Colombo Beacon ‘සුව ධරණි’ සුව චාරිකාව ඔස්සේ මෙතෙක් ගෙන ආ සියලු ඖෂධ පැළෑටි ලංකාවේ දක්නට ලැබුණ ද ඒවායේ නිජබිම වන්නේ වෙනත් රටවල්ය.
මෙවර ‘සුව ධරණි’ විශේෂාංගය වෙන්වන්නේ ශ්‍රී ලංකාව නිජබිම කරගත් ඖෂධීය ශාකයක් වන කොහිල ශාකයේ වගතුග වෙනුවෙනුයි.
කොහිල
උද්භිද නාමය:- Lasia spinosa
ඉංග්‍රීසි නාමය :- Lasia
වෙනත් නම් :- කොහිවිල
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජලාශ්‍රිත බිම් වල, සෙවණ සහිත වගුරු බිමෙහි ඉතා සාරවත් වැවෙන ඖෂධයකි. මුලින් පැවසූ පරිදි කොහිල උපන් ස්ථානය ශ්‍රී ලංකාවමයි.
කොහිල යන නාමය දෙමළ භාෂාවෙන් ශාකය හැඳින්වීමට භාවිතා කරන නාමයයි. කොහිල ශාකයේ සිංහල නාමය වන්නේ කොහිවිල යන්නයි. නමුත් භාවිතයේ පවතින්නේ කොහිල යන නාමයයි.
කෙටි කටු සහිත කඳකින් හා බිම දුවන වන කටු සහිත මුල් වලින් යුක්ත ශාකයකි. මුලක විශ්කම්භය සෙන්ටි මීටර් 2 – 3 පමණ වේ. ඊතල හිසක හැඩය ගන්නා පත්‍ර දිග කටු මත පිහිටයි. මේරූ පත්‍ර සිනිදු වුවත් පහළ පෘෂ්ඨයේ කටු ඇත.
මල ඇන්තුරියම් වලට සමාන ය. තැඹිලි රතු පැහැති ය. මල වටා දැවටී ඇති කොළපුව දුඹුරු හා කහ පැහැති වේ. මල් හට ගැනීම ඔක්තෝබර් – දෙසැම්බර් මාස වල සිදු වේ.
කොහිල යනු ආහාරයක් හා ඖෂධයක් ලෙස ජනාදරයට පත් වූ ශාකයකි. කොහිල අල වලින් ව්‍යාංජන, සම්බෝල සහ කැඳ ද, කොහිල දළු වලින් ව්‍යංජන ද පිස ගනු ලබයි. ආයුර්වේදයේ ඖෂධ අතර මුල් තැන ගන්නා ඖෂධයක් ලෙස කොහිල ප්‍රසිද්ධය.
අධික ලෙස තරහ යන ඕනෑම පුද්ගලයෙකුට අප පවසන්නේ මූලග්ගින්නට කොහිල ටිකක් කෑවොත් හොඳයි යනුවෙනි. කොහිල යනු අර්ශස් රෝගයට ගුණැතිම ඖෂධයකි. සාමාන්‍ය අර්ශස් රෝග වල දී සහ ලේ යන අර්ශස් රෝග වල දී ඖෂධයක් ලෙස කොහිල භාවිතා කරයි.
අල මෙන්ම දළු ද කෙඳි සහිත නිසා මල පිට කිරීම අතිශයින්ම පහසු කරයි. බඩවැල්වල ඇති විෂ දෝෂ සහ බඩවැල් තුළ ඇති විවිධ ලේ දෝෂ පහ කරයි.
රත් පිතට ද හිතකර ඖෂධයකි. අක්මා රෝග ද සුව කරයි. අරුචිය නැති කරයි. දැවිල්ල සමනය කරයි.
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක් තුළ ජලජමය පරිශ්රයක අවුරුද්ද පුරාම කොහිල වගා කරගත හැකි වුවත් දෙසැම්බර් හා පෙබරවාරි අතර කාලය තුළ අස්වනු නෙලීමෙන් වැඩි ඵලදාවක් අත් වේ.
කොහිල වලවල් තුළ මදුරුවන් බෝ නොවන හෙයින් සෑම ගෙවත්තකම කොහිල වලක් සාදා ගැනීම ආර්ථික හා සෞඛ්‍යමය වශයෙන් ඉතාම වැදගත් වේ.
මූලාශ්‍ර :- ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතියේ ප්රකාශනයක් ඇසුරිනි.
Design by Samith Kanshadha
Leave a Comment