සිත් තුල මෝදු වී ඇති අම රස කරුණා
වඩවයි සිත් තුල බුදු ගුණ ලොව සැමදා
විද්‍යාධර සිසුන්ගේ සිත් යොමු වීලා
සුපිරිත් දෙසුමකට ඔබ සැම එක් වේවා…
මේ දිනවල විද්‍යා පීඨ බිත්ති පුවරු වසා නෙත ගැටෙන කාව්‍යමය සුහද ආරාධනයක කොටසකි මේ. ඉගැනුමම පමණක් නොව ජීවිතයට නවමු අත්දැකීම් හා සමාජයට යහපත පිණිස කැපවන විශ්ව විද්‍යාල සිසුන් ගේ වෙහෙසින් සංවිධානය කෙරෙන වාර්ෂික පිරිත් පිංකම වප් මස 23 වන සිකුරාදා දින මැදියම පහන් වනතුරු පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
පිරිත වූ කලී ශබ්ධ රසයත් අර්ථ රසයත් එක ලෙස කැටි වූ තරංගාවලියකි.
බෞද්ධයන්ගේ පිංකම් අතරින් ප්‍රධාන තැනක් ගන්නා පරිත්‍රාණ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වන්නේ අපල උපද්‍රව දුරු කර ගැනීමත් සිත් සතන් වල පීඩා දුරු කර ගැනීමත්ය. නොයෙක් කැටයමින් අලංකෘත පිරිත් මණ්ඩපයක් තුළ ත්‍රිවිධ රත්නය වැඩ හිඳුවා පිරිත් සජ්ඣායනයෙන් පසු ආශිර්වාද ලබා ගැනීම අප බෞද්ධ සංස්කෘතියේ වැදගත් අංගයකි. බුදුන් දවස තෙක් දිවෙන ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පිරිත් පිංකම තවත් පරපුරක් වෙනුවෙන් රැක ගැනීමේ යුතුකම ඉටු කරමින් කොලඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨ පළමු වසර සිසු සිසුවියන් මේ මහඟු කාර්යයෙහි මූලිකත්වය දරති.
පිරිත් ශ්‍රවණය මෙන්ම දානමය පිංකමත් එක ලෙස වැදගත් නිසාවෙන්ම පසු දින හීල් දානයද විද්‍යා පීඨ සිසු සිසුවියන් අතින් මහා සංඝරත්නයට පිළිගන්වනු ඇතී.
ඉදින් වප් මස 23 වැනි දින BLT ශාලාවේදී රාත්‍රී 8.30 සිට පසුදා පහන් වනතුරු සිල් සුවඳත් දම් සුවඳත් එක ලෙස විහිදුවාලමින් සිදුවන මේ අසිරිමත් පිංකම සඳහා ඔබ වෙත පහන් සිතින් කෙරෙන ආරාධනයයි මේ.
Leave a Comment