විශේෂ දිනයන්

කොරෝනාවෙන් සැඟව යන මැයි අරගලය…

ගතේ සවියට සිතේ සවිය ආයුධය කොටගත්.. දුක් කාන්සිය සතුට මෙන් සම සිතින් විඳගත්..
දාබිඳු සෝ සුසුම් නිහඬ කඳුළින් සිරකරගත්..
සොයුරනි…
සිල්ලර කාසි හඬට පාට පාට සිහින හිලව් කොට..
අළු පාට සිහින ගොන්නක් කරපින්නාගෙන..
වැඩ කරන සොයුරාණෙනි..
එන්න අරගලයට..
පාට ගන්වමු නුඹේ සිහිනය
මේ ඔබේ දිනයයි..

අද මැයි පළමු වෙනිදා ය. ලෝකයේ පවතින අනුස්මරණ හෝ විශේෂ සිදුවීම් සිහිකරන දින අතර මැයි පළමුදාට ඇත්තේ අන් කවර දාටත් වඩා සුවිශේෂී වැදගත්කමක් උසුලන විප්ලවීය මතකාවර්ජනයකි. එනම් ලෝක කම්කරු දිනයයි. මීට ශතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකයට මතක් කර දෙන්නේ වැඩ කරන ජනතාව යනුවෙන් පිරිසක් ද සමාජය තුළ වෙසෙන බවයි. කම්කරු දිනයේ සම්භවය පවතින්නේ වෘත්තීය සංගම් ව්‍යාපාරය වෙත වන අතර විශේෂිත වශයෙන් පැය අටකට සේවා වැඩ මුරය සීමා කිරීම විප්ලවයේ ප්‍රධානතම අභිමතාර්ථය විය.

ධනවත් පන්තියේ ව්‍යවසායකයන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි එකල නිර්ධන පන්තියේ අසරණ ශ්‍රමිකයන්ගෙන් ඉවක් බවක් නොමැතිව කිසිදු නෙෙතික රැකවරණයක්ද නොමැතිව පාලනයකින් තොරව අසීමිත ව ශ්‍රමය සූරා ගන්නට විය. එකම ලේ ඇට මස් නහරවලින් ජීවය ලද අසරණ ශ්‍රමිකයන් එලෙස අමානුෂික තාඩන පීඩන හමුවේ එකට එක්ව එකාවන්ව මෙයට එරෙහිව හඬක් නැංවූයේ තම සේවා වැඩ මුරය පැය අටකට සීමා කිරීමත් ශ්‍රමයට සරිලන වැටුපක් ලබා ගැනීමත් රැකියාවේ සුරක්ෂිත භාවය ඇති කර ගැනීමත් යන කරුණු අරමුණු කොටගෙනය.

මෙලෙස පහත් අන්දමින් ශ්‍රමය සූරාගත් ධනපතියන්ට එරෙහිව ලොව සියලු වැඩ කරන ජනතාව වෙනුවෙන් ප්‍රථම වරට වර්ෂ 1886 දී ලොව ප්‍රබලතම රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයෙහි චිකාගෝ නුවරදී උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ විය. ඔවුන් තම සේවා වැඩ මුරය පැය අටකට සීමා කරන ලෙස ඉල්ලීම් කරමින් සියලු වැඩ වර්ජනය කරමින් විප්ලවීය අරගලයේ පළමු වෙඩිල්ල දියත් කරන්නට විය. එලෙස සටන් ක්‍රියාත්මක වීමේදී චිකාගෝ නුවර කර්මාන්තශාලා හිමියන් කර්මාන්තශාලා වසා දැමීමේ කෘෘර තීරණය ක්‍රියාවට නැංවීමත් සමඟ අරගලයේ උණුසුම දෙගුණ තෙගුණ විය. එකල ධනේශ්වරයන්ට හිස නමා සිටි පොලිසිය ද මේ විප්ලවීය අරගලයේ ක්‍රියාකාරීව සිටි අහිංසක කම්කරු ජීවිත හතරක් පොලිස් වෙඩි පහරින් බිලිගන්නට විය. මෙයින් අාවේගයට පත් දහස් ගනන් ජනයා ඇමෙරිකාවේ හේමාකට් චතුරශ්‍රයට සිව් දෙසින් ගලා ආවේ කම්කරු අයිතීන් ලබා ගැනීමටත් ධනපතියන්ගේ දරදඬු පාලනයෙන් හා අහිංසක කම්කරු ජීවිත උදුරා ගත් මිනීමරුවන්ගෙන් සිදු වූ අයුක්තිය අසාධාරණයට එරෙහිව පෙළ ගැසීමටත්ය. මෙහිදී අරගල මර්දනයට ඉදිරිපත් වූ පොලිස් භටයින්ගේ තුවක්කු නැවතත් කම්කරු ජනතාව වෙත මාන වූයේ දරදඬු පාලකයින්ගේ අණසක ඉදිරියේදී ය. ඉතාම කෘෘර අන්දමින් තුවක්කු උණ්ඩ දහස් ගණන් අහිංසක සිරුරු හරහා විනිවිද ගියේ කම්කරු පාන්තිකයන්ගේ ධවල පැහැ සංකේත ධජයද රක්ත වර්ණයෙන් පෙඟී යද්දීය. අදටත් ගනන් නොබලා ඇති එදින සිදු වූ සමූලඝාතනය අනුවේදනීය අයුරින් ආවර්ජනය කරමින් කම්කරු අයිතීන් තහවුරු කර ගැනීමට අද දක්වා සමරන ලෝක කම්කරු දිනයේ ආරම්භය එසේ සනිටුහන් විය. තම අයිතීන් උදෙසා එදා සටන් වැදුනු තම ජීවිතය පවා කැපකළ පිරිස අතර ඇතමුන් තම ජීවිතයේ ඉරණම සිරකුටියේ බිත්ති හතරට සීමා කරන්නට විය. මේ සා කැපකිරීමක අවසානයේ ප්‍රතිඵලයක් ලෙසින් 1889දී රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මැයි පළමු දා ජාත්‍යන්තර කම්කරු දිනය නමින් ප්‍රසිද්ධියට පත් කෙරිනි.

පසුව මෙය, ක්‍රමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. වර්ෂ 1927 දී ලංකා ඉතිහාසයේ ප්‍රථම කම්කරු අනුස්මරණ දිනය සැමරූ අතර ප්‍රථම මැයි රැළිය වර්ෂ 1933දී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. පසුව වර්ෂ 1956 දී මැයි පළමු වන දා රජයේ නිවාඩු දිනයක් බවට නම් කෙරිනි. වර්තමානය වන විට මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ මූලික කරගනිමින් වෙන් වෙන් වශයෙන් මැයි දින රැළිය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරනු ලබයි.

මෙලෙස උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වූ මැයි රැළි ඉතාම උසස් අන්දමින් අවසන් වූ වර්ෂ මෙන්ම අනුවේදනීය ශෝකජනක සිදුවීම් මෙරට සිදු වී ඇති බව ද කිව යුතුය. විවිධ ගැටුම් ඇති වීමෙන් කම්කරුවන් තම ජීවිත පවා පූජා කල අවස්ථා බොහෝ ය. පසු කාලීනව රුදුරු ත්‍රස්තවාදීන්ගේ අත්තනෝමතික මිලේච්ඡ ක්‍රියාවන් හේතුවෙන් මැයි රැළි තුළින් ශ්‍රී ලාංකික නායකයින් ද අහිංසක කම්කරු ජනතාව ද දිවි පුදන්නට විය.

මෙලෙසම ශ්‍රී ලංකාව තුළ සිදු වූ යම් යම් හේතු මත මැයි පෙළපාලි නොපැවැත්වූ අවස්ථා ද ඇත. ඒ අතරින් මෑත කාලීන සිදුවීම් ලෙස 2006 වසරේ ශ්‍රී ලංකාව තුළ පැවති රුදුරු ත්‍රස්තවාදය හේතුවෙන් ආරක්ෂක හේතූන් මත මැයි රැළිය නොපැවැත් වීමට එවකට රජය තීරණය කොට තිබිණි. එමෙන්ම 2019 වසරේ අප්‍රේල් මස සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් රට තුළ වූ නොසන්සුන්තාවයත් අනාරක්ෂිත බවත් හේතුවෙන් මැයි රැළි පැවැත්වීම සිදු නොවී ය. එලෙසම මෙම වසරේ දී ද ඉතාම අවාසනාවන්ත අයුරින් මුළු ලෝකයට ම මුහුණ දීමට සිදු වී ඇති කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් මැයි දින සැමරුම සිදු කළ නොහැකි වන්නේ මෙම වෙෙරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමාජ දුරස්ථ බාවය අනිවාර්ය සාධකයක් වන නිසාවෙනි.

ධනපති පාන්තිකයන්ගේ දරදඬු පාලනයට එරෙහිව එදා චිකාගෝ නුවරින් ආරම්භ වූ මෙම අරගලය වර්තමානය වන විටදී බොහෝ අයිතීන් දිනාගෙන හමාරය.එදා අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කෘෘර පාලකයන්ට එරෙහිව තම සටන් අරඹා තම ජීවිතය ද පරදුවට තැබූ කම්කරු ප්‍රජාවගේ ආත්මයට අද ඉහළ වටිනාකමක් ලැබී ඇතිවාට සැක නැත. ඉදින්, ස්වකීය අයිතිවාසිකම් සපුරාගනු වස් අධිෂ්ඨානශීලී පෙර ගමනක යෙදෙන මුළු මහත් කම්කරු ජනතාව වෙත Colombo Beacon අපි අපේ ගෞරවණීය ප්‍රණාමය පුද කර සිටිමු.

නගමු ජයගොස එකාවන්ව – විප්ලවීය අරගලයට !!!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment