“මට මතකයි මන බැන්දූ සිනා ඔබේ
හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී…//”
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මෙම පද පෙළෙහි අඩංගු කුඹුකේ ළිඳ යනු වෙනස්ම වර්ගයේ ළිඳක් නොවේ.
නාන ළිඳක් අසල කුඹුක් ගසක් පැවතීම එම නාමය ලැබීමට හේතුවක් විය.
Colombo Beacon ‘සුව ධරණි’ සුව චාරිකාව ඔස්සේ අද අපි ගෙන එනු ලබන්නේ කුඹුක් ශාකයේ ඖෂධීය ගුණයයි.
කුඹුක්
උද්භිද නාමය :- Terminalia arjuna
ඉංග්‍රීසි නාමය :- Arjun Tree
වෙනත් නම් :- අර්ජුන, ධනංජය, කරටි, නිදි සර්ව
කුඹුක් ගසත් සිංහලයේ ගැමි සමාජයත් අතර අවියෝජනීය බැඳීමක් එදා පටන් අද දක්වාම පැවතුනි. ග්‍රාමීය පරිසරයන්හි අදටත් කුඹුකේ ළිඳවල් දක්නට ලැබේ.
ළිඳක් අසල ඇති කුඹුක් ගසකින් ගැමියෝ අරමුණු දෙකක් ඉටුකර ගත්හ. තුරු වියනෙන් ජලයේ සිසිල් බව ද, මූල පද්ධතියෙන් ජලය පවිත්‍ර කරගැනීම ද ඒවා වේ.
පිරිසිදු ජලය යනු මෙලොව ඇති වටිනාම ඖෂධයකි. පිරිසිදු ජලය භාවිතයෙන් අපේ ශරීරයට ලැබෙන ගුණ බොහොමයකි. ජලය පිරිසිදු කිරීම කුඹුක් ගස සතු විශිෂ්ට හැකියාවකි. ළිං ජලයෙහි කිවුල් රසය අයින් කිරීමට කුඹුක් ගසකින් ලැබෙනුයේ මහඟු මෙහෙයකි.
කුඹුක් ශාකය විශාල කඳක් සහිත අඩි පනහ ඉක්මවා අතු පතර විදහා වැඩෙන දැවැන්ත ශාකයකි. හරස් අතට අතු විහිදී යයි. පොත්ත අතිශය ඝනවන අතර සිනිදු වේ. අලු පැහැතිය. විශාල පතුරු ලෙස පොතු ගැල වී යයි.
පත්‍ර සෙ.මී 10-15 පමණ දිගය. කෙටි නටුවක් හිමි පත්‍ර අග්‍රය වටකුරුය. ළා කොළ පැහැයට හුරු සුදු පැහැයෙන් යුත් පුෂ්ප අතිශය පැණි සුගන්ධයකින් යුක්තය. පුෂ්ප හටගැනීම අප්‍රේල් – මැයි අතර සිදුවේ.
ඵලයේ ඇතුලත මාංශල බවකින් යුක්තවේ. ඉන්දියාවේ සහ ලංකාවේ බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පහතරට කලාපයේ ජලාශ්‍රිත ප්‍රදේශවල ද, වියළි කලාපයේ වැව් ආශ්‍රිතව ද බහුලව දක්නට ලැබේ.
කුඹුක් ශාකය අයත් වන්නේ කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයටයි.
කුඹුක් ශාකයේ සෑම කොටසක්ම පාහේ ඖෂධීය ගුණයෙන් පොහොසත් ය.
කැල්සියම් වලින් පෝෂිත කුඹුක් හෘද රෝග සඳහා ප්‍රශස්ත ඔසුවකි. කුඹුක් කිරි මේ සඳහා යොදාගැනේ. හෘද පේශි ශක්තිමත් කිරීම කුඹුක් ශාකයෙහි තවත් ඖෂධීය ගුණයකි. චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ දී ඖෂධයක් ලෙස කුඹුක් යොදාගනී.
මුඛ රෝග සදහා කුඹුක් යනු අගනා ඖෂධයකි. දත් දිරායාමට හා විදුරු මස් දියවීමට ප්‍රතිකාර ලෙස කුඹුක් පොතු තැම්බූ වතුරින් මුව සේදීම, සියුම්ව අඹරාගත් කුඹුක් කුඩුවලින් දත් මැදීම සිදු කරයි.
රත් පිත රෝගයට කුඹුක් ඉතා හොඳ ඔසුවකි. ඒ සඳහා කුඹුක් පොතු වියළා ලබාගන්නා චූර්ණය සහ කුඹුක් පොතු යුෂ භාවිතා කරයි. සෙම් රෝග වලට ද කුඹුක් කදිමය.
ගැඹුරු තුවාල සඳහා කුඹුක් ඉතා ගුණය. කුඹුක් තේ වලින් මස් වැඩීම වේගවත් කරයි. අලුත් තුවාලවල ලේ වහනය නතර කිරීමට ද කුඹුක් භාවිතා කරයි. කැඩුම් බිඳුම් වෙදකමේදී ද කුඹුක් යොදා ගනි.
අජීර්ණ සඳහා කුඹුක් දලු වලින් මැල්ලුම් සාදා ආහාරයට ලබා දෙයි.
කුඹුක් ශරීරයේ කාන්තිය වඩවයි.
අතු පතර විදහා වැඩෙන කුඹුක් ශාකයෙහි සිසිලසම අප ශරීරයට මහඟු ඔසුවකි. මෙවන් ගුණැති කුඹුක් ශාකයක් ඔබගේ නිවසාශ්‍රිතව ඇත්නම් එය සුරැකීම ඔබ සතු වගකීමකි.
මූලාශ්‍ර :
- https://bit.ly/372Et45
- හොරවිල වෙද අත්පොත සහ දේශීය වෛද්‍යායතනයේ ප්‍රකාශනයක් ඇසුරිනි.
Design By – Samith Kanshada
Leave a Comment