දැනුම

ක්‍රිකට් පිටියේ “ලකුණු මැෂිම”

ඉස්සර මගේ තාත්තා මාව පාසලට ගිහින් දැම්මේ පරණ මෝටර් සයිකල් එකකින්. ඒත් මගේ යාලුවෝ ආවේ කාර්වලින්. මම හිතා ගත්තා මාත් දවසක සාර්ථක වෙලා කාර් එකක් ගන්නවා කියලා. අද මගේ සාර්ථකත්වය කෙතරම්ද කියනවා නම් මගේ ළඟ හැම වර්ගයේම කාර් තියෙනවා.”

ඉහතින් සඳහන් කර ඇත්තේ මුහුණු පොත තුළ දී එක්වරම මාගේ නෙත ගැටුණු තවත් එක් ධනාත්මක  කියමනකි. මෙම කියමනෙහි සැබෑ හිමිකරු එසේ මෙසේ පුද්ගලයෙක් නම් නොවන බව මෙම කියමන කියවූ සැනින් ඔබට වැටහෙන්නට ඇත. ඔහුගේ තිබූ කැපවීම, අප්‍රතිහත ධෛර්යය සහ අධිෂ්ඨානශීලී බව කෙතරම් දුරකට ඔහුව රැගෙන ගියාද යත්, අද වන විට ඉන්දියාව තුළ වැඩිම මිලකට අලෙවි කළ හැකි සන්නාම අතරින් මොහු දෙවැනි වන්නේ ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ට පමණි. මේ අන් කවරෙක් වත් නොව, තම ප්‍රවේගකාරී පිති හරඹය විදහා දක්වමින් සුවහසක් ක්‍රීඩා ලෝලීන් තම වසඟයට ගත් වර්තමාන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි .

1988 ඔක්තෝබර් මස පස්වන දින ඉන්දියාවේ නවදිල්ලි හි දී උපත ලබන විරාත් කෝලි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වේ. වෘත්තියෙන් නීතිඥයෙක් වූ ප්‍රේම් කෝලිට හා ගෘහණියක් වූ සරෝජා කෝලිට දාව  මෙලොව එළිය දකින මේ හුරුබුහුටි කොලු ගැටයා වයස අවුරුදු තුනේ දී තරම් කිරි බොන වයසේ දී පිත්තක් අතට ගන්නේ  අනාගතයේ දී ලොව බිහිවන විශිෂ්ට පිතිකරුවෙකුගේ මග සළකුණු පහළ කරමිනි.

මෙසේ  මවගේත්, පියාගේත්, වැඩිමල් සොහොයුරාගේත්, වැඩිමල් සොහොයුරියගේත් ආදරය හා සෙනෙහස හමුවේ උස් මහත් වෙන මොහු සිය අධ්‍යාපන දිවිය ආරම්භ කරන්නේ Vishal Bharti Public පාසලෙනි.

ඉන්පසුව වයස අවුරුදු නමයේදී West Delhi Cricket Academy ආයතනයට මොහුව ඇතුළත් කිරීමට සිය පියා කටයුතු කළේය. ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යය දුටු අසල්වාසීන්ගේ අදහසකට අනුවය. මෙසේ ක්‍රිකට් දිවියේ මූලික අඩිතාලම තබන කෝලි තම පළමු පුහුණුකරු වූ රාජ් කුමාර් ශර්මා මහතාගෙන් ලද සහයත් සමඟින් දිනෙන් දින තම ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නංවා ගැනීමට සමත් වූයේය.

මෙලෙස තම දක්ෂතා හඳුනා ගනිමින්, ජයග්‍රහණ ලබා ගනිමින් තම  ජය මාවත කෙමෙන් කෙමෙන් එළි පෙහෙළි  කර ගත් කෝලිට සිය දිවියේ විශේෂ සන්ධිස්ථානයකට පැමිණීමට හැකිවිය. 2006 වර්ෂයේ දී පැවැත් වූ  රංචි කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට හැකියාව ලැබීමයි. මෙම තරගාවලියේ දී එක් තරගයක දී නොදැවී ලකුණු හතළිහක් රැස්කරගෙන පිතිකරණයේ යෙදී සිටිය දී ඔහුට එක්වරම අසන්නට ලැබුණේ තම දිවියේ අසන්නට ලැබුණු අමිහිරිම වදන් කිහිපයයි. රෝගාතුරව සිටි තම පියාගේ අභාවය පිළිබඳවයි. මෙය සැලවීමත් සමඟ ඔහු මහත් කම්පනයට පත් වුවත් පසු දිනයේ දී  පියාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීමට පෙර තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අදිටන් කරගත් ඔහු එදින ලකුණු 90 ක් රැස් කර ගත්තේ තම පියාට පුද කළ හැකි උපරිම අවසන් ගෞරවය පුද කරමිනි.

පියාගේ අභාවයෙන් පසු තම පවුලේ බර කරට ගත් ඔහුගේ මව, තම පවුල පෝෂණය කිරීම උදෙසා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කළාය. වන විට ඔවුන්  ජීවත් වූයේ කුලී නිවසකය. මෙසේ ආර්ථික අපහසුතා මධ්‍යයේ,  කටුක අවධි හමුවේ නොසැලී ඉදිරියට ගමන් කළ කෝලිගේ ජීවිතයේ මීළඟ හැරවුම් ලක්ෂය වන්නේ 2008 වර්ෂයේ දී  19 න් පහළ ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වීමට හැකි වීමයි.

පසුව, ඔහුට ලැබෙන මීළඟ අභියෝගය වන්නේ 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි. එම තරගාවලිය කෝලිගේ අතිදක්ෂ නායකත්වය හමුවේ සාර්ථකව අවසන් කරමින් 2008 වර්ෂයේ දී 19 න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට ගෙන ඒමට ඔහු සමත් වූයේය.

ඉන්දීය ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීම මීළඟ ඉලක්කය කර ගත් කෝලිට එම ඉලක්කය මාස 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් සපුරා ගැනීමට හැකි වූයේය

කෙසේ වෙතත් කෝලිට මෙම අවස්ථාව උදා වූයේ ඉන්දීය සුපිරි පිතිකරු යුගලයක් වන සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ශෙවාග්  ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීමට ඔහුව ආදේශකයක් ලෙස යොදා ගැනීම හේතුවෙනි

මෙලෙස ඔහු 2008 වර්ෂයේ අගෝස්තු 18 වන දින ජාත්‍යන්තර එක්දින වරම් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයේ දී . එහිදී ගෞතම ගාම්භීර් සමඟ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහුට තම මංගල එක්දින තරගයේදී ලකුණු 12 ක ට දැවී යාමට සිදු වුවත් එම තරගාවලියේ සිව්වන තරගයේ දී අර්ධ ශතකයක් රැස් කර ගන්නේ තමන්ට ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගනිමිනි.

කෙසේ නමුත් නැවතත් සචින් හා ශෙවාග් ගේ ආගමනයත් සමඟ ඔහුට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරුණත්, නැවත 2009 වර්ෂයේ දී ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී දක්ෂතා අතරට පැමිණෙන ඔහු එහි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 79 ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා බවට පත්විය

ඉන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි කර ගන්නා ඔහු එතැන් පටන් තම ජීවිතයම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීමට ඉටා ගත්තේය.  

ක්‍රිකට් දිවියේ ආරම්භක අවධියේ දී ඇතැම් විට පිටිය  තුළ දී ඔහු අසාර්ථක වුවත්, එම අසාර්ථකත්වය ආශිර්වාදයක් කර ගනිමින් සාර්ථකත්වයට පිය මැනීමට ඔහුට හැකි වූයේ ඔහු තුළ තිබූ අසීමිත කැපවීම බව නම් නොරහසකි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම දිවියම කැප කළ ඔහු ඉන් පසුව වාර්තා පොත් අතර තම නම සනිටුහන් කිරීමේ සංග්‍රාමය ඇරඹුවේය

අනුව 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති  තරගයක දී තම ප්‍රථම එක්දින ශතකය රැස් කරමින්  ඇරඹි ගමන කෙළවර වූයේ  2010 වර්ෂයේ දී වැඩිම ලකුණු ලාභී ඉන්දීය පිතිකරු බවට පත් වෙමිනි. ලකුණු 995 ක් ලබා ගනිමින්ලකුණු මැෂිම” යන අන්වර්ථ නාමය තමන් සතු කර ගනිමිනි

එමෙන්ම, 2011 වර්ෂයේ ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී කෝලි රැස්කළ ලකුණු 35,  ඉන්දියාවට ජය මාවතේ දොරටු විවර කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මහත් පීඩනයක් එල්ල කරමිනි. එලෙස සෑම තරගයක දී පාහේ ප්‍රතිවාදී පිළට මහත් හිසරදයක් වූ කෝලි දෙස් විදෙස් ඕනෑම තණතිල්ලක තම වේගවත් පිතිකරණ හැකියාව ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේය.

2012 මාර්තු මස 18 වන දින පාකිස්තානයට එරෙහිව පැවති එක්දින තරගයේ දී රැස් කළ  ලකුණු 183 වර්ණවත් වූයේ හතරේ පහර විසිදෙකක් සහ එක් හයේ පහරකින්ය. එය ඔහුගේ එක්දින දිවියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි

මේ වන විට එක්දින ඉනිම් 245 ක ට මුහුණ දී ඇති කෝලි එහි දී ශතක 43 ක් සහ අර්ධ ශතක 62 ක් ලබා ගන්නේ සිය අසමාන හැකියාව මුලු ලොවටම විදහා දක්වමිනි. මෙසේ පිත්තෙන් දස්කම් පෑ කෝලි, ඉනිම් 24 කින් එක්දින ලකුණු 1000 සීමාව පසු කරන්නේ අඩුම ඉනිම් ගණනකින් එම සීමාව පසු කළ ඉන්දීය ක්‍රීඩකයා ලෙසිනි. එමෙන්ම ඔහු එක්දින ලකුණු 10,000 සීමාව පසු  කළ වේගවත්ම ක්‍රීඩකයා  බවට පත් වන්නේ ඉනිම් 205 කින් එම කඩඉම පසු කරමිනි.

එලෙසම ඉනිම් 242 ක දී ලකුණු 12,000 සීමාව පසු කරමින් එම කඩඉම පසු කළ ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට ද පත්විය. එසේම ඔහු එක්දින තරගාවලි සම්මාන නමයක් දිනාගෙන ඇති අතර එය දෙවැනි වන්නේ හිටපු  සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුගලයක් වන සචින් තෙන්ඩුල්කාර්ට සහ සනත් ජයසූරියට පමණි. 

මෙසේ එක්දින වාර්තා පොත් අලුත් කළ මොහු මේ වන විට එක්දින පිතිකරණ සාමාන්‍යය 59.07 ක් වැනි අසාමාන්‍ය අගයක පවත්වා ගනිමින් සිය අසමාන දක්ෂතාවය සුවහසක් ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ දිගහැර හමාරය.

2011 වර්ෂයේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයක දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කරගත් කෝලි ටෙස්ට් ලකුණු හඹා යාම ආරම්භ කළේය

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගෙන් පසුව 2014 වර්ෂයේ දී ඉන්දීය ටෙස්ට් කණ්ඩායම් නායකත්වයට පත්වන කෝලි තම කණ්ඩායම ජය මාවත කරා මෙහෙය වීමට සමත් වූයේය

ටෙස්ට් නායක ලෙස ක්‍රීඩා කළ පළමු ඉනිම් තුනේ දී ම ශතක තුනක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත් වන්නේ විරාත් කෝලි වේ. එමෙන්ම එක් වසරක දී ටෙස්ට් තරගවල වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා ගත් නායකයා, විදේශ රටක දී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ටෙස්ට් නායකයා යන වාර්තා තමන් සතු කර ගන්නේ නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමිනි

නායකයා ලෙස කටයුතු කිරීමේ දී තමන් වෙත එල්ල වන දැඩි පීඩනය හමුවේ වුව ද  සිය පෞද්ගලික ලකුණු හඹා යාම අමතක නොකළ කෝලි 2018 වර්ෂයේ දී ලෝක ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පත්වීමට සමත් වියඑමෙන්ම, ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කළ   වේගවත්ම පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අංක 5 පත් වන්නේ ඉනිම් 138 දී එම ලකුණු සීමාව පසු කරමිනි.

