Interview

කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…5

අපේ ජීවිත කාලය තුල අපිට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය අපි වටා ඉන්න අයව සතුටු කිරීමයි.  විශේෂෙයන්ම අපේ දෙමාපියන්ගෙ මුවගට සිනාව කැන්දන්න අපි සමත් වුනොත්, සැබැවින්ම එය විශාල පුණ්‍ය කර්මයකි. මෙලොව දරුවෙකුට දිය හැකි අගනාම දායාදය වන අධ්‍යාපනය ලබාදී, ඒතැනින්ද නොනැවතී යහ ගුණෙන් පිරිපුන් සුන්දර මිනිසෙකු සමාජයට මුදා හැරීමේ අමිල මෙහයක නිරත වන දෙමාපියන්ට අපි සදා ණය ගැති වන්නෙමු. අධ්‍යාපනයේ නිසි ඵල නෙලා ගනිමින් මා පිය දෙනත් වලට තුටු කදුළු එක් කරවීමට සමත් වු ඒ විද්‍යාර්‍ථීන්ගේ පිළිසඳරෙහි තවත් අදියරකි මේ.

අද අප සමග කතා බහට එක් වන්නේ, අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය අංශයෙන් විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගත් නතාශා දුල්මි සොහොයුරියයි.

Q1: අක්කගේ විස්තර ටිකක් මුලින්ම කියමු. පාසල, පවුලෙ විස්තර?

පාසල, ගාල්ල සවුත්ලන්ඩ් උසස් බාලිකා විදුහල. අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්නේ. මල්ලි දැන් ඉංජිනේරු විද්‍යාව හදාරනවා. අම්මා නම් ගෙදර ඉන්නේ, තාත්තා ඉංජිනේරුවරයෙක්.

 

Q2:පුංචි කාලේ අනාගතේ ගැන තිබුනෙ මොන වගේ බලාපොරොත්තුවක්ද?

පොඩි කාලෙ නම් ඕනෙ කෙනෙක් ඇහුවම කිව්වෙ වෛද්‍යවරියක් වෙන්න ඕනෙ කියලා. නමුත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන කාලෙ වෙද්දි ගණිත අංශයෙන් ඉදිරියට යන්න හිතුවා. ඒත් පස්සෙ ඒ අදහස වෙනස් වෙලා ජීව විද්‍යාවම තෝර ගත්තා.

Q3: වෛද්‍යවරියක් වෙනවා කියලා පුංචි හීනයක් හිතේ තිබුණනේ. නමුත් ඒ හීනය සැබෑ නොවුණු විට දැනුණ හැඟීම කොයි වගේද?

ඒ හීනය හැබෑ නොවුනෙමත් නෑ. මොකද ප්‍රතිඵල වලින් මට වෛද්‍ය පීඨයට යන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒ කාලෙ ආණ්ඩුවෙ තිබුන තත්වයත් එක්ක මට යන්න බැරිවුණා. ඒ වෙනුවෙන් තාත්තා ලොකු සටනක් දුන්නා. නමුත් වෛද්‍ය පීඨයට යන්න හැකියාව ලැබෙද්දි, මං මෙහෙ ඇවිල්ලා. එතකොට මට තේරුණා මට ගැලපෙන්නෙ මේක කියලා. ඒ නිසා දිගටම මං මේක කරගෙන ගියා.

Q4: කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යාව හා ජෛව රසායනය උපාධි පාඨමාලාවට ඔබ තේරී පත්වුණා කියලා දැනගත්ත දවස ගැන අපි කථා කළොත්?

Medicine වලට පස්සෙ තියන හොඳම එක මේක කියලා ඒ ගැන ලොකු සතුටක් තිබුණා. ආවට පස්සේ තියෙන subject, courses එක්ක මට හිතුනා මේක මට හොඳටම ගැලපෙනවා කියලා. මේක හරිම interesting subject එකක්. ඒක නිසා මං ඒකට කැමති වුණා.

Q5:විශ්ව විද්‍යාලයට ආපු මුල්ම කාලෙ මොනවද ලබපු අත්දැකීම්? කොයි වගේ හැඟීමක්ද විශ්ව විද්‍යාලය ගැන ඇති වුණේ?

හොඳටම බයෙන් හිටියෙ (සිනාසෙමින්). හැබැයි ටික දවසක් යද්දි හැම තැනින්ම ආපු යාළුවෝ එකතු වුණාම, යාළුවොත් එක්ක ඉඳිද්දි ඉතින් මට ගෙදර වගේ දැනුණා. තිබුණ බය අඩු වෙලා, මෙහේ life එකට හුරු වෙලා ගොඩක් සතුටෙන් හිටියා.

Q6: සිව් වසරක උපාධිය අවසන් කර මීට මාස කිහිපයකට පෙර පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේදී ඔබ විශිෂ්ඨ ජයග්‍රහණයකට උරුම කම් ලැබුවා. ඒ ජයග්‍රහණය ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි.

ඒකෙ handbook එක දෙනකම්ම මට sure එකක් තිබුනෙ නෑ. මට medals දෙක ලැබෙයි කියලා පස්සේ දැනගත්ත දවසෙ නම් ලොකු සතුටක් ඇති වුණා. ගෙදරටත් එවෙලෙම කිව්වා. Medals දෙක දා ගනිද්දි ඇත්තටම කියා ගන්න බැරි සතුටක් ඇති වුණා. ඒ වගේම මාව මෙතනට ගෙනාව අය ගැනත් ලොකු gratitude එකක් තමයි ඇතිවුණේ.

Q7:මීට අමතරව ඔබ පාසල් අවධියේ ලබපු විශේෂ ජයග්‍රහණ එහෙම තියනවද?

පාසලේ මං සාහිත්‍ය සංසදයේ හිටියා. සිංහල භාෂා දින තරඟ වලට අන්තර් විද්‍යාල, කලාප ඒ දෙකෙන් ප්‍රථම ස්ථාන ලබලා තියෙනවා. තව ගොඩක් සංගම් වල හිටියා. ඒ වගේ පොඩි පොඩි achievements තියනවා.

Q8:අධ්‍යාපන වැඩ කටයුතු වලට අමතරව විශ්ව විද්‍යාලයේදී බාහිර ක්‍රියාකාරකම් වල යෙදිලා තියනවද?

ලොකුවටම හිටියේ නෑ. මොකද ගෙදරින් පිටනෙ හිටියෙ. නිවාඩුවක් ලැබුන ගමන්ම ගෙදර දුවන එක තමයි කලේ. ඒ ගෙදරත් එක්ක ගොඩක් බැඳීම තිබුන නිසා. හිටියෙ නෑමත් කියන්න බෑ. මං MB journal club එකේ member කෙනෙක්. Science society එකේ ඉන්නවා. බාහිර දේවල් විදිහට මං සංගම් වල ඉන්නවට වඩා ගොඩක් මගේ විනෝදාංශ වන මැහුම් ගෙතුම් කරමින් තමයි මගේ නිවාඩු කාලය ගත කළේ.

Q9:අතීත සමාජය කාන්තාවකගේ බුද්ධි මට්ටම හැඳි මිටකට පමණක් සීමා කළා. එවන් සමාජ තත්වයක් වර්තමානයෙත් යම්තාක් දුරකට දැනටත් දක්නට තියනවා. නමුත් ඔබ කාන්තාවක් වශයෙන් විශ්ව විද්‍යාලයේ ඔබත් සමඟ ඉගෙනගත් සියළුම සහෝදර සහෝදරියන් අභිබවා අණුක ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස ජයග්‍රහණය කළා. පෙර කී මතයත් එක්ක සමාජයේ හැංගිලා ඉන්න ඔබ වැනි දක්ෂ සහෝදරියන්ට, කාන්තාවන්ට දිරියක් වශයෙන් ඔබ දෙන පණිවිඩය කුමක්ද?

ප්‍රධානම හේතුව අර ඒ කාලෙ ඒ අයගේ ඔළුවට දාලම තියෙන්නේ ගෙදර වැඩ කරගෙන ළමයි බලාගෙන ඒ විදිහටම ඉන්න ඕනේ කියලානේ. ඒක හින්දා ඒ අයට එළියට යන්න අවස්ථාවක් හම්බවුනේ නෑ. අවස්ථාවක් ලැබුණා නම් අද මේ ඉන්න තත්වයට ඒ කාලෙත් කාන්තාවො ඉඳියි. දැන් එහෙම නෑනෙ, දැන් තරඟෙට ගෑණු ළමයිනුයි, පිරිමි ළමයිනුයි එක වේගෙන් යනවා. දැන් ඉතින් සමහර තැන් වල පිරිමි අයටත් වඩා ඉහළ තැන්වල ගැහැණු අයනෙ ඉන්නෙ. ඉතින් තවමත් ඒ දුර්වල මානසිකත්වය තියාගෙන ඉන්න අයට ඒක ලොකු උදාහරණයක්.

Q10: මේ සියළු ජයග්‍රහණ අතැතිව සිටින ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මං බලාපොරොත්තු වෙනවා Molecular Biology and Biochemistry වලින්ම වැඩි දුර අධ්‍යාපනයට Phd එකකට apply කරන්න.

Q11: ඉගෙන ගැනීමේදි, පාඩම් කිරීමේදි භාවිතා කළ විශේෂ ඉගෙනුම් රටාවන් මොනවද?

මං එදිනෙදා දේවල් පාඩම් කරන method එක කළා. ඒ වුනාට මට ඒක හරි ගියේ නෑ. ඊට පස්සේ මං සාමාන්‍යයෙන් academic කාලේදී පාඩම් කළේ නෑ. ඊට පස්සේ study leave ඉඳන් තියෙන කාලෙ, තියන subject ගානෙන් බෙදලා, past papers කරන්නත් කාලය වෙන් කරගෙන එහෙම තමයි පාඩම් කළේ. ඒක ඊට වඩා ප්‍රතිඵල දායක වුණා.

Q12: මේ ගමන යන්න උදව් කළ අය ගැන මතක් කළොත්?

මුලින්ම කියන්න ඕනෙ අම්මයි, තාත්තයි ගැන. ශිෂ්‍යත්වය කරන කාලෙ ඉඳන්ම මාව ඉදිරියට ගෙනාවා. මම ශිෂ්‍යත්වට කළේ හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ. ඒතැන ඉඳලා ගාල්ල සවුත්ලන්ඩ් උසස් බාලිකා විදුහලට එන්න ප්‍රධානම හේතුව වුනේ අම්මගෙයි තාත්තගෙයි මහන්සිය. ඊට පසසේ O/L, A/L කාලෙත් අම්මගෙයි, තාත්තගෙයි කැපවීම. ඊට පස්සේ campus එකට ආවාම උදව් කළේ යාළුවො, lecturers ලා හැමෝම.

Q13: අවසාන වශයෙන් තවමත් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට දෙන්න තියන පණිවිඩය කුමක්ද?

මට මුණගැහෙන්නෙ ගොඩක් 3rd yearනංගිලා මල්ලිලා තමයි. එයාලගෙ තියන මතය තමයි දැනටමත් GPA එක අඩුයි කියලා කිසිම උත්සාහයක් ගන්නෙ නෑ. කොහොමත් අඩුයි කියලා එහෙමම ඉන්වා. එයාලට දෙන උපදේශය තමයි එහෙම හිතන්න ඕනේ නැහැ. තව අඩියක් හරි ඉස්සරහට යන්න, තියන කාලයත් එක්ක උපරිම කැපවීමෙන් වැඩ කළොත්, එයාලා හිතනවට වඩා දුරක් යන්න පුළුවන්. ධෛර්යයයි, ශක්තියයි, කැපවීමයි හැමදේම තියෙන්න ඕන.

බොහොම ස්තුතියි නාතාශා අක්කේ..

එසේනම් අපිත් නතාශා දුල්මි අක්කගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමින් ඇයට සමු දෙන්නෙමු..

සහාය – යශෝධ සොයිසා

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලීමා ජයසිංහ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment