යසවතී පිල් කණ්ඩියේ ඈඳි ගත්තේ ලොකු එකීට කතාකොට කොඳු නාරටියට තෙල් සාත්තුවක් දමා ගැනීමටයි. තම කුඩා පැල්පතෙහි කොනක දූවිලි පොදක්වත් නැති පොත් පත් ටික යසවතීගේ කොන්දෙ රුදාව පරයමින් මුවඟට සිනහවක් ගෙන්වීමට සමත්විය.
“මේ ඇහුනද සෝමෙ, පෙරේදා අරඹෙ ගෙදර වැඩට ගියපු වෙලේ පුංචි බේබිගෙ පොත්වල බැඳිලා තිබ්බ මකුළු දැලුයි දුහුවිලියි පිහදාලාම මට එපා වුනා. ඉන්ටාර්නෙටුයි, ටැබාලටුයි ඔක්කොම තියෙනවනෙ. ලොකු නෝනා කීවෙ ඒවගෙන් උගන්නනවලු. ඒ වුනාට පොත් වල දූවිලි. ඒකට බලාපල්ලකො ඔය මුකුත් නැති අපේ එකීගෙ පොත් ටිකේ දූවිලි බින්දුවක් වත් නෑ. ඉස්කෝල නිවාඩු වුනාට මොකෝ හැමදාම පොත් ටිකනම් අතපත ගානවා.”
සිය සැමියාට එලෙස පැවසූ යසවතී උන් තැනින් නැගිට පොත් ගොඩ අසලට ගියේ කරන්නට සිතූ කාරණය ද පසෙකට කරලමින්. එකින් එක පොත අතට ගෙන බලන විට එක්වරම දුටුවේ ලස්සන පාට කොලයක් හතරට නමා පොතක් අස්සට දා ඇති අයුරුයි. කොළය අතට ගෙන උඩින් පල්ලෙන් කියවා බැලූ යසවතී හනික එය චීත්ත පටෙහි රඳවාගෙන සිය සැමියා හොයා ගියාය.
“සෝමේ, ලොකු එකීවයි පොඩි එකාවයි මහ ගෙදර පැත්තෙ යැවුවනම්… කාරණයක් කියන්න තියෙනවා. “
යසවතී මෙලෙස පවසන්නේ කුමක් හෝ වැදගත් කාරණයක් පැවසීමට බව දන්නා සෝමේ, දරුවන්ව සිය මහගෙවල් පැත්තට යැවුවේ අත්තම්මාට වැඩක් පලක් කර දී පැමිණෙන මෙන් පවසමිනි.
සතියට දවසක් දෙකක් ආත්තම්මාට සහ සිය ලොකු මාමාගේ බිරිඳට වැඩපල කරදීමට දරුවන් දෙදෙනා කවදත් කැමතිය. තමන් කරදෙන වැඩපල සඳහා නොසෑහෙන නමුත් රාත්‍රී ආහාරය සදහා කුමක් හෝ දේකුත් රසකැවිලි කිහිපයකුත් ලැබන නිසා ඔවුන් එම කටයුත්ත සදහා සිය කැමැත්තෙන් සහභාගි වේ. එනිසා දරු දෙදෙනාට අමුතුවෙන් සිතීමට කාරණයක් එහි ඇත්තේම නැති තරම්ය.
“ඉතින් කියහන්කො ඔය විශේෂ කාරණේ…” යනුවෙන් පවසමින් සෝමේ පිල් කණ්ඩියෙන් වාඩි වූයේ ය.
“මේ කඩදහි කෑල්ල කෙල්ලගෙ පොතක් අස්සෙ තිබ්බෙ.”
“මන් ඉතින් අකුරු දන්නවා කියලායැ, ඇහෙන්න කියවහන්කො.”
යසවතී දිග සුසුමක් හෙලා කඩදහි කැබැල්ලේ තිබූ දෙය කියවන්නට විය.
*****
ආදරණීය කොරෝනා,
අත්තම්මලාගෙ ගෙදර ටීවි එකේ කියන විදිහට ඔයා හරි නපුරුයි. අම්මලානම් ඔයා ලංකාවෙන් යනකම් බලන් ඉන්නෙ. ඒත් මටනම් හරි සතුටුයි.
තාත්ත ගෙදර අපිත් එක්ක ඉන්නවා. එයාට රස්සාව නැති වුණත් අතේ තිබ්බ කරගැට ටික හොඳටම අඩු වෙලා. කකුලේ තුවාල දැන් සනීපයි. අම්මාගෙත් කොන්දෙ අමාරුව හොඳටම අඩු වෙලා.
හැබැයි අපිට ඉස්කෝලේ නැති හින්දා නම් ටිකක් දුකයි. ඒ උනාට ඉස්කෝලේ නැති හින්ද ඉගෙන ගන්න නම් විදිහක් නෑ. ලොකු මාමලාගේ අයියලා නම් ලැප්ටොප් එකෙන් ඉගෙන ගන්නවා. සඳූටත් ඒකෙන් පාඩම් දාලා දෙනවලු. වෙනදට මමනෙ පන්තියේ පලවෙනියා, ඒත් මට ඉගෙන ගන්න විදිහක් නැති හින්දා මේ පාර ලකුණු අඩු වෙයිද දන්නෙ නැහැ.
ඒ වුනාට මම ඉස්කෝලේ අච්චු පොත් ඔක්කොම කියවලා ඉවරයි. මං ඒවගේ තියෙන වැඩ ඔක්කොම කරා. ඒ හින්දා බය නෑ ලකුණු අඩුවෙයි කියලා. මල්ලිටත් මම හිමීට අකුරු කියලා දෙනවා.
අම්මායි තාත්තායි නම් උදේ හවස හූල්ලන්නෙ අපිට කන්න දෙන්න විදියක් නෑ කියලා. ඒ හින්දා කොස් ගහේ කොස් පොලොසුයි වෙලේ හැදෙන පලාකොළ ටිකයි අපිට නිකන් රන් මසු වගේ.
මොනාවුනත් හාලුයි තව මොන මොනවා හරි බඩු ගන්න කඩේ මුදලාලිටනම් තාත්තා ණය වෙලා වගේ. මුදලාලිගේ බඩු මේ දවස් වල ගිනි ගණන් කියලා තමයි කතාවෙන්නෙ. එහෙම කරන්න හොද නෑ ඒත්.
මං ඔයාට කොච්චර කැමති උනත් ඔයා හින්දා හැමෝම අසනීප වෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා කමක් නැහැ ඔයා ඉක්මනට මෙහෙන් යන්න. ඊට පස්සේ තාත්තාට අලුතින් රස්සාවක් හම්බ වේවි. අම්මටත් වත්තෙ වැඩට යන්න පුළුවන් වේවි. එතකම් අපිට කන්න ගෙදර හදලා තියෙන ඒවයි, වටෙන් පිටෙන් හොයාගන්න ඒවයි හොඳටම ඇති.
හැබැයි ඔයා යද්දි අම්මැගෙයි, තාත්තාගෙයි ලෙඩ ඔක්කොම අඩුවෙලා තියෙයි. තාත්තා ගෙදර ඉන්නෙ කාලෙකින්නෙ. එයාට නිවාඩුවක් මන් දන්න කාලෙකින් හම්බුනාමයි. කොච්චර අඩුපාඩු තිබ්බත් මේ දවස්වල අපේ ගෙදර හිනාව පිරිලා. අම්මගෙ හීන්දෑරි ඇඟ ටිකක් පණ ගහලා.
මේ හැමදෙයක්ම වුනේ ඔයා නිසා. ඉතින් මම ඔයාට හුඟක් ආදරෙයි කොරෝනා..
************
යසවතී චීත්ත පටින් කඳුළු පිසදාගෙන කඩදාසි කැබැල්ල නැවුවාය.
“ඔය මගේ කෙලීගෙ හදවතින් එන හැඟීම පුංචි විදිහට අකුරු කරලා තියෙන්නෙ. පුංචි දේත් ඉල්ල ඉල්ලා අම්මලත් එක්ක රණ්ඩු කරන දරුවො අතරෙ මගේ උන් මට රත්තරන්. මොන දුක විඳලා හරි මුන්ව මේ වලෙන් ගොඩට ගන්න ඕනෙ.”
ඔය කඩදහිය උණ්ඩි කරලා තිබ්බ තැනින් ම තියනවා හොඳා,
මම පොඩි එවුන්ව එක්කාසු කරන් එන්නම්.” පැවසූ සෝමේ පිල මතින් නැගිට පාරට පියමනින්නට විය.
Leave a Comment