2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස දකුණු අප්‍රිකාවට  එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු 254 සිය ටෙස්ට් දිවියේ දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මේ වන විට ටෙස්ට් ඉනිම් 162 ක ට මුහුණ දී ඇති කෝලි, එහිදී ශතක 27 ක් සහ අර්ධ ශතක 27 ක් රැස් කර ගනිමින් ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 51.08 ක් වැනි ඉහළ අගයක රඳවා තබා ගැනීමට සමත් වී ඇත.

2010 ජූනි 12 වන දා සිම්බාබ්වේ පිළට එරෙහිව තම මංගල T20 තරගයට මුහුණ දෙන කෝලි එහි දී නොදැවී ලකුණු 26 ක් රැස් කරමින් තම කණ්ඩායම ජය මාවත කරා රැගෙන යාමට කටයුතු කළේය. මෙලෙස ජයග්‍රාහී ලෙස ඇරඹූ ඔහුගේ T20 ක්‍රිකට් දිවියේ හමු වූ විශේෂ දිනයක් ලෙස 2019 දෙසැම්බර් මස 6 වන දින හැඳින්වීමට පුලුවන. එදින බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති  තරගයේ දී අවාසනාවකට සිය මංගල එක්දින ශතකය ලබා ගැනීමට නොහැකි වුවත්, නොදැවී ලකුණු 94ක් රැස් කරමින් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහුට හැකි විය. මෙය ඔහුගේ T20 වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම ජාත්‍යන්තර T20 තරගවල දී  ලකුණු 2000 සීමාව පසුකළ  දෙවන වේගවත්ම ක්‍රීඩකයා මොහු වන අතර T20 තරගවල දී  හතරේ පහර වැඩිම සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඔහු දෙවන ස්ථානයට පත් වන්නේ හතරේ පහර 290 ක් ලබා ගනිමිනි. මීට අමතරව වැඩිම T20 ලකුණු ලාභියා, T20 තරගයන්හි දී වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා යන වාර්තා තමන් සතු කර ගැනීමට කෝලි සමත් විය. මේ වන විට කෝලි T20 ඉනිම් 86 ක දී අර්ධ ශතක විසිනවයක් රැස් කරගනිමින් 52.01 අනර්ඝ පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහුගෙන් සිදු වූ සේවය පිළිබඳව සලකා බැලීමේ දී අමතක කළ නොහැකිම තරගාවලියක් වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් නැතහොත් IPL තරගාවලියයි.

2008 වර්ෂයේ දී රෝයල් වැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතයට ඇතුළත් වීමට වරම් ලද කෝලි 2013 වර්ෂයේ දී එම කණ්ඩායමෙහි නායකත්වය ලබා ගැනීමට සමත් වූයේය. ඔහුගේ නායකත්වය යටතේ මේ වන විට  තරග 140 ක ට මුහුණ දී ඇති අතර ඉන් තරග 66 ක් ජයග්‍රහණය කර ඇත. ඔහුගේ නායකත්වය යටතේ 2016 වර්ෂයේ දී  IPL තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණෙන රෝයල් වැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එහි දී  අනුශූරතාවය   දිනා ගැනීමට සමත් විය. එමෙන්ම එම වසරේ දී  වැඩිම ලකුණු ලාභියා වන්නේ ද කෝලි වේ. මේ වන විට lPL හි වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා වන්නේ මොහුය.

මෙවර IPL තරගාවලියෙන් පසු කෝලි, රෝයල් වැලෙන්ජර්ස් බැංගලෝර්  කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුවද, පිතිකරුවෙකු ලෙස සිය කණ්ඩායම වෙනුවෙන් තමාට හැකි උපරිමය ඉදිරි වසර කිහිපය තුළදී ඔහු විසින්  ඉටු කරනු ඇත.

මෙලෙස සෑම ක්‍රීඩා රටාවකම සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව  ලකුණු 50 ඉහළින් තබා ගෙන සිටින ලොව එකම පිතිකරුවා වන්නේ විරාත් කෝලි වේ. මෙසේ වාර්තා පිට වාර්තා තබමින් දිනෙන් දින වාර්තා පොත් අලුත් කරන කෝලි පිළිබඳව ක්‍රීඩා විචාරකයන්ගේ අනාවැකිය නම්;  නුදුරු අනාගතයේ දී ම කිසිවෙකුටත් ළඟා විය නොහැකි අසාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් මොහු විසින් රැස් කර ගනු ඇති බවටයි.

ඕනෑම තණතිල්ලක, ඕනෑම ක්‍රීඩා රටාවකට අනුගත වෙමින් ඕනෑම පන්දු යවන්නෙක්  හමුවේ පීඩනයකින් තොරව තම ලකුණු හඹා යාම සිදු කරන කෝලි  ක්‍රීඩා විචාරකයන්ගේ මතය තව නොබෝ දිනකින්ම සනාථ කරනු ඇත.

පිටිය තුළ දී යම් යම් ආවේගශීලි ගති ඉස්මතු වුවත් සිය පෞද්ගලික  ජීවිතයේ දී නම් ඔහු හාත්පසින්ම වෙනස් චරිතයකි.

2017 වර්ෂයේ දී සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා සමඟ යුගදිවියට එළඹෙන කෝලි මේ වන විට එක් දරු පියෙකි. කෙතරම් කාර්ය බහුල දිවියක් ගත කළත් අනුෂ්කා සහ දියණිය සමඟ ආදරයෙන් හා සෙනෙහසින් ගත කිරීමට ඔහු අමතක කරන්නේ නම් නැත. වරක් කෝලි පවසා ඇත්තේ මෙතරම් සාර්ථකත්වයට ප්‍රධානම හේතුව අනුෂ්කා ගේ ආදරය බවයි.

තමාට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට හැකි සෑම විටම එක් වදනකින් හෝ සංග්‍රහ කිරීමට අමතක නොකරන මොහු නිහතමානී හා නිරහංකාර තැනැත්තෙක් බව ඔබ අප සෑම දෙනාම පාහේ දන්නා කරුණකි

ඔහු තුළ ඇති නිහතමානී බව, සුහදශීලිත්වය සහ මිත්‍රත්වය පිටිය තුළ දී පිළිබිඹු වුණ අවස්ථා ඔබ දැක ඇත.

සමාජ සේවා කටයුතුවල දී තම නොමසුරු ධනය පරිත්‍යාග කිරීමට පසුබට නොවන මොහු මෑතක දී කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා  කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කිරීමට පෙළඹුණේ මුලු රටම එම වසංගතයෙන්  බැට කෑ අවධියක දී .

එමෙන්ම ඔහු වරෙක සඳහන් කළේ රෝයල් චැලෙන්ජර්ස්  බැංගලෝර් කණ්ඩායමෙහි දී ඇඳි  නිල් පැහැති ජර්සි වෙන්දේසි කර ලැබෙන මුදල කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා යොදවන බවයි. එමෙන්ම මේ වන විටත් විරාත් කෝලි පදනම මගින් අගහිඟකම් ඇති  දරුවන් සඳහා ආහාර හා පුණ්‍යාධාර ලබා දීම ඔහු සිදුකරන සමාජ සේවා අතර අමතක කර නොහැකිම කරුණකි.

අද වන විටත් ඇතමෙකුගේ වාග් ප්‍රහාරවලට බඳුන් වන මොහු කිසිවක් කනකට නොගෙන සියල්ලන්ටම පිත්තෙන් පිළිතුරු දෙමින් තම සාර්ථකත්වය වෙත වේගයෙන් ඇදී යන්නේ තමාට ආදරේ කරන සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය. කැපවීම, අධිෂ්ඨානශීලී බව සහ උත්සාහය ඇත්නම් ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ සොඳුරු ක්‍රීඩකයාගේ 33 වන ජන්ම දිනය අදට යෙදී ඇත.

ඉතින්, නුදුරු අනාගතයේ දී ම පිතිකරණ ලැයිස්තුවේ අංක එකට තම නම ඔසවා තබන බවට පෙරමන් සලකුණු පෙන්වන ප්‍රවේගකාරී ක්‍රීඩකයා  “King Kholi”  ඔබට Colombo Beacon අපගේ උපන්දින සුභ පැතුම්!

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමාෂා කුමානායක

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment