කාර්මීකරණයේ දියුණුවත් සමඟම ඇතිවන අනෙක් ප්‍රධානතම ගැටළුවක් වන්නේ වාතය දූෂණය වීමයි. එම ගැටළුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල් වලට සොබාදහම විසින් මවා ඇති අපූර්වතම දායාදයක් වනුයේ අතුපතර සිසිරා පරිසරයම සිසිල් කරමින් වැඩෙන කොහොඹ වෘක්ෂයයි.
හෙළයේ විසිරී ඇති ශාකමය ඔසුවල වටිනාකම විදහාලන Colombo Beacon ‘සුව ධරණි’ ලිපිය මෙවර වෙන්වන්නේ කොරෝනා වසංගතයත් සමඟ කරළියෙහි රගදෙන කොහොඹ ශාකය සඳහායි.
කොහොඹ
උද්භිද නාමය :- Azadirachta indica
ඉංග්‍රීසි නාමය :- Neem Tree/ Margosa Tree
වෙනත් නම් :- කොසඹ, පිසඹ, වන්ඹු, වම්පු, පියුමන්ද
අතීතයේ පටන් කොහොඹ ශාකය ලාංකීය සමාජය හා දැඩිව බද්ධව පවතින ශාකයක් ලෙස පිළිගත හැකිය.
නිවස ඉදිරිපිට කොහොඹ ගසක් වැවීමෙන් සෞභාග්‍යය උදාවන බවට මතයකි. නමුත් කොහොඹ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෘහාශ්‍රිතව වැවීමට ඉතා සුදුසු ශාකයකි. ඒ මන්ද යත්, කොහොඹ ශාකය මගින් ලබාදෙන සිසිලස සහ විෂබීජ නාශක ගුණය ඉතාමත් ඉහල බැවිනි. තවද, වාතයේ ඇති විෂ නසා පිරිසිදු වාතාශ්‍රය ලබා දේ.
කොහොඹ සතු විෂබීජ නාශක ගුණය ඉතාමත් ඉහල බැවින් ලොව උද්භිද විද්‍යාඥයින් ලතින් භාෂාවෙන් “ඇසඩ්‍රික්ටා” හෙවත් “කෘමිනාශක වංශාධිපති වෘක්ෂය ” ලෙසින් හදුන්වයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව ආදී ඝර්ම කලාපීය රටවල බහුලව දක්නට ලැබේ. කොහොඹ ශාකය ශ්‍රී ලංකාවේ වියළි හා තෙත් කලාපයේ සෑම ප්‍රදේශයකම පාහේ බහුලව දක්නට ලැබේ. විවෘත වන ලැහැබ් සහ සවානා තණබිම්වල ස්වාභාවිකව වැඩේ.
මීටර 20 පමණ උසට අතුපතර විදහා සෘජුව වැඩෙන ශාකයකි. සංයුක්ත පත්‍ර දක්නට ලැබේ. ශ්වේත වර්ණ පුෂ්ප ඉතා සුගන්ධවත් ය. පොකුරු ලෙස හටගනී. කොහොඹ ගසේ මල් පිපීම වර්ෂයකට දෙවරක් සිදු වේ. ළපටි අතු හෝ පත්‍ර පොඩිකල විට සුදුළූනු සුවඳක් විහිදේ. සෙ.මී. 1-2 පමණ වන ඵල වෙරළු ගෙඩි මෙන් ඉලිප්සාකාර හැඩයක් ගනී. මේවා ඉදුණු විට කහ පැහැතිය.
ශාකයේ මුල්, පත්‍ර, පොතු, මල්, ගෙඩි සහ මැලියම් ආදී සියල්ලම ඖෂධ සඳහා යොදාගන්නා බැවින් ඖෂධීය වටිනාකම ඉහල ශාකයකි.
කොහොඹ වල රසය තිත්ත වුවත් මධුර රසයෙන් ශරීරයට ලැබෙන දොස් සමනය සදහා මහඟු ලෙස උපකාරී වේ.
කොහොඹ සතු ලේ පිරිසුදු කිරීමේ ගුණාංගය අතිමහත්ය. උණ නසන ගුණැතිය. මුත්‍රා කාරක වේ.
ඇස් රෝග සහ සෙම් රෝගවලදී බහුලව යොදාගැනේ. රක්ත දෝෂ, පිත්ත දෝෂ, කුෂ්ඨ හා වණ නසයි. නොපැසුණු වණ පැසවීමටත්, පැසුණු වණවල සැරව පිටකිරීමටත් හැකි විශිෂ්ට ගුණයක් කොහොඹ වල පවතී.
පෙනහලු රෝග, ආහාර අරුචිය සදහා ප්‍රතිකාරයන්හි යොදාගැනේ. කුරුමිණි රෝග, වමන රෝග, ඉදිමීමේ රෝග සහ පණු රෝග ආදීන්ට සුවය ලබා දේ.
ක්ෂය, විෂ, දැවිල්ල පහ කරයි. මී විෂ නසයි. කල්ගිය මැලේරියාවට සහ අර්ශස් වලට ප්‍රතිකාර කිරීමට යොදාගැනේ. පැපොල, සරම්ප යන වසංගත රෝග සදහා නොයෙක් ආකාරයෙන් යොදා ගනී.
වර්තමානයේ රූපලාවන්‍ය කටයුතු සදහා කොහොඹ බහුලව යොදාගැනේ.
අද වෙළදපොළේ ‘නීම් ෆේස් වොෂ්’, ‘නීම් ෆේස් පැක්’, ‘නීම් ටෝනර්’ ආදී ලෙස බොහෝ රුපලාවන්‍ය නිෂ්පාදන දක්නට ලැබේ. කොහොඹ සාරය යොදා ගෙන සකස් කළ මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදන කුරුලෑ සහිත තෙල් සම සඳහා සකස් කල ඒවා වීම විශේෂයි. කොහොඹ දළු වල ඇති සාරය මගින් බැක්ටීරියා ආසාදන නිසා ඇති වන කුරුලෑ සහ ලප කැළැල් දුරු කරලීමට හැකි ගුණය උපකාරී කරගෙන මෙම නිෂ්පාදන සාදා ඇත.
සම පැහැපත් කිරීමේ ගුණය කොහොඹ සතු වේ. මේ සඳහා කොහොඹ දළු හෝ දළු වියළා කුඩු කර සාදා ගන්නා කුඩු ද භාවිතා කරයි. කොහොඹ ශාකය විශේෂයෙන්ම සමේ ඇති වන ගැටළු සඳහා ප්‍රතිකාර වලට යොදා ගැනේ.
අකලට හිස කෙස් වැටීම, හිස්සොරි සඳහා ද කොහොඹ කොළ තැම්බූ වතුර යොදා ගැනේ.
අතීතයේ ප්‍රසූතිකාගරවල කොහොඹ තෙල් නැතුවම බැරි ඖෂධයක් විය. අලුත උපන් දරුවන් සහ වැදූ මව්වරුන් ද විෂබීජ වලින් ආරක්ෂා කිරීමට දුම් ඇල්ලීමේ දී කොහොඹ තෙල් යොදා ගැනේ.
කොහොඹ ශාකයෙන් ලබාගන්නා නිස්සාරක සබන් සහ දත් බෙහෙත් නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. තව ද, කොහොඹ තෙල් යනු ස්වාභාවික පලිබෝධ නාශක දියරයකි.
සතුන්ගේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී ද කොහොඹ යොදාගනී.
මූලාශ්‍ර :
- ශ්‍රී ලංකාවේ ඖෂධ පැලෑටි සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිලිබද ව්‍යාපෘතියේ ලිපි පෙල ඇසුරිනි.
Design By – Samith Kanshadha
Leave a Comment