ක්‍රීඩා දැනුම

ක්‍රිකට් ලොවේ නොමැකෙන පුරාවෘත්තය

1996 වසරේ මාර්තු මස 17 වැනිදා මුළු ලොවක් පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය වෙත නෙත් යොමා බලා සිටියේ එවක ක්‍රිකට්  ලොව පතාකයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එවකට ක්‍රිකට් ලොව පෙරළිකාරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විල්ස් ලෝක කුසලාන අවසාන මහා තරගය වෙතටයි. එම තරගයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකිකයන්ට තම කුළුඳුල් ලෝක කුසලානයේ පහස විඳ ගැනීමට මහඟු දායකත්වයක් දැක්වීමට එක් සුවිශේෂී ක්‍රීඩකයෙක් සමත් විය. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංගගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩාම කඩුලු 7 ක් දැවී ලකුණු 241 ක් ලබා ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මෙම සුවිශේෂී ක්‍රීඩකයා ලකුණු 42 ක ට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය. ඉන්පසු පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 23 ක දී දැවී යාමත් සමඟ ලාංකිකයන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුවද කෙමෙන් කෙමෙන් බොඳ වෙමින් පැවතුණි. 

නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි මෙම විශිෂ්ටයා එතැන් පටන් ඕස්ට්‍රේලියානුවන්ට රිසි සේ බැට දෙමින් අගනා ශතකයක් සමඟ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය. ඒ වෙනත් කිසිවෙකු නොව ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට පිතිකරුවෙක් වන අරවින්ද ද සිල්වාය. 

1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී පින්නදූවගේ අරවින්ද ද සිල්වා උපත ලැබීය. තම පාසල් අධ්‍යාපනය කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් හා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබාගන්නා අරවින්ද 1984 වසරේ මාර්තු මස තිස් වෙනිදා නවසීලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේය. අනතුරුව එක්දින පිටියේ දැක්වූ දක්ෂතා නිසා එම වසරේම අගෝස්තු මස එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් වරම් හිමිකරගැනීමට අරවින්ද සමත් විය. 

මුල් කාලයේදී අරවින්ද සිල්වා ක්‍රිකට් පිටියේදී අනවශ්‍ය පහරවල් එල්ල කිරීමට යාමෙන් බොහෝ අවස්ථාවල දැවීයාම් වලට ලක් විය.

එම හේතුව නිසාම ඔහුව ඒ කාලයේදී MAD MAX යනුවෙන් ක්‍රීඩා ලෝලීන් හැඳින්වීය. නමුත් පසුකාලයේදී ලැබූ අත්දැකීම් සමඟ ඉවසිලිවන්තව ක්‍රීඩා කරමින් විශාල තරග ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වීමට අරවින්ද සමත් විය. 1996 ලෝක කුසලාන අවසන් තරගයේ ඉනිම හැරුණු විට අරවින්දගේ ක්‍රිකට් දිවිය පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන ඉනිම් රැසක් හමු වේ. ඒ අතරින් 96 ලෝක කුසලාන තරගාවලියේම අවසන් පූර්ව වටයේ ඉන්දියාවට එරෙහිව රැස් කළ ලකුණු 66 විශේෂිත ස්ථානයක් ගනියි. 

එමෙන්ම 1989 වසරේ ඉන්දියාවේදී පැවති නේරු කුසලාන තරගාවලියේදී ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට අරාට හැකි විය. 

එහිදී එංගලන්තය, ඕස්ට්‍රේලියාවට හා පාකිස්තානයට එරෙහිව අගනා අර්ධ ශතක රැස් කර ගනිමින් තරගාවලියේ තෙවනියට වැඩිම ලකුණු ලාභියා වීමට ඔහුට හැකි විය. තවද 1990 ඉන්දු ලංකා එක්දින තරගාවලිය, 1992 ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය, 1994 සිම්බාබ්වේ තරගාවලිය අරාගේ ක්‍රීඩා දිවියේ තවත් අමතක නොවන තරගාවලිය ගොන්නෙන් කිහිපයක් වේ.

80 දශකයේ හා 90 දශකය මුල් භාගයේදී ඇතැම් අවස්ථාවන් වල අනෙක් කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් පිටිය තුළ  අවතක්සේරුවට ලක් කළේය. 1989 වසරේ ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියා සංචාරයේදී ද එවැනි සිදුවීමක් වාර්තා විය. 

එහි මුල්ම ටෙස්ට් තරගයේ ලංකාව අවතක්සේරුවට ලක්කළ කැංගරුවන් තරගය දින තුනකින් හෝ හතරකින් නිම කිරීමට සැලසුම් කර තිබිණි. එහි උච්චතම අවස්ථාවක් ලෙස ඔවුන් තරගයේ ප්‍රවේශපත් පවා මුද්‍රණය කර තිබුණේ දින හතරකට පමණි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ විශාල දායකත්වයක් දැක්වූ අරවින්ද සිල්වා ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වූයේ ලංකා ලකුණු පුවරුව 418 ක් දක්වා ඉහළ නංවමිනි. 

ඉන් නොනැවතුනු අරවින්ද එම තරගාවලියේ දෙවන තරගයේ ඉනිම් දෙකේම අර්ධ ශතක රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය.

