“ජයග්‍රහණය අභිබවා ගිය සහෘදත්වයක්…
නවක ජය ගොසින් ඇළලී ගිය සරසවියක්…”
කොළොම්පුර සරසවි මෑණියන්ගේ සෙවනේ වැඩෙමින්,
සරසවි මෑණියන් අභිමානය මුසු රන් මුවා කුසලානයන්ගෙන් සරසාලමින්,
ලෝකයා අභිමුඛ දැවැන්තයන් වී,
සරසවි නාමය ලෝ ගැබේ දිදුලවීම අරමුණු කොට,
කොලොම්පුර සරසවි මෑණියන් තුරුලට,
වසරක් පාසා එක් වන්නා වූ,
දහසක් නවකයින්,
තෙමසක් යාමට මත්තෙන්,
සහෘදයන් බවට පත් වීමේ ප්‍රධානතම සාධකය නම් කොළොම්පුර සරසවියේ නවකයින්ගේ ක්‍රීඩා සැණකෙළියයි.
ශාරීරික විද්‍යා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ ක්‍රීඩා සමාජයත් එක්ව, සත් පීඨයන් හා අනුබද්ධ ආයතන ත්‍රිත්වයේ එකමුතුවෙන් වාර්ෂිකව සංවිධානය කරන්නා වූ, නවකයින්ගේ ක්‍රීඩා සැණකෙළිය නොහොත් Freshers මෙවරත් වසර 2019ක් වූ ඉල් මස 26වන කුජ දින සවස් භාගයේ දී විශ්ව විද්‍යාලයීය නව කළා රඟහලේ දී අති උත්කර්ෂවත් වූ නිමාවක් සනිටුහන් කරවීය.
කොළඹ විශ්ව විද්‍යාලයීය උප කුලපති, ජේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මැතිණියගේ මුලසුනින් හා සම්භාවනීය ආරාධිත ආරාධිතයින් රැසකගේ ම සහභාගීත්වයෙන් ඇරඹි සමාප්ති උළෙල, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයීය හෙද පීඨ පීඨාධිපති, මහාචාර්ය දේවක වීරකෝන් මැතිතුමා විසින් උණුසුම්ව පිළිගැනුණි.
පුරා හෝරා ගණනාවක් පුරා නවක ජය ගොසින් ගිගුම් දුන් සමාප්ති උළෙලේ නිල සමාප්තිය ඒකාබද්ධ ක්‍රීඩා සමාජයීය සභාපති, ක්‍රිෂ්මාල් ෆර්නෑන්ඩෝ සොහොයුරාගේ තුති පිදුමින් සනිටුහන් විණි. පැමිණි සිටි සියල්ලෝම පුරා හෝරා කිහිපයම තම තම පීඨයන්ගේ මෙන්ම අන් පීඨයන්ගේ ද ජයග්‍රහණයන් වෙනුවෙන් ඔල්වරසන් නගමින් විශිෂ්ටයින් ඇගයුමට ලක් කළ අතර උළෙල අවසානයේ කොළොම්පුර සරසවි ඉතිහාස මතක පොතේ පිටු කිහිපයක් ම රන් අකුරින් ලියැ වී තිබුණි.
වර්ෂාරම්භයේ පුරා මසක් පවත්වන්නා වූ නවකයින්ගේ ක්‍රීඩා උළෙල, නොවැලැක්විය හැකි හේතු ගණනාවක් ම හේතුවෙන් මෙවර වර්ෂාවසානයේ සිය සමාප්තිය සනිටුහන් කළ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර වූ උණුසුමට නම් ඉන් අල්ප හෝ බලපෑමක් සිදුව නොපැවතුණි. වැටෙමින්, නැගිටිමින්, තම සොයුරු සොයුරියන් වෙනුවෙන් එකා මෙන්ව වෙහෙසෙමින්, තම තම පීඨයන් ජයග්‍රහණය කරා ගෙන යනු වස්, දිවා රෑ නොතකා, වෙහෙස අමතක කොට, සරසවි තණ නිල්ලේ ජය ටැඹට පෙර මං තැනූයේ අත්‍යන්තයෙන්ම තම පීඨයන් දිනවීමේ අභිලාෂයෙනි. එවන් වූ ප්‍රයත්නයන් දරා ලැබුනා වූ අත්දැකීම් නවක සරසවි සිසු චින්තනයේ නොමැකෙන සිතුවම් මෙන් චිත්‍රනය වී දිවි මගේ බාධකයන් ජය ගැන්මට දිරි මං වනු ඇති බව නිසැකය.
ඒකායන අරමුණ, රන් මුවා කුසලානය තම තම පීඨ සතු කර ගැන්ම වුවත්, තරඟාවලිය පුරාම නිල් තණ බිස්ස මත ඇති වුනා වූ ළබැඳියාවන් හේතුවෙන් නවකයින් සහෘදයන් බවට පත් වන්නේ සරසවි මෑණියන්ගේ සැබෑ අරමුණ මල් ඵල ගන්වමිනි. ප්‍රතිඵලය, සියල්ලන්ම එක්ව දක්ෂයින් අති දක්ෂයින් බවට පත් කර ළබැඳියන් දිනවීමයි. තරඟාවලිය පුරා රැඳී සිටි සැමට දැක ගත හැකි වූ සුපැහැදිලි සුවිශේෂී කරුණක් නම්, තම පීඨයන් මුල් පෙළ වටයන්ගෙන් ඉවත් වුවද අති දක්ෂයින් වෙනුවෙන් නැගි ඔල්වරසන් නාදයන් දක්ෂයින් ඉදිරිපත් වූ පීඨයන්ට පමණක් සීමා නොවුණු බවයි.
තරඟාවලිය පුරා පැවති සීත යුධ ගිණි කරණ කොට ගනිමින්, සමස්ථ ජයග්‍රහණය කිනම් පීඨය සතු වේ දැයි පුරෝකථනය, අවසානය වන තෙක්ම සියල්ලන්ටම දැවැන්ත අභියෝගයක් ම වූයේ ද දක්ෂයින් එක් පීඨයකට පමණක් සීමා නොවුණු නිසාවෙනි.
විද්‍යා පීඨය, පරිගණක විද්‍යනාංශය හා කළමණාකරණ පීඨය අතර වූ කරට කර තියුණු සටනේ ප්‍රථමයෙන් විද්‍යා පීඨය පෙරමුණ දැරුව ද, අවසන් මොහොත තුල සමස්ථ ශූරතාවය පරිගණක විද්‍යනාංශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තමා සතු කර ගන්නා ලද්දේ තරඟාවලිය තුල වූ අතිශය තරඟකාරිත්වයට මොනොවට නිදසුන් සපයමිනි. එබැවින් තරඟාවලියේ අනුශූරතාවය විද්‍යා පීඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු විණි. තෙවන ස්ථානය කළමණාකරණ පීඨය සතු වූ අතර සමස්ථ පිරිමි ශූරතාවය පරිගණක පීඨය සතු වුවත්, සමස්ථ කාන්තා ශූරතාවය තරඟාවලිය පුරාවටම තමා නතු කර ගැන්මට විද්‍යා පීඨ ක්‍රීඩිකාවන් සමත් විය.

සරසවි මෑණියන්ගේ සැඟවුණු අරමුණ නම් ඇය සාර්ථකව සාක්ෂාත් කර ගත් බවට කදිම නිදසුන් මෙතෙකැයි කිව නොහැකි තරම්ය. තරඟාවලි අතරතුර දී ආබාධිත ප්‍රතිවාදී ක්‍රීඩකයින් වෙනුවෙන් පවා කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේ මහත්මා ගතිගුණ විදහා දක්වමින් තම සොයුරා වෙනුවෙන් කැප වූ අවස්ථා Freshers පුරාවට දුලභ දසුන් නම් නොවී ය. මතකයේ රැඳෙනුයේ කුසලානයන් නොව, තැනෙන්නා වූ මිතුදම් බව සිය පිළිගැනුම් කතාවේදී වීරකෝන් මහතා ගෙන හැර දැක් වූ ලෙසින් ම අතීතාවර්ජනයෙන් රස මුසු කතා දස දහස් ගණනක් පෙළ ගැස්විය හැකි වන්නේය. එයින් බහුතරය ක්‍රීඩාවේ අත්දැකීම් හේතුවෙන් නවක මතකයේ තිර වූ සොඳුරු මතකයන් ය.
තරඟ බිම තුල මෙන්ම ඉන් එපිට භූමියේ ද කුසලානයන් වෙනුවෙන් දහසකුත් කැප කිරීම් රැසක් සිදු වෙමින් පැවතුණි. ඒ සියල්ල තිරය පිටුපස කතා වුවත් ඒ සියලු චරිතයන් ජයග්‍රහණයේ කුසලානයට උරුමකම් කියන්නා වූ මාර්ගයේ දිරි දුන්නා වූ දැවැන්ත පෞරුෂයන් බවත් අමතක නොකල යුත්තකි.
ජය කෙහෙළි නංවමින් දක්ෂයින් ඉස්මතු කරමින් රනින් දිලෙන කුසලානයනයේ ශූරතාවයට හිමිකම් කියූ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ අති දක්ෂයින්ටත්, අනුශූරතාවයේ උරුමකමරුවන් වී කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සොයුරු සොයුරියන්ටත්, සමස්ථ තරඟාවලිය තුල වාර්තා පිට වාර්තා තබමින් ජය බිමේ විශිෂ්ටයින් වූ සියලු ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අවසන Colombo Beacon අපි අපේ හද පිරි හෘදයාංගම සුභාශිංසන තුටු සිතින් පුද කරමු. දක්ෂයින්ට අවැසි වන්නේ ජය මගේ නැගෙන ඔල්වරසන් හඬ පමණි. අපේම සහෘද හදවත් වෙනුවෙන් මේ එක් කරනුයේ Colombo Beacon හදවත්වල රැව් පිළිරැව් දෙන්නා වූ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් මුසපත් වූ ඒ ඔල්වරසන් හඬ යි.
සැමට ජය!!!
Leave a Comment