කවුළුවෙන් එපිට ලොව අතිශය සංකීර්ණ බව බහ තෝරන වියේ සිට අපි දැන සිටියෙමු. කොළඹ අහස යට ජනාකීර්ණ මං මාවත් වල ඔහේ ඇවිද ගිය මතකයන් ඔබ , අපි සියල්ලන්ටම ඇතැයි යැයි සිතමු.
ඒ සියල්ලටම තිත තබා අද අපි බිත්ති හතරක් අතර කුඩා වපසරියක සිරවී සිටින්නෙමු. ගෙවෙන දින ගනිමින් උද්යෝගයකින් තොරව ඔහේ ජිවත් වන්නෙමු.
නමුත් මිනිසා බිත්ති හතරකට කොටු වුවත් සොබා දහම අද නිදහසේ දිවි ගෙවයි. වාහන දුමෙන් වැහුනු අපට හිතැති කොළඹ අහස අද නිල් පාටට දිස්වෙයි. හැමදාමත් රෑට රූපවාහිනියේ කොළඹ නගරයේ වායු දූෂණය වලක්වන්නට කෑමොර දෙන කිසිදු පුද්ගලයෙක් අද නැත. එලෙස වදවෙන්නටද අවශ්‍ය නැත. කවදාවත්ම නැති තරමට කාර්මික නගරයක් වුවද අද වාතයේ අංශු පදාර්ථ හරිතාගාර වායු අවම මට්ටමක ඇත. වෙනදා පැයකට එකම තැන පල්වන්නට සිදුවන අධික රථවාහන තදබදය තියා ප්‍රධාන මාවතක එක් මෝටර්සයිකල් කරුවෙකු හෝ දක්නට නැත.
අහම්බෙන් තැනක මිනිසෙකු දක්නට ඇත . සැවොම තමන්ගේ නිවෙස් තුලය. මේ එක්තරා යුධමය කාල පරිච්ඡේදයක් නොවේ. Covid – 19 නම් වූ වෛරසය සක්‍රීයව ලෙස එළිබැස ඇති කාලයයි.
හමුවූයේ රෝගීන් දෙදෙනෙකි . කලබල වුයේ මිලියන විසිදෙකක ජනතාවයි. වෙළඳසැල් හිස්විය. පාරවල් බ්ලොක් විය. හුදෙක්ම මමත්වය ඉස්මතු වී ගැටෙන්නට විය.
ඇත්තෙන්ම සිදුවිය යුත්තේ මෙයද? නැත්නම් සිදුවන්නේ මෙයද? ලොවම මෙසේද? නැත්නම් අප පමණක්ද?
කොරොනාව විනාශයක් පමණක් යැයි හංවඩු ගසන්නට ඇත්තෙන්ම මිනිසාට පුළුවන්දැයි තවත් වරක් සලකා බැලිය යුතු ම ය.
මෙම වසංගතය පිටුපස සිටිනා සැබෑ වැරදිකාරයන් වන්නේ ද අපමය. ඉවක් බවක් නොමැතිව සිදුකරනා වන විනාශය , ආහාර පිණිස හා ආරක්ෂාව තකා සිදුකරන සත්ත්ව ඝාතන , කාර්මීකරණය සහ තාක්ෂණයේ දියුණුවෙන් අත්හදා බලන විවිධ පර්යේෂණ මේ නව වෛරස ආරම්භයට හේතු වන්නට විය.
1940 දශකයේ සිටම ලොව පුරා බලපැත්වූ ඉබෝලා , සිකා , එච්.අයි.වී ඇතුළු බොහෝ රෝග සත්ත්වයාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය වූවකි. මෙය එම සතුන්ගේ වරදක් නොවේ. ජනගහනය වැඩිවත්ම මිනිසාට පැන නගින මූලික අවශ්‍යතාවයන් වාසස්ථාන හා ආහාර නිෂ්පාදනය අරමුණු කර ඔවුන්ගේ භූමි ප්‍රදේශ ආක්‍රමණය කර ඒවා විනාශ කිරීමෙන් සත්ත්ව ප්‍රජාවන් විනාශයට ලක්වන අතර එම සතුන්ගේ ශරීරයෙහි ජිවත්වන බැක්ටීරියාවන් සහ වෛරස මිනිසාගේ ශරීරයට කුමන හෝ මාර්ගයකින් ඇතුළු වීම මෙම පැතිර යන රෝගවලට මූලික හේතුවයි.
නමුත් අද මේ ගෙවෙන මොහොත තුල මිනිසා නිහඩය . ඇත්තෙන්ම ඔහු තම ප්‍රාණය රැක ගැනීම සදහා සටනක හිරවී ඇත. ඒ අතර මිනිසා විසින් සීමා සහිත ප්‍රදේශයක කූඩු කරන ලද ජිවීන් නිදහසේ තම පාරිසරික අයිතිය භුක්ති වීදී. මිනිසා විසින්ම ඇති කරගත් වායූ දූෂණයද දැන් යථා තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පත්වේ .
ස්වභාවධර්මයා මුලින්ම රෝගයට ගොදුරු කරගත් චීනයේ වූහාන් ප්‍රදේශයේ මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් අල්ප වුවද වසර ගනනාවකට පසු නොපිපෙන්නට සිතා සිටි චෙරි මලින් මං මාවත් හැඩවී ඇත්තේ පරිසරය ශක්තිය කියාපාමිනි.
කොරොනා කඩු අමෝරාගත් රුදුරු යක්ෂයකු ලෙස පෙනෙන්නේ ආත්මාර්ථකාමීත්වෙයන් ඔළු පිරුණු තම අභිමාර්ථ මුදුන් පත් කරගැනීම සදහා පමණක් වෙරදරන මිනිසාට පමණි.
ඒ මිනිසා නම් වූ සත්ත්වයා තමගේ වාසස්ථානය තුලම සිරවී සිටීම ස්වභාවධර්ම මාතාවට නම් සැනසීමකි.
වායු දූෂණය පිළිබද පර්යේෂණ සංවිධානයක් වන බලශක්ති සහ පිරිසිදු වාතය පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානය ( CREA ) පවසනුයේ පෙබරවාරි 03 වන දින සිට මාර්තු 01 දක්වා වූ මසක කාලය තුල පමණක් මෙම වෛරසය මර්ධනය සදහා මනුෂ්‍ය අප ගත් පියවර හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම වශයෙන් 25%කින් පමණ අඩුවී ඇති බවයි. චීනය ලෝකයේ විශාලතම වායු දුෂකයා ලෙස වාර්ෂිකව ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් 30% අධික ප්‍රමාණයකට දායක වෙයි.
තවද මහා පරිමාණ ලෙස කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනයද චීනයේ ප්‍රධාන වශයෙන් සිදුවන අතර නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි විසින් නිකුත් කරන ලද චන්ද්‍රිකා ජයාරූප මගින් ජනවාරි අග සිට මේ දක්වා කාලය තුල ප්‍රධාන චීන නගරවල වාහන , විදුලි බලාගාර සහ කර්මාන්තශාලා මගින් නිකුත් කරන වායු විමෝචනය විශාල ලෙස පහත වැටී ඇත.
ඇත්තෙන්ම කාර්මික බලාගාර වලට ඉහලින් අහසේ එක්වී ඇති විෂ වායු වලාකුළු මේ වනවිට අතුරුදන් වී ඇත.
ඉතින් බොහෝ කාලයකට පසු චීන වැසියන්ට අංශු පදාර්ථ වලින් තොරවූ හිතකර වායු ශ්වසනයට ලැබීම සතුටු විය හැකි කරුණක් නොවන්නේද?
යුරෝපයද ඇමරිකානු රටවල්ද චීනයට නොදෙවෙනි ලෙස වායු දූෂනයට හවුල් වී ඇත. කෙසේ වෙතත් වෛරස මර්දනයට පැතිරී යාමට ගත් පියවර අනුව දින පහක් තුල පමණක් සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පසුගියේ වසරේ මට්ටමට සාපේක්ෂව වාතයේ අඩංගු අංශු පදාර්ථ ප්‍රමාණය 40 % කින්ද , නිව්යෝර්ක් නගරය තුල 28% කින්ද , සියැටල් නගරය තුල 32% කින්ද , අඩුවීමක් පෙන්නුම් කරයි.
හියුගෝ නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ ෆැන්කොයිස් ජෙමන් පවසන අන්දමට covid – 19 විසින් නිර්මිත මෙම අගුළු දැමීම නිසා වෛරසයෙන් වන ජිවිත හානියට වඩා ජිවිත හානි සිදුවන වායු දූෂණය අඩු කරන බවයි.
වායුගෝලීය දූෂණය යන කරුණ මුල් කරගන වාර්ෂිකව ප්‍රමුඛව හෝ අනියම් අයුරින් චීනයේ පමණක් මිලියනයකට අධික ජනතාවක් මියයන අතර යුරෝපය පනස්දහසකට අධිකවද, ඇමරිකානු රටවලද සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවීතක්ෂයට පත්වෙයි. වසංගතය නිසා අහිමිවන ජීවිත සංඛ්‍යාවට වඩා මෙම සිරගත කිරීම් හේතුවෙන් බේරෙන ජිවිත සංඛ්‍යාව වැඩිවනු ඇත .
වායු දූෂණය හේතු කොටගන ඇතිවන දේශගුණික සහ කාලගුණික විපර්යාසන්ට මුහුණ දීමට ශක්තිමත් මිනිසා, කොරොනා වෛරසයට මෙතරම් බිය වන්නේ ඇයි දැයි අපි සිතා බැලිය යුතු කරුණකි. සත්‍ය වශයෙන්ම මේ මොහොතේ ලොවටම අවශ්‍ය විරාමය කොරෝනාව නිසා ලැබී ඇත.
නිල් අහස , පැහැදිලි ජලය , නිහඬ බව මකා හදවතට සමීපව ඇසෙනා කුරුලු නද මලානික ප්‍රාණියෙකුට ජීවයක් ලබාදෙයි . එමෙන්ම අඳුරු සෙවැනැලි පරදමින් ඉතාලියද මේ මොහොතක් මොහොතක් පාසා ප්‍රාණවත් වෙයි.
අත්‍යාවශ්‍ය නොවන සියලු ගමන් වලකාලමින් මේ වන විට ඉතාලි රජය මුළු ඉතාලියටම බලපැවැත්වෙන ලෙස අගුළු දැමීමක් නිවේදනය කර ඇති බැවින් වෙනදා සංචාරකයින්ගෙන් පිරී ජනාකීර්ණ වන විදී අද නිහඬ වී ඇත .
පිරිසිදු වාතය, අපද්‍රව්‍ය තොර බව, මෝටර් බෝට්ටුවල හඬ නැති බව හේතුවෙන් ඒ වීදීයක පදිංචිකරුවන්ට ඇල මාර්ගයක පිහිනනා මාළුවෙකු දැකිය හැකි හෝ සිහින් හඩින් ගීයක් මුහුණන කුරුල්ලෙකුගේ හඬ ඇසිය හැකි වී ඇත.
සිර කරන ලද සත්ත්වයෙක්ට දැනෙන හැඟීම් දැනීම් දැන් ඔබට දැනෙනු ඇතෙයි සිතමි. එක් රාමුවක ඒකාකාරිව ජිවත්වීම තරම් කලකිරෙන තවත් යමක් නොදැනෙනු ඇත. මතකයට නංවාගන්න! අපගේ ක්‍රියාකාරකම් සහ විනෝදස්වාදය උදෙසා පමණක් පණ ඇති ප්‍රාණීන් කී දහසකගේ නිදහස අප අහිමිකර ඇති ද?
අගුළු දැමූ නගරවල සාමාන්‍ය රිද්මය බිදී ඒ ආශ්‍රිත සතුන් දැන් නිදැල්ලේ සැරිසරයි. ජපානයෙහි සිකා මුවන් නගරවල මංතීරුවල , උමං දුම්රිය ස්ථානවල දැක ඇති අතර බොහෝ රක්ෂිත ආශ්‍රිත නගරවල සතුන් සාමාකාමීව නිදහසේ ඇවිදින බව නීරීක්ෂණය කල හැකි ව ඇත. මෙතෙක් මිනිසා තමන්ට පමණක් අයිතිකරගන තිබූ භූමි දැන් සැබෑ උරුමකරුවන් විසින් අයිතිකරගන ඇත.
