රෝගයක් පැතිරිලාලු නේද චීනයේ
නම නම් කොරෝනාලු කීවා පුවතෙන්
අපිට නම් වැඩක් නැත චීනේ කොරෝනා
දැනුත් මේ දුවනවා එල්ලෙන්න කෝච්චියෙ
චීනේ සිංහලයො හිර වෙලාලු
බේරාගන්නට මෙහෙන් ගියාලු
නිරෝධායනෙ ගිහින් දැම්මලු
චීනේ පෝළිමේ එහෙ මැරෙනවලු
කොරෝනා ගිහින්ලු ලෝකෙ වටේ
ඉතාලියෙත් පැතිරිලා ලෙඩේ
බේරෙන්නට ඇති මගක් නැතේ
ඉතාලියේ අපි ආවා මෙහේ
අපි මේ යනවා අයියා බලන්නට
ඉතාලියේ සිට ආවා මෙහේ
අවුරුදු පහකින් දකින්න යන්නේ
කොරෝනා හින්දලු ආවේ මෙහේ
ඉතාලියේ එහෙ මිනිස්සු මැරෙනව
යන්තන් මං මෙහෙ පැනගත්තේ
මටත් ටිකක් දැන් කැස්සට වාගේ
බෙහෙත් ටිකක් ගන්නට ඕනේ
දෙවියනෙ අයියට කොරෝනා හැදිලලු
ගෙදර මිනිස්සුත් නිරෝධායනෙලු
ළඟින් ඇසුරු කළ මිනිස්සු ඇහුවලූ
නෑනා අපිවත් අල්ලලා දීලලු
කඳවුරුවල ඉන්නට ඕනෙද
කොරෝනා බොරෝනා මේ මොන ලෙඩ
අපිට කොයින්දෑ ඔය බොරු ලෙඩ
වරෙන් පුතේ යන්නට කඩයට
අපිවත් දැම්මනෙ නිරෝධායනයෙ
පුදුමයි සෙබළුන් බය නැති අගේ
දුන්නා හැම දෙය නැත ලොබ වුනේ
දවස් දාහතර අවසන් වුනේ
අන්තිම දවසේ මටත් කොරෝනා
දෙවියනෙ මා කල කරුමය කිම්දා
කරුමෙට නම් නොවේ මේක හැදෙන්නේ
දැනුයි තේරුනේ හේතුව කිම්දා
මිතුරනෙ මෙය අහගන් බොල හොඳිනේ
තැන තැන ගැවසෙනු එපා දෙවියනේ
සැම විට මීටරයක් ඈතින්නේ
සිටගෙන ආරක්ෂා වනු මැනවිනෙ
එළියට යනවිට මුව ආවරණේ
දාගව් හැම විට මතක ඇතිවනේ
හැකි හැම විට නිවසට වී ඉන්නේ
කම්මැලි බවයැයි නොයනු ගම වටේ
නිතරම අතපය සෝදාගන්නේ
හොඳින් සබන් ගා සෝදාගන්නේ
කිසිවිට ඇස් මුව නොපිරිමදින්නේ
සැවොම රැකීමට මේවා කරන්නේ
දැන්වත් තේරෙනවා ද බොලව් මේකෙන් ගොඩ එමු කී දෙ කරව්
සොබාදහම කම්පා නොකරව්
දැන්වත් හොඳ විදියට හැදියව්
දුර්ජන මිනිසුන් මට්ටු කරන්නට
සොබාදහම් මව් නැගිට දඬුවමට
ලෝසත හැම දෙන දඬුවම් විඳිනට
සැරසෙව් දැන් අප කුමක් කරන්නද
දැන්වත් හැදියව් නොකර අමනකං
කරව් ආදරය මව වන් සොබාදම්
ගස් වැල් මරලා කරපු මෝඩකම්
මතකද නුබලට දැන්වත් හැදියව්
Photo by Evgeni Tcherkasski
Leave a Comment