විශ්ව විද්‍යාලය

කොළොම්පුර පිං බිමට නවකයින් ඇවිත්…

දහසකුත් චිත්ත සන්තානයේ
පෙරුම් පුරන්නා වූත්,
අල්පයක් වාසනාවන්තයන්ට පමණක්
උරුම වන්නා වූත්,
හුදෙක් උත්සාහය මත්තෙන් ම විවර වන්නා වූත්,
වාසනාවේ දොරඟුලු අභියස,
වසරකට හිමි වන්නා වූ,
සරසවි වරම් අභියස,
කොළොම්පුර පිං බිමේ,
සරසවි වරම් හිමිවනුයේ,
අතලොස්සක් වන්
අල්ප පිරිසකට ය.

එකී අතලොස්සක් වූ සරසවි ලාභීන් අතුරින්,
විද්‍යා පීඨ දොරගුළු විවර වනුයේ,
ඉතාමත් සුලුතර වූ ,
වාසනාවන්තයින් පිරිසකට ය.

කොළොම්පුර අහස යට කොලොම්පුරයට නවකයින් වන්නාවුන් මෙන් ම, එදා සිටම කොළඹ අහසට පෙම් බැඳි, කොළඹ අහස යට අකුරු කළා වූ සරසවි ලාභීන් රැසක්, මේ එක් රොක් ව රොද බඳිනුයේ, සිය දිවි මගේ, තවත් එක් ඇරඹුමක් සොයා යාමට ය.

සයවසක් සපිරුණු කුඩා ළදරුවන්, සිය මාපිය සුළැඟිල්ලේ එල්ලී, තම පළමු පා සැරිය පාසල් මාවත ඔස්සේ තබන්නේ යම් සේ ද සිය මා පියන් ද සමඟින් අද ඔවුන් පා තබනුයේ පාසල් මාවත පසුකර, සරසවි මාවත ඔස්සේ ය. ඒ එදාට වඩා වූ අභිමානයක් ද සිත් දරන් ය. එදාට වඩා වූ හීනයන් ද පොදි බැඳන් ය. එදාට වඩා වූ බලාපොරොත්තු රැසක් කර පින්නන් ය.

වසරක් පාසා විද්‍යා පීඨයේ මහ නුගේට නම් අද වන් දවසක් අරුම නොවන්නේ ය. නාඳුනන සිත් රැසක් එක් රොක්ව, දැන හැඳින, කතා බස් කරන දෙබස්, මහ නුගේට කට පාඩම්ව ඇතුවා නිසැකය. මුණ ගැසුණු මුහුණත් අතුරින් බොහොමයක් පාසල් මිතුරු මිතුරියන් ය. ඉන් සමහරක් අමතර පන්තිවල දැන හඳුන ගත්තවුන් ය. තවත් කිහිප දෙනෙකු සයිබර් අවකාශය තුල හමුව දැන හඳුන ගත්තවුන් ය. නමුත් මහ නුගේ යට වුන් බහුතරය නම් ප්‍රථම වරට දැන හඳුන කතා බස් කළ වුන් ය. එබැවින් හුවමාරු වන්නා වූ කතා බස් තොරතෝංචියක් නැතිව උපදින්නේ ය; පවතින්නේ ය; මියැදෙන්නේ ය. එසැණින් නවමු මං පෙතකින් තවත් කතාවක් ඇරඹෙන්නේ ය. නිමාවක් නැති කතාවන් මත්තෙන් තැනෙන්නා වූ මිතු දම් කතාවන් තුලින් දළු ලා වැඩෙන්නේ නවකයින් මිතුරන් බවට පත් කර අවසන ය.

ඉදින් ගතවන ඊළඟ හෝරා කිහිපයට පසුව නම් පැමිණ වුන් අතර තනිව පිය මනින්නවුන් දැක ගැනුම පවා අසීරු කටයුත්තක් වන්නේ ය. මන්ද යත් මහ නුගේ අතු යට මුණ ගැසුනු සබැඳියන් මහ නුගේ පසු කරනුයේ මිතුදම් පෙරටු කොට ගනිමින් පටලවා ගත් දෑත් සමඟින් වන බැවිනි. ඒ තවත් සිව් වසරක සමාරම්භය යි.

සරසවිය යනු නිතැනින් ම දැනුම් සම්භාරයක් එක්ව පවතින්නා වූ විශ්ව සාගරයකි.
නා නා විධ ක්ෂේත්‍රයන් රැසක ප්‍රවීණයන් මුණ ගැසෙන සොඳුරු බිමකි.
දක්ෂයින්ට අති දක්ෂයින් වන්නට මං පාදන්නා වූ හරි අපූරු නවාතැන්පොළකි.

ඉදින් නංගියේ මල්ලියේ, එවන් වූ පිං බිමක දැනුම සොයා යාත්‍රා කරලීම නුඹ සතු කර්තව්‍යයකි. සරසවිය යනු හුදෙක් නුඹට අවැසි මාර්ගෝපදේශකයා පමණක්ම බවත් නාවිකයා නුඹ ම විය යුතු බවත් පවසනුයේ එබැවිනි. නිවැරදි දිශානතිය ඔස්සේ රුවල නංවා, ඒ මත්තෙන් තම තම අභිලාෂයන් ඉලක්ක කොට ගනිමින්, තම තම සහජ කුසලතා ඔප් නංවා, සිය සිහිනයන් මල් ඵල ගන්වා ගනිමින් පැතූ මාවතේ ඔල්වරසන් නගන්නට එවිට ඔබට ද නිසැකයෙන් ම හැකි වනු ඇත.

ඉදින් සරසවියට නවකයිනි,
Colombo Beacon වෙනුවෙන් අපි ඔබව මේ උතුම් පිං බිමට සාදරයෙන් පිළිගනිමු.

එක්වන්න…
අපත් සමඟ…
සරසවියේ අසිරිය විඳිමු…
සිව් වසක් පුරාවට…
සහෘදයන් විලසින්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment