සඳ රේණු ඇහිදගෙන
කැඳැල්ලට එන තුරා
නිදිබරව නෙත් ඇතිද
දුර ඈත බල බලා
නිලබරයි කලුවරයි
එකිනෙකට එක් වෙලා
හමන මඳ නල මුසුව
එහි පහස විඳ විඳා
සිත් පාලු මකන්නට
එබෙන තරු කැට වලා
රත්තරන් පාටින්ම
බොඳ වෙලා බය වෙලා
ඔබව කැන්දන් යන්න
අලුත් නිවසක් සොයා
උදෑසන සිටම මම
මුලු වනයෙ පියැඹුවා
කදිම නිවසක් අපට
දැන් උරුම යැයි කියා
කියමි මම හරි තුටින්
ඔබව කර පිට තියා
සොයා ගත් ඒ නිවස
සරසන්න මල් සොයා
අරලියා ගස උඩට
ආවෙ මං ඉගිලිලා
මල් නොපිපි අරලියා
අතු අතර සිරවෙලා
මගෙ පියාපත් යුගල
තවම ලේ හල හලා
කඩා ගත් අරලියා
හැම දෙසට විසුවුණා
ඒත් අප මතු සිහින
තවත් සවිමත් වුනා
තටු දෙකත් බේරගෙන
හෙටම නිවසට එන්න
කරමි මම මේ සටන
මුලු ගතම වෙහෙසලා
කිසිවකුට නැහැ නපුර
කලේ අප එක් වෙලා
ඉදින් බියවී කුමට
දැන් කඳුලු හල හලා
ඔබ තවම හඬනවද
මට අනතුරක් කියා
හෙට උදෙන් එමි මැණික
නිඳනු සන්සුන් වෙලා
Leave a Comment