පෘථිවිය මුළු සත්ත්ව ප්‍රජාවටම මව්බිමයි. මිනිසාට පමණක් එහි වැඩි අයිතිවාසිකම්ක් නොමැති බව දැන් අපට ස්වභාවධර්මයා විසින්ම කියාදී ඇත . එහෙත් ගැටලුව මේ පාඩම තව කොතරම් කලකට පමණක් වලංගු වේද යන්නයි.
මෙම වෛරස භීතීකා මධ්‍යයේ භීතියට පත් මිනිසුන් වැඩි වශයෙන් ආහාර බෝග වගාවට යොමුවී ඇති බව කියතොත් ඔබ පුදුම වනු නොඅනුමානය. නමුත් එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් හිමියන් පවසන අන්දමට ගෙවුනු පසුගිය දෙසතිය තුල එළවළු බීජ අලෙවියේ සීඝ්‍ර කැපීපෙනන වැඩිවීමක් දක්නට ලැබුණු බවයි. එනම් අදහස දැන් වැඩි වශයෙන් සියලු දෙනාම තමාගේ පරිභෝජනයට අවශ්‍ය තරම් අාහාර නිපදවීමට උත්සාහ ගැනීමයි.
සාගර ජිවින්ද නිදහසේ හුස්ම ගනී. මාංශ භාවිතයද බොහෝසෙයින් අඩුව ඇත. පොලිතීන් භාවිතයද අඩුව ඇත. භාවිතා කළ ද ක්‍රමවත්ව බැහැර කරන්නට දැන් ස්වයං පාලනයක් ඇතිව පුරුදු වී ඇත.
තාක්ෂණයේ දියුණුව සමඟ බලවතුන් වීමට පොරකෑ සීතල යුද්ධය හේතුවෙන් මෙවැනි වසංගතයවලට පෙර සුදානමක් නොවීය. සියල්ලෝම උත්සාහ කලේ යුධමය වශයෙන් හා තාක්ෂණික , ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට පමණි. Covid – 19 මිනිසාට පෙර පැමිණ වසංගත ඉගැන්වූ පාඩම නැවත වරක් මතක් කර දී ඇත. මිනිසාගේ විනාශය මෙලෙස වීමට වඩාත්ම ඉඩ ඇති බවයි. ලෝකයේ බල පරාක්‍රමය ගන්නට න්‍යෂ්ටික අවි තනන මුදල පෙර සුදානමක් ලෙස උපද්‍රවයන් මැඩලීමට ගත්තේ නම් සමහරවිටෙක අද මෙම තත්ත්වය ඇති නොවනු ඇත .
ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම මිනිසා කුතුහලයෙන් සපිරුණු බුද්ධිමත් සත්ත්වයෙකි. උනුන්ට එන සෑම අභියෝගයක්ම තනිව ජයගැනීමට අපොහොසත් වූ කල, සැවොම එක්ව හෝ ජයගැනීමට පෙළඹී ඇත. මෙතෙක් පැමිණි කිසිදු වූ උපද්‍රවයකට මිනිසා සහමුලින්ම විනාශ කලනොහැකි විය. සැමවිටම ඔවුන් අළුත් තත්ත්වයන් සඳහා ඉතාමත් වේගයෙන් හැඩ ගැහුණි.
කොරොනා ද මිනිසාට ස්වභාවධර්මයෙන් ලද වේගවත් එක් අතුල් පහරක් පමණි. ඉතා ඉක්මනින් ඒ වේදනාව සමනය කොට මිනිසා තම දෛනික ජිවිතයට එළඹෙන දවස වැඩි ඈතක නොවේ.
නමුත් මමත්වයේ පතුලටම ගිය මිනිසාට සොබාදහම පරෙස්සමට ඉන්නට ටොක්කක් ඇණ වටිනා පාඩමක් කිය දී ඇත. මුළු මානව සංහතියටම එය තරයේ මතකයේ තබා ගත යුතුව ය. නැතහොත් අපට යළි හිස එසවීමට නොහැකි තරමේ දඬුවමකට යටත් වීමට සිදු විය හැක.
නැත!
අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.
Leave a Comment