ක්‍රීඩා

ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්‍ලාස්ටර්

අනූව, දෙදාහා දශක වල ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් බොහෝමයකගේ ප්‍රියතම පිතිකරුවා කවුරුන්දැයි විමසුවහොත් ඒ “සනත් ජයසූරිය” වීමට ඇති ඉඩකඩ බොහෝයි.  ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගයේ තුන් ඉරියව්වෙන් විස්කම් පෑ ඒ ප්‍රවීණ ක්‍රීඩකයා ගැනයි මේ සටහන තබන්නේ. 

1969 වර්ෂයේ ජූනි මස 30 වන දින මාතර දිස්ත්‍රික්කයේ උපත ලැබූ “සනත් ටෙරාන් ජයසූරිය”, දන්ස්ටන් ජයසූරිය මහතාගේ සහ බ්‍රීඩා ජයසූරිය මෙනවියගේ දෙවන පුත්‍රයායි. ඒ මහතාට චන්දන ජයසූරිය නමින් වැඩිමහල් සොහොයුරෙකු සිටියි. මාතර සාන්ත සර්වේෂස් විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරන ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ තම පාසල නියෝජනය කරමිනි. ඒ අනුව 1988 වසරේදි, ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය’ දිනාගැනීමට ඒ මහතා සමත් විය. තවද එම වසරේදීම ප්‍රථම අවුරුදු 19 න් පහළ ⁣ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට ඒ මහතාට අවස්ථාව හිමිවිය. එම තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගත් ඔහු වැඩිකල් යාමට ප්‍රථම 1989/1990 තරඟ වසර සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩා⁣යම නියෝජනය කිරීමට කැඳවීම් ලැබුවේය.

සනත් ජයසූරිය නම් වූ ඒ අසමසම පිතිකරුවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අත්පොත් තබන්නේ 1989 වසරේ දෙසැම්බර් මස ඕස්ට්‍රේලියාවට එරෙහිව එරට ඓතිහාසික මෙල්බර්න් පිටියේදී ය. 1991 වසරේ දී නවසීලන්තයට එරෙහිව එරට හැමිල්ටන් පිටියේ දී තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයත් 2006 වසරේ දී එංගලන්තයට එරෙහිව එරට රෝ්ස් බෝල් පිටියේ දී මංගල විස්සයි-විස්ස ක්‍රිකට් තරඟයත් ක්‍රීඩා කළේය.

1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අප කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය මහතා තරඟාවලිය පුරාම පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූයේය. ඒ අනුව 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ වීරයා වූයේ ඔහුයි. අර්ජුන රණතුංග මහතාගෙන් පසුව 1999 සිට 2003 ලෝක කුසලානය අවසන් වන තුරුම ජාතික කණ්ඩායම මෙහෙය වූ ඒ මහතා ටෙස්ට් තරඟ 38 ක් සහ එක්දින තරඟ 117 ක දී  නායකත්වය දැරුවේය. ඉන් නොනැවතී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ දස්කම් මෙසේ පෙළගැස්විය හැකිය. 

ටෙස්ට් තරඟ 110 ක දී ශතක 14 සහ අර්ධ ශතක 31 සමඟින් ලකුණු 6973 ක්, එක්දින පිටියේ දී තරඟ 445 කදි ශතක 28 සහ අර්ධ ශතක 68 ක් සමඟින් ලකුණු 13,430 සහ විස්සයි-විස්ස තරඟ 31 ක දී අර්ධ ශතක 4 ක් සමඟින් ලකුණු 629 ක් ලබාගෙන ඇති අතරම පන්දුවෙන් ⁣⁣ටෙස්ට් කඩුලු 98 ක්, එක්දින කඩුලු 323 ක් සහ විස්සයි විස්ස කඩුලු 19 ක් තම මව් රට වෙනුවෙන් ලබා ගැනීමට ඒ මහතා සමත් විය. ⁣ඒ අනුව සනත් ජයසූරිය ලොව තුන්-ඉරියව් ක්‍රීඩකයන් අතරින් ඉහළින්ම සිටින ක්‍රීඩකයකු බව නොරහසකි. ඔහු දැක්වූ විශේෂ දස්කම් කිහිපයක් මෙසේය,

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟයක දී ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ඉන්දියාවට එරෙහිව 2000 වසරේ දී ලබාගත් ලකුණු 189, බොහෝ කළක් ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය වූ පන්දු 17 කින් වාර්තා වූ 1996 දී පාකිස්ථානයට එරෙහිව ලබාගත් අර්ධ ශතකය, ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලංකා⁣ව වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස් කළ දෙවනි හොඳම ලකුණු සංඛ්‍යාව වන ඉන්දියාවට එරෙහිව 1997 වසරේ දී රැස් කළ ලකුණු 340, එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 10,000 වඩා ලබාගත්, කඩුලු 300 කට වඩා බිඳ හෙළූ, උඩ පන්දු 100 කට වඩා ලබා ගත් ලොව එකම ක්‍රීඩකයා සහ එක්දින තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් ලොව සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන්නේ “සනත් ජයසූරිය” නම් විශිෂ්ට ක්‍රීඩකයායි. ඒ වාගේම 2008 වසරේ IPL තරඟාවලියේ දී ඔහු නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් පිළ වෙනුවෙන් මේ වෙනතුරුත් ක්‍රීඩක⁣යෙකු ලබාගත් වේගවත්ම ශතකය සමඟින් පන්දු 48 කදි ලකුණු 114 ක්, චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගැනීමට ඔහු සමත් විය. 

මීට අමතරව ඔහුගේ කැපී පෙනෙන ඉනිම් කීපයක් මෙසේය,

  • එංගලන්තයට එරෙහිව 1996 ලෝක කුසලානයේ අර්ධ අවසන්පූර්ව තරඟයේ දී ලබා ගත් ලකුණු 82.
  • ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟයක දී, එරටදීම 2003 වසරේදි ලබාගත් ලකුණු 122
  • 2004 වසරේදි පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරඟයක දී ලබාගත් ලකුණු 253.
  • එංගලන්තයට එරෙහිව එක්දින තරඟයකදි, එර⁣ටදීම 2006  වසරේ දී ලබාගත් ලකුණු 152.
  • 2007 විස්සයි-විස්ස ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහිව ලබාගත් ලකුණු 88.
  • 2008 වසරේ ආසියානු කුසලාන අවසාන මහ තරඟයේ දී ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 125.

1989 වසරේ දී ඇරඹි ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය 2011 වසරේ ජුනි මස 25 දින එංගලන්තයට එරෙහි එක්දින තරඟයේදි නිමකෙරූ ඒ මහතා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීකට් තේරුම් කමිටුවේ සභාපතිවරයා ලෙස 2013 වසරේ දී පත්වීම් ලැබුවේය. 2014 විස්සයි- විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගත්තේ ඒ මහතා ක්‍රීකට් සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේදීය. ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව බැබළවූ ඒ අසහාය ක්‍රීඩකයාගේ උපන්දිනය අදයි, ඔබට සුභ උපන් දිනයක් වේවා! Colombo Beacon අපි සුභ පැතුම් එක්කරන්නෙමු. 

Design by – Shanaka Vishwantha

Reference : 

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යොහාන් රොමේෂ් සොයිසා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment