Colombo Beacon දැනුම

ගනඳුරක් නිවාලන එළිය සත් සඳක…සහිත අඹරට පිදූ ඔහුයි ‘කරුණාතිලක’…

“ඔබව වඩාත්ම හොඳින් ශ්‍රී ලාංකිකයෙකු බවට පත් කරනුයේ ඔබේ පියාගේ වාසගම හෝ ඔබ දණින් වැඳ වැටෙන ශුද්ධස්ථානය හෝ ඔබේ බිය ලොවට සැඟවීමට ඔබේ මුහුණේ තවරා ගත් බදාම සිනහව හෝ නොවේ.

   අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට ඔබව ශ්‍රී ලාංකිකයකු ලෙස දැනෙනවා නම්, ඔවුන් ඔබ ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුනා ගන්නවා නම් අන්න එතනයි ඔබ සැබෑවටම ශ්‍රී ලාංකිකයකු වන තැන…”

   -Sinhala Idea from The Seven Moons Of Maali Almeida by Shehan Karunatilaka-

සැබැවින්ම ඔහු අපේ කෙනෙක්. ඔහුගේ සිනහවෙන්, ඔහුගේ විවේචනාත්මක වදන් වලින්, ඔහුගේ හැඟීම්බර කටහඬින් ගලා එන්නේ ශ්‍රී ලාංකේයත්වය නොවේ නම් “The Seven Moons Of Maali Almeida” කිසිදිනෙක බිහි නොවනු ඇතැයි මම විශ්වාස කරමි.

2022 වසරේදී The seven moons of Maali Almeida වෙනුවෙන් මෑන්බුකර් (The Booker Prize) සම්මානය දිනා අබිමන් ලැබුයේ ඔහුය. ඔහු නමින් ශෙහාන් කරුණාතිලක ය. සුවහසක් පීඩිත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සෙනෙහසේ මාත්‍රා වචන කර, ලොව හොඳම ගත්කතුවරයා බවට පත් වූ ඒ නොදුටු ලේ නෑයා පිළිබඳව සත්මුහුදකට එහා සිටිමින් colombo Beacon වෙනුවෙන් මෙසේ මාගේ සුභාශිංසන අකුරු කරන්නෙමි.

ගත්කතුවරුන්ට වැදුම්ගෙය වන් දකුණුලක ගාලු පුරවරයේ දී 1975 වසරේ උපත ලබන ෂෙහාන් කරුණාතිලකයන් හැදී වැඩෙනුයේ කොළඹ ප්‍රදේශයේ ය. තම පාසල් අධ්‍යාපනය කොල්ලුපිටිය සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් සහ වැන්ගානුයි කොලීජියට් පාසලෙන් ලබා සිය උසස් අධ්‍යාපනය උදෙසා නවසීලන්තය බලා යන ඔහු ලේඛනය, ක්‍රීඩාව, සංගීතය මෙන්ම ජනමාධ්‍යවේදය සම්බන්ධව ද මනා ඇල්මක් දක්වන ලදී. විශ්ව විද්‍යාලයේ දී  ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳව තවදුරටත් හදාරමින් ස්වකීය ලේඛන කෞශල්‍යයන් වර්ධනය කරගන්නා ඔහු 2000 වසරේ සිට නිල වශයෙන් ලේඛන කලාවට අවතීර්ණ වන ලදී. එම වසරේදීම ඔහුගේ The painter අත්පිටපත Gratiaen ත්‍යාග ලැයිස්තුවට ඇතුළත් වුව ද එය කෘතියක් ලෙස ප්‍රකාශයට පත් නොවිණි.

ශෙහාන් කරුණාතිලකයන් ලේඛකයෙකු වශයෙන් පෙනී සිටිනුයේ සමාජයේ බහුතර අවධානයට නතු නොවන මිනිසුන් සහ සංසිද්ධීන් වෙනුවෙනි. සමාජ දේහයට අමතක වී යන විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන්, බීමත් වයසක මිනිසුන්, යුධ සමයේ දී කැමරාවන් අත දරා යුධ බිමට අවතීර්ණ වූ යුධ ඡායාරූප ශිල්පීන්, කාල සංචාරකයන් වෙනුවෙන් ඔහුගේ පෑන වඩාත් යොමු විය.

නවකතා රචකයෙකු, කෙටිකතා රචකයෙකු, ක්‍රීඩා විචාරකයකු, දේශපාලන විචාරකයෙකු ලෙස පමණක් නොව චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, සංගීතඥයෙකු, රොක් ගීත නිර්මාපකයකු වශයෙන් එකිනෙකට වෙනස් වූ ක්ෂේත්‍ර ගණනාවක තම කුසලතා විශද කරවමින් සාර්ථකත්වයට පත් වී ඇති කරුණාතිලකයන් වෙළඳ දැන්වීම් රචනය සම්බන්ධයෙන් ද වසර විස්සකට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි.

BBH, Facebook, Iris, Havas, McCann, BBDO, Grey, Bates, JWT වැනි ලොව ප්‍රකට ආයතන සඳහා ඔහු වෙළෙඳ දැන්වීම්, අත්පත්‍රිකා, වෙබ් අඩවි දැන්වීම් ආදිය නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීනව මහත් ආන්දෝලනයට ලක් වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය අළලා නිර්මාණය වන්නට නියමිතව තිබුණු The 800 චිත්‍රපටයේ ද තිරපිටපත් රචකයා අප කතානායක ශෙහාන් කරුණාතිලකයන් ය.

The seven moons of Maali Almeida යනු, ඔහුගේ සම්මානනීය විජයග්‍රාහී කෘතියයි. මෙම කෘතිය ‘Sort of Books’ සමාගමේ ප්‍රකාශනයකි. ඇතැම් උපහාසාත්මක දැක්වීම් ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්පරිච්ඡේදය බවට පත්වෙමින් දශක තුනක කාලයක් පුරා විහිදී ගිය සිවිල් යුධමය වතාවරණය අළලා ලියැවුණු මෙම කෘතිය අධි යථාර්ථවාදී රීතියට අනුව ලියවුනකැ’යි විචාරකයෝ මත පළ කරති. මෙහි කතානායකයා වන Maali Almeida නොහොත් මලින්ද ඇල්බට් කබලාන යනු, ජාතීන් දෙකක සම්මිශ්‍රණයක් ලෙස උපත ලැබූ 90 දශකයේ යුධ සමයේ මියගිය යුධ ඡායාරූප ශිල්පියෙකි. කතාව ආරම්භයේ දී ඔහුගේ කැබලි වූ සිරුර බේරේ වැවේ ගිලෙමින් පවතී. තමා මරා දැමුවේ කවුරුන්ද යන්න පිළිබඳව මාලි අල්මේදාගේ ආත්මයට අදහසක් නැත. ඔහු ජීවත්ව සිටියදී සූදු ක්‍රීඩාවේ නියුක්තව සිටි අයෙකු වූ අතර ගැහැනියක් සමග මෙන්ම එක් පිරිමියෙකු සමග ද ආදර සම්බන්ධතාවයක් ගෙන ගිය තරමක ගුප්ත ගණයේ චරිතයකි. මේ ඔහුගේ ප්‍රයාසය ඉදිරි දිනයන්හි රැයෙහි පායන සඳ හතක් තුළ තමා වඩාත් ආදරය කළ මොවුන් දෙදෙනා තමන් ළඟට ගෙන්වා ගැනීමයි.

මෙම ප්‍රබන්ධය දිව යන්නේ ඒ හරහා ය. ශෙහාන් කරුණාතිලකයන්ගේ අදහස වනුයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වඩාත් විඳවන ලද්දේ දැනට ජීවත්ව සිටින පුද්ගලයන් නොව සිවිල් යුද්ධයේ අනර්ථකාරී ප්‍රතිඵල ලෙස මිය ගිය අය බවයි. එනිසා තම කෘතිය රචනා කිරීමට මිය ගිය පුද්ගලයන්ගේ ආත්ම කථනයන් යොදා ගත් බැව් ඔහු සඳහන් කරයි. කෙසේ වුව ද එය සුලභ අත්දැකීමක් දුලබ නිරීක්ෂණාක්ෂියකින් දුටු නිර්මාණයකි. මෙම විශිෂ්ට ගණයේ සම්මානයට හේතුව වන්නේ ද