක් විදිහටම ඉතුරු වුනා අදටත්.

ඉස්කෝලෙට ගිය වෙලේ ඉඳන් ඉතිං මගෙ වැඩේ, යාළුවො සෙට් එකත් ඇදන් ගේට්ටුව ගාව අඹ ගහ යටට දුවන එක. යාළුවොත් එක්ක කයියක් දාන ගමන් මගෙ ඇස් දුවන්නෙ ගේට්ටුව දිහාට. දැන් එයි දැන් එයි කියලා බලන් ඉඳලත් ආපු නැති දවසට ඉතින් මට සුදු කොඩි තමා. දවසම මුස්පේන්තුයි වගේ. ඒත් ඉතිං මට වඩා එයාට ඉගෙන ගන්න උනන්දුව තිබ්බ නිසාම ඒවගෙ දවස් සෙට් වෙන්නෙ කලාතුරකින් වගේ. ආපු දවසට ඉතිං මං නිකම් හොල්මන වගේ. එයාගෙ පන්තිය ගාවින් දහ දොළොස් වතාවක් සක්මන. එහෙට යනවා… මෙහෙට යනවා…

පන්තියේ පළවෙනි තැන අත්පත් කරගෙන කාටවත් නොදී රැක ගෙන හිටපු එයාට නම් පාඩම් වැඩ කියන්නෙ ලොකු දෙයක් නෙවේ. කියපු ගමන් ඔලුවට යන සුපිරි මීටරයක් කියලා කිව්වට වැරැද්දක් නම් ඇත්තෙම නෑ. කොහොමින් කොහොම හරි නට නටා හිටපු මාත් නැටිල්ල පැත්තකින් තියලා පොතට පතට උනන්දු වුනා වෙනදටත් වඩා. කලින්ම නිදා ගන්න මං ඇහැරිලා නිදි මරන්නයි, අම්මගෙ කෑ ගැහිල්ලට ඇහැරුණ මං අම්මටත් කලින් ඇහැරෙන්නයි පුරුදු වුනේ ඉබේමයි. ඉබේමයි කිව්වට ඉතිං ඒකටත් හේතුව එයාම තමා. අනේ එයා ඇහැරන් ඇතිනෙ කියලා මාත් ඉතිං පාඩම් කරනවා. දෙයියනේ කියලා එයාට පින් සිද්ද වෙන්න අද මං සරසවි ශිෂ්‍යයෙක්. නැත්තම් ඉතිං මටත් දෙවි පිහිටයි.

අන්තිමට කොහොමින් කොහොම හරි උසස් පෙල ප්‍රතිඵලත් එක්ක අපි දෙන්නම කැම්පස් පාස් වුනත්, එයා එක කැම්පස් එකක; මං එක කැම්පස් එකක.

මගෙ යාළුවන්ටත් ඉතිං කැම්පස් එකේ ක්‍රෂ් නැත්තෙමත් නෑ. එකයි දෙන්නයි ඉන්නෙ එකම එකාට දිගටම ක්‍රෂ්. අනිත් සේරටම ක්‍රෂ් එක මාරු වෙන්නෙ සතියෙන් සතිය. වරදක් කියන්නත් බෑ ඉතිං. ලව් වෙනයි ක්‍රෂ් වෙනයි නෙ.

මට නම් ඉතිං ආයි එයාව දකින්න ලැබෙන්නෙ නිවාඩුවට ගමේ ගිය වෙලාවක තමා. ඒත් ඉතිං දැක්කත් දැන් වැඩක් නෑ. එයා දැන් ගොඩ ගිහින් ඉවරයි. ලස්සනම ලස්සන චූටි ම චූටි, මෙඩිකල් කොලේජ් එකේ අක්කා කෙනෙක් එක්ක.

හිතේ පොතේ අතරමං වෙලා හිටපු මං ඒ පොත අකුළලා තිබ්බෙ මගෙ ෆෝන් එක කෑ ගහද්දී. ගෙදරින් ආපු කෝල් එකත් එක්ක හිතේ පොතත් එක්ක අතේ පොතත් අකුළලා තියලා අම්මත් එක්ක ෆෝන් එක දිගේ ගමට ගියේ තිබ්බ කම්මැලිකම බෝඩිමේ ම තියලා. වෙන දේකට නෙවේ ඉතිං. එයාලාගෙ ලස්සන ම, හුරතල්ම, චූටිම චූටි දෝණි වෙලා…අම්මගෙ තුරුලෙයි තාත්තගෙ ආදරෙයි නැල වෙන්න….

නිමි…

Photo by Eliott Reyna

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment