” දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා… අම්මා… අම්මා… “
අම්මා එසේත් නොමැති නම් මව යන උත්තරීතර අකුරු කිහිපය කිරි දරුවකුගේ මනසේ පැළපදියම් වන පළමු අරුතයි. මෙලොව එළිය දුටු දා පටන් බිළිඳු මනසේ රැඳෙන්නේ ඇයගේ රූපයයි. ඇයගේ සිනාහඬයි. ඇයගේ නැළවිලි ස්වරයයි. සැබැවින්ම සිතා බලන විට ඒ රූපයට ඒ හඬට අප මියෙන තුරුම අපේ හදවතෙහි ඉඩකඩ වෙන්වන්නේ අපත් නොදැනුවමය. එයම නොවෙද මව් සෙනෙහසේ ආශ්චර්යය!!
දස මාසයක් කුස තුළ හොවා හිඳ ගැහැණිය දරුවකු මෙලොවට ප්රසූත කිරීමට ලොව ඇති දුෂ්කර ම වේදනාව විදින්නේ උත්තරීතර දරු සෙනෙහස නිසාවෙනි. මෙලොව එළිය දකින කිරි සුවඳැති බිළිඳා දුටු පමණින් තම ලෙය වුවද කිරට හැරවිය හැකිවන්නේ අප්රමාණ දාරක ස්නේහය නාමයෙනි. සිය දෝතට ගත් මොළකැටියා දුටු වනම ඇයගේ සිතේ නැගෙන්නේ නිම් හිම් නැති ස්නේහය පිරුණු ප්රීතියකි. එතැන් පටන් ඇය මවන්නේ තම දරුවාගේ අනාගතයයි. කෙමෙන් කෙමෙන් උස් මහත් වන තම දරුවා දෙස ඇය බලන්නේ මෙලොව ලැබූ විශාලම ජයග්රහණය ලැබූ සේ කඳුළු පිරි දෙනෙතිනි. මව් සෙනෙහස නම් එලෙසය. කුඩා අවධියේ සිටම නැණ ගුණදමින් දරුවන් පෝෂණය කරන ඇය අප කොයි කාගෙත් මුල් ගුරුතුමිය වන්නේමය. සිය දරුවන් සමාජයේ යහපත් නැණවත් පුරවැසියන් කිරීමට ඇය නොගන්නා උත්සාහයක් නොමැත.ඒ දිරි ගමනේ දරුවාගේ පසුපස සෙවනැල්ලක් මෙන් නිරන්තර සහයෝගය ලබා දෙන ඇය ජීවිත ගමනේ හමුවන සුළි සුළං චණ්ඩමාරුත ඉදිරියේ මහා පවුරක් මෙන් නැගී සිටින්නේ මවකගේ ආදරය මොනවට කියාපාමින්ද!
සිය දරුවාගේ සතුටේදී මහ ඉහළින් සතුටු වන ඇය පුංචි දුකකදී පවා සිත ගත සනසන මාහැඟි ඔසුවක් වන්නේ ය. තම ලේ කැටියා මෙලොවට දායාද කළ දා පටන් මහමෙරක් වන් බර දිවිය පුරා උසුලමින් දරු පැටවාට මල් වියන් පිරි සුර මාවතක් තැනීමට සිය හද ගැස්ම, සුසුම් පොද දරු සෙනෙහස වෙනුවෙන් කැප කළ ඇයට අපි මේ දිවි කතරේ පිය මනින තුරාවට අපි ණයගැති වෙමු.
මේ උතුම් වූ මාතෘ ස්නේහයේ වර්ග කිරීම් නොමැත. කුල මල ජාති ආගම් භේදයකින් තොරව ඇති නැති භේදයකින් තොරව මවක් සිය දරුවාට සහ අනෙකුත් සියලුම දරුවන්ට දක්වන්නේ කිසිදා නොවෙනස් වන එකම ආදරයකි.
ඉදින්, මාතෘ සෙනෙහස යනු දරුවකුට ලැබිය හැකි ප්රබලම ශක්තියක් සේම උතුම් ම ආශිර්වාදයක් නොවන්නේ ද?. තම දරුවන් රජුන් විරුවන් වී නෙක නෙක ඉසව් හි ජය කෙහෙළි නංවන්නට පෙර මං තනන තම නිවන් මග පමා කොට මව් සෙනෙහස නම් උත්තරීතර හැඟීම එදත් අදත් ඉදිරියටත් මොලොව ජීවමාන කිරීමට වෑයම් දරන සියලු මව්වරුන්ට සදා නමස්කාරය වේවා.🙏🙏🙏
Leave a Comment