විශ්ව විද්‍යාලය

ගං වතුරෙන් පීඩාවට පත්වූවන්ට සරණක් වන්නට කොළඹ විශ්වවිද්‍යාලය අත්වැල් බැඳගනී..

වැස්ස..

මේ ලක් දෙරණ මත පතිත වන්නට මෙවර බොහෝ කල් ගත්තේය. එහෙත් ඒ වැස්ස මෙවර ලක්දෙරණට ගෙනාවේ දුක් සෝ සුසුම් බොහොමයකි.

      ඇති නැති පරතරය ලොකු කුඩා මිනිසුන්,සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ටම එකට එකතු වෙන්නැයි පණිවිඩයක් සමඟ වැහි දිය මහා දිය කඳක් වී මදි නොකියන්ට ගැලුවේය. තට්‍ටු ගෙවල් මෙන්ම යන්තම් හෙවිලි කල පැල්පත් ද එක ලෙසම ජලයෙන් යටවී ගියේ මහ ජල කඳට ඔක්කොම මිනිසුන් පමණක්මයැයි පෙන්වමිනි. අහිංසක මිනිසුන් වෙසෙන ගමක්ම යට කර අරණායක සාමසර කන්ද නාය යද්දී මියගිය ඔවුන් වෙනුවෙන් කඳුලක් නොනැගුනු ඇසක් ලක් පොළොව මත නැති තරම් විය. ගංවතුර නිසා උන්හිටි තැන් අහිමිව වැලපෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් උණු නොවූ හදවතක්  මේ දෙරණ මත නොමැති තරමි.

  වැස්ස එක සීරුවට අඩු නැතුව දින ගණනක් ඇද හැලෙද්දි මේ විනාසයෙන් රට ආරක්ෂා කරදෙන්නයි බොහෝ අය දෙවියන් යදිද්දී අවතැන්ව කඳුලු සැලූ මිනිසුන් වෙනුවෙන් කාරුණික හදවත් ඇති දේව දූතයන් සිය ගණනක් එක පෙලට සැදී පීඩාවට පත් වූ ප්‍රදේශ කරා ඇදුනහ .ඒ දෙවිවරුන්ට රන් සළු පිළි නැත,ඒ දෙවි වරුනට සිතූ පැතූ සම්පත් නැත ඇත්තේ අව්‍යාජ මිනිසත්කම ම පමණි.ඔව් ඔවුන් මනුෂ්‍යයෝය.මිනිසත්කම හඳුනාගත් මනුෂ්‍යයෝය.

      විවිධ සංගම් හා ආයතන නියෝජනය කරමින් අවතැන් වූවන් වෙනුවෙන් ආහාර,අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය,පානීය ජලය හා ඖෂධ වර්ග දසතින්ම පීඩාවට පත් දිස්ත්‍රික්ක වෙත ගලා ආවේ ලාංකිකයන්ගේ පරිත්‍යාගශීලීත්වය ලොවටම පෙන්වා දෙමිනි.

      මේ අසීරු කාලයේ අසරණ වූ සහෝදර ලක් වැසියන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය මඟින් ද තම යුතුකම් ඉ‍ටු කරනුවස් වතුර බෝතල්,බිස්කට් පැකට්,ක්ෂණික නූඩ්ල්ස්,වියළි ආහාර ද්‍රව්‍ය,ඇඳුම්,බෙහෙත් ද්‍රව්‍ය,සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ මනුසත් දෙරණ සඳහා දිවා ආහාර පාර්සල් 100ක් විද්‍යා පීඨයේ සියළුම වසර වල සිසු සිසුවියන්ගේත්,විද්‍යා පීඨයේ සියලු දෙපාර්තමේන්තුවලත්,පරිගණක විද්‍යායතනයේ ශිෂ්‍ය සංගමයේත්,විද්‍යාල මන්දිරයේ සේවයේ නියුතු සියලු දෙනාගේත් සහයෙන් බෙදා දෙනු ලැබීය.

මෙම කර්තව්‍යයේදී මූලිකත්වය ගෙන කටයුතු කලේ විද්‍යාපීඨයේ  Rotaract සංවිධානයColombo Beacon සංවිධානයStudent’s computer loungeLibrary lounge සහ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයයි.

හිත්පිත් නැති ගංවතුරට වඩා එකමුතුකම බලවත් ය. ඉතින් නන් අයුරින් මේ මහඟු කාර්යයට උර දුන් ඔබ සැමට තුති.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අක්ෂිලා අනුරංගි

විද්‍යා පීඨය - උපාධිධාරීනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment