“සුසුඛං වත ජීවාම – වෙරිනෙසු මනුස්සේසු
වෙරිනෙසු අවෙරිනො – විහාරාම අවෙරිනො”
“වෛර කරනා මිනිසුන් අතරේ වෛර නොකර සුවසේ වෙසෙමු”
ජිවිතයේ දී දුටු සදාතනික සත්‍ය රැදී ගාථා අතුරින් මේ ගාථාව, මට දෑස් පාදන්නට මඟක් විය. එබැවින් ම ගාථාව හා එහි අරුත පමණක්ම නැණැති ඔබට යතාර්ථය වටහාගන්නට ප්‍රමාණවත් වුවද, පහත පසුවදන ලියන්නට මට සිත්විය.
තමා මෙසේ කළේ යැයි මතක තබාගෙන සිටීම ම ගැටළු මූලයකි. මන්දයත් තමා එසේ කළ බව තමාට මතක වුවද අන්‍යන්ට එය අමතක වීම ලෝක ස්වභාවයයි. අමතක වීම ලෝක ස්වභාවයක් වීම පුදුමයට කරුණක් නොවේ. එය ලොවෙහි පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය සාධකයකි, මන්දයත් කිසියම් වරදක් කළා වූ පුද්ගලයෙකුට නැවතත් නිවැරැදි පුද්ගලයෙකු වන්නට සමාජීය අවකාශය සලසන්නේ ඒ අමතක වීමේ මනුශ්‍ය ස්වභාවයයි. ඔබට අමතක නොවන්නේම නම් ලෝක ස්වභාවය තේරුම් ගන්න; අමතක වීමට ඉඩ දෙන්න. ඔබ වටහාගත් දේවල් අමතර මහන්සියක් දරා මතක තබාගැනීමට අවශ්‍ය නොවේ. එ බැවින් වටහාගන්නට උත්සහ කරන්න. එවිට ඔබේ ගුණ මතක තබාගන්නට හෝ ඔබේ ගුණ අන් අයට මතක් කරදීමට ඔබට මහන්සි වීමට සිදුනොවනු ඇත.
නිරන්තරයෙන් ම තමා හෝ තමාගේ ක්‍රියාකළාපයන් නිවැරැදි යැයි සිතා කටයුතු කිරීමට උත්සහ නොගන්න. මන්දයත් එය ගැටළු මූලයකි. සෑම තත්පරයම නිවැරැදි ව කටයුතු කරන හෝ කළ යමෙක් වේ නම් ඒ සර්වඥයන්ය…ඉදින් ඔබ සර්වඥ දැයි සිතාබැලීමට කාළයයි මේ. යමෙකුට ඇහුන්කන් දීමට ඇති නොහැකියාව, යමක් පිළිගැනීමට ඇති නොහැකියාව, නොරුස්නාව තුලින් ඉපදේ නම් ඔබ සර්වඥ නොවේ… ඔබ ක්‍රෝධයෙන්, මානයෙන්, පුහුබවෙන් ඉදිමුණු පෘථග්ජනයෙකි. ඒ බැව් වටහාගන්නට හෝ පිළිගැනීමට නොහැකි නම් ඔබ අපායේ දූතයෙකි; නිත්‍ය සාමාජිකයෙකි. නිරයේ හිඳ ක්‍රෝධයේ බොහෝකල් පැහි පැහී ඉඳ මනුලොවට පැමිණිය ද, බොහෝකල් නිරයෙහි ලද පුහුණුව නිසාවෙන්ම ම සිතා හෝ නොසිතා කෝප ගැනීමේ නිරායාස හැකියාව ඔබ දායාද කරගෙන මෙලොව ඉපිද ඇත. ඉදින් තවදුරටත් අපායගාමී විභවයට ඉඩ දී ඔබටත් ඔබ ඇසුරු කරන පිරිසටත් අපායගාමී වීමට මංපෙත් සාදමින් අනාගත දේවදත්තයෙකු වීමට විවරණ ලබාගැනීම පසෙකලා අපායගාමී විභවය මඳින් මඳ දුරුකොට සුගතියෙහි දිවිගෙවීමට, සුගතියට විභවය පාදාගැනීමට හුස්ම වැටෙන ඉතිරි කාළය භාවිතා කරන්නැයි ඔබ මෙන්ම පෘථග්ජන එහෙත් අපායගාමී විභවය දුරු කරගන්නට සිතැති මා, ඔබෙනුත් මගෙනුත් ඉල්ලාසිටිමි.
Leave a Comment