1992 ලෝක කුසලානය සඳහා අරවින්ද සහභාගි වූයේ කණ්ඩායමේ නායකයා වශයෙනි. එම තරගාවලිය අරාට එතරම්ම සාර්ථක නොවුනත් එම තරගාවලියේද ලකුණු 175 ක් රැස් කර ගැනීමට අරාට හැකි විය. 

තවද අරාගේ ක්‍රීඩා දිවියේ තවත් අමතක නොවන තරගාවලියක් ලෙස 1996 ‘සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලිය’ හැඳින්විය  හැකිය. 

එහිදී ලංකාව අපරාජිතව කුසලානය දිනාගැනීමට සමත් වූ අතර තරගාවලිය පුරාම අරවින්දව දවා ගැනීමට කිසිදු කණ්ඩායමකට නොහැකි විය. 

එම තරගාවලියේ ලකුණු 334 ක් ලබා ගැනීමට අරවින්ද සමත් වූයේ තරගාවලියේ වීරයා සම්මානයද තමා සතු කර ගනිමිනි. මෙම දක්ෂතා නිසාම ඔහු එම වසරේම විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනා අතරට නම් කරනු ලැබීය. මෙසේ ඔහුගේ ක්‍රිකට් දිවිය පුරා අරා පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් විය.

අරවින්දගේ දක්ෂතාවයන් අන්තර්ජාතික පිටියේ පමණක් නොව, එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලිය තුළ ද දැක ගැනීමට හැකි විය. 1995 වසරේ තරග වාරයේ කෙන්ට් පිළ නියෝජනය කළ විදේශීය ක්‍රීඩකයා ලෙස අරවින්ද එම තරගාවලියට සහභාගි විය. එම තරගාවලියේදී අරවින්ද තරග 15 ක දී ලකුණු 1661 ක් රැස් කළේ ශතක 7 ක් ද සමඟිනි. එම වසරේම ‘Benson and Hedges’ තරගාවලියේ අවසාන මහා තරගයේ ලකුණු 275 ක ඉලක්කයක් හඹාගිය කෙන්ට් පිළ වෙනුවෙන් Lancashire කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී හුදෙකලා සටනක් දියත් කරමින් පන්දු 95 කින් ලකුණු 112 ක් රැස් කිරීමට සමත් විය. අවාසනාවන්ත ලෙස තරගය පරාජයට පත් වුවද තරගයේ වීරයා සම්මානය තමා සතු කර ගැනීමට අරවින්ද සමත් වූයේ ලෝඩ්ස් පිටියේ පැවති ප්‍රාන්ත තරගයට පරාජිත කණ්ඩායමේ තරගයේ වීරයා සම්මානය දිනූ පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. 

අරවින්ද ද සිල්වා ක්‍රීඩා කළ අවසන් තරගාවලිය වන්නේ 2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගය සඳහා රැගෙන යාමට නිහඬ සේවයක් කළ පිතිකරුවෙක් ලෙස අරවින්ද හැඳින්විය හැකිය. එම තරගාවලියේ ලකුණු 267 ක් රැස් කර ගැනීමට ඔහු සමත් වූ අතර අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව තරගයේදී දුවන විට දැවීයාමකට හසු නොවන්න, එම තරගයේ ප්‍රතිඵලය ද වෙනස් වීමට ඉඩ තිබිණි. 

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් කළ මෙම ජීවමාන පුරාවෘත්තය තම වසර 19 ක ක්‍රීඩා දිවිය අවසන් කරන විට, 

  • ටෙස්ට් ශතක 20 ක් හා අර්ධ ශතක 22 ක් සමඟින් ඉනිම් 159ක දී ලකුණු 6361 ක් 
  • එක්දින ශතක 11 ක් හා අර්ධ ශතක 64 ක් සමඟින් ඉනිම් 296ක දී ලකුණු 9284 ක් 
  • ටෙස්ට් කඩුලු 29 ක් එක්දින කඩුලු 106 ක් 
  • පළමු පෙළ ලකුණු 15000 ක් 

තමා සතු කර ගැනීමට සමත් විය. එසේම ඔහුගේ නමින් ලකුණු 90 අවස්ථාවක් වැඩිම ප්‍රමාණයක් ලබා ගත් ලැයිස්තුවේ දෙවන ස්ථානය මුල්ම ලකුණු 0 ට දැවී යාමට වැඩිම ඉනිම් ගණනක් රැස් කර ක්‍රීඩකයන්ගේ දෙවන ස්ථානය, එක් වසරකදී වැඩිම ටෙස්ට් ශතක රැස් කළ ක්‍රීඩකයන්ගේ දෙවන ස්ථානය ලෝක කුසලානයක අවසන් පූර්ව වටයේ හා අවසන් මහා තරගයේ වීරයා වූ ලොව දෙවන ක්‍රීඩකයා වැනි වාර්තා රැසක් සටහන් වී ඇත. 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව අවස්ථාවන් කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකත්වය හා සභාපතිත්වය දැරූ මෙතුමා වර්තමානයේ ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපතිත්වය දරයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවේ නාමය බබළන්නට අනගි මෙහෙයක් කළ පුරාවෘත්තයක් බඳු අරවින්ද ද සිල්වාට නිරෝගිමත්  උපන්දිනයකට සුබ පතමින් ඔහුගේ ඉදිරි ගමන සාර්ථක වේවායි! පතමු. 

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යොහාන් බුද්ධික

පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment