දැනුම

ගණිතයෙන් යුධ වැදුණු මහා ගණිතඥයා

යුද්ධයක් අවසන් කරන්න ගණිතඥයෙකුට පුලුවන්ද? ඔව් පුලුවන්, එහෙම තමන්ගේ හැකියාව භාවිත කරල විශාල ජීවිත ප්‍රමාණයක් බේරාගත් පුද්ගලයෙක් තමයි ඇලන් ටියුරින් කියන්නේ… වරක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් වුණ වින්ස්ටන් චර්චිල් විසින් දෙවන ලෝක යුද්ධයේ නිමාවට තනි පුද්ගලයකු ලෙස විශාල බලපෑමක් කළ පුද්ගලයා ලෙස ඇලන් ටියුරින් හඳුන්වනු ලබනවා.

ඇලන් මැතිසන් ටියුරින් එහෙම නැත්නම් ඇලන් ටියුරින් 1912 වසරේ ජුනි මස අද වැනි දිනක බටහිර ලන්ඩනයේ ජුලියස් මැතිසන් ටියුරින් හා ඊතල් සාරා ටියුරින් යන දෙපළට දාව  මෙලොව එළිය දකිනවා. වයස අවුරුදු 6දී St michael’s පාසලට ඇතුළත් වන මොහු එයින් මූලික අධ්‍යාපනය ලබනවා. ඉන් අනතුරුව Hazelhurst ආරම්භක පාසලෙන් අධ්‍යාපනය ලබන මොහු 1926දී ෂර්බෝන් වෙළඳ නගරයේ ඇති ෂර්බෝන් පාසලට ඇතුළත් වී අධ්‍යාපනය හදාරනවා. කුඩා කල සිටම ගණිතයට ඇල්මක් දක්වන ඇලන් පාසලේදී කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. නමුත් ඇලන්ගේ මෙම ක්‍රියාකලාපයට ෂර්බෝන් පාසලේ ඇතැම් ගුරුවරුන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් ඔහු තමා සිත්ගත් විෂයන් හැදෑරීමත් ඒවා පිළිබඳ දක්ෂතාවයත් දිගටම පෙන්නුම් කළේය. 

ෂර්බෝන්හි අධ්‍යාපනයෙන් අනතුරුව කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වන මොහු එයින් ගණිතය පිළිබඳ ප්‍රථම පෙළ ගෞරව උපාධියක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව ඇමරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමට 1938 දී සමත් වෙනවා. 1936 දී ඇලන් විසින් එවකට ප්‍රකට තාර්කිකයෙකු වුණ ඇමෙරිකානු ජාතික අලොන්සෝ චර්ච්  විසින්  ඉදිරිපත් කළ සිද්ධාන්ත හා ඊට එහා ගිය දියුණු සිද්ධාන්ත ඇතුළත් කරමින්  නිබන්ධනයක් නිකුත් කරනවා. එහි සංකල්පයන් භාවිත කරමින් මොහු 1936 දී නිර්මාණය කරන ලද ටියුරින් යන්ත්‍රය වර්තමාන පරිගණක තාක්ෂණයේ මූලික අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

ඉන් අනතුරුව ඒකාධිපති හිට්ලර්ගේ ක්‍රියා කලාපය නිසා ලෝකයට අඳුරු යුගයක් උදා කරමින් දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. මේ කාලයේදී හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් යුධමය පණිවිඩ හුවමාරු කිරීමට භාවිත කළේ එනිග්මා නම් යන්ත්‍රයයි (Enigma machine). එම පණිවිඩ හරියාකාරව දැන ගැනීමට නොහැකි වූ නිසා බ්‍රිතාන්‍යය මේ කාලයේදී ජර්මනිය අතින් ප්‍රහාරයට ලක් විය. මුලින් පෝලන්ත ජාතික ගණිතඥයින් පිරිසක් එය විකේතනය කළද නාසීන් විසින් එහි සැකැස්ම වෙනස් කිරීම නිසා එය සාර්ථක නොවීය. යුද්ධයේ ආරම්භයත් සමඟ ඇලන් හට බ්ලෙච්ලි පාර්ක් (Bletchley park) හි පිහිටා තිබූ බ්‍රිතාන්‍ය කේතාංක පාසලේ යුධ මූලස්ථානයට මාරුවීමක් ලැබෙනවා. එහි සේවය කරන කාලයේදී ටියුරින් විසින් එනිග්මා කේතයන් විකේතනය සඳහා බොම්බේ යන්ත්‍රය නමින් යන්ත්‍රයක් නිපදවනු ලබනවා. එම යන්ත්‍රය භාවිත කරමින් නාසි රහස් පණිවිඩ විකේතනය කිරීම නිසා ඉතා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලබුණා. 

යුද්ධයෙන් අනතුරුව 1945 – 1947 කාලයේ ඔහු ලන්ඩනයේ හැම්ටන්හි වාසය කළ අතර එම කාලයේදී ACE (Automatic Computing Engine) සැලසුම් කිරීම සම්බන්ධයෙන් NPL (National physics Laboratory) සමඟ කටයුතු කළේය. ඉන් අනතුරුව 1948 දී මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ මොහු 1949 දී එම විශ්ව විද්‍යාලයේම පරිගණක යන්ත්‍ර විද්‍යාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බවට පත් වුණා. ඒ අතර කෘතීම බුද්ධිය පිළිබඳව ඇල්මක් දැක්වූ මොහු ඒ පිළිබඳව පර්යේෂණද විශාල සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. කෘතීම බුද්ධිය සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ පුද්ගලයා වශයෙනුත් ඇලන් ටියුරින් හඳුන්වන්න පුලුවන්. කෘතීම බුද්ධිය හඳුනා ගැනීම සඳහා ටියුරින් පරීක්ෂණයද මොහු විසින් හඳුන්වා දෙනු ලැබූවක්. 

1952 දී ඇලන්ගේ නිවස මංකොල්ලකෑමකට ලක්වෙනවා. එම සිදුවීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයා හා ඇලන් අතර සම්බන්ධතාවක් පවතින බව තහවුරු වෙනවා. එහිදී පොලීසිය විසින් ඇලන් සමරිසි පුද්ගලයෙකු වශයෙන් හඳුනා ගන්නවා. එවකට බ්‍රිතාන්‍යයේ නීතිය අනුව සමරිසි භාවය නීතිවිරෝධී බැවින් ඇලන්ට එයට දඬුවම් වශයෙන් හෝමෝන ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය නියෝග කරනවා. මාස 12ක් පමණ හෝමෝන ප්‍රතිකාර වලින් අනතුරුව නැවත තම වැඩකටයුතු වල නිරතවීමට ඇලන් ටියුරින් සමත් වෙනවා.

නමුත් 1954 ජුනි මස 7වෙනිදා මෙම මහා ගණිතඥයා සයිනයිඩ් විෂ ශරීරගත වීමක් නිසා මරණයට පත් වෙනවා. මොහුගේ මරණය මත භේදයට තුඩු දුන්නද මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ මෙය සියදිවි නසාගැනීමක් බවයි. හෝමෝන ප්‍රතිකාර නිසා ඔහුගේ මානසිකත්වය වෙනස් වී මේ සඳහා පෙළඹෙන්නට ඇති බව විශ්වාස කරත් ඔහුගේ සමීපතමයන් පැවසුයේ ඔහු හොඳ මානසික මට්ටමකින් සිටි බවයි.  ඇලන් ටියුරින් විෂ ඇතුළත් කර අඩක් ආහාරයට ගත් ඇපල් ගෙඩියට අනුව ඔහුට උපහාර වශයෙන් ලොකප්‍රකට ඇපල් සමාගමේ ලාංඡනය නිර්මාණය වී ඇති බව ඇතමුන් පැවසුවත් එය නිල වශයෙන් තහවුරු කර නෑ… පසුව ඇලන් ටියුරින්ට තිබූ චෝදනා ඉවත් කරමින් හා ඔහුට බ්‍රිතාන්‍ය රජයෙන් සිදු වූ අසාධාරණයට ඔහුගෙන් සමාව අයදිමින් 2009 දී බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයක් නිකුත් කරනවා. “නූතන පරිගණක විද්‍යාවේ පියා” ලෙස විරුධාවලි ලත් ඇලන් ටියුරින්ගේ අකල් වියෝව නිසා සිදු වූ පාඩුව අදටත් කියා නිම කරන්න බැහැ. 

Design by – Shanaka Vishwantha

 

Reference :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යොහාන් බුද්ධික

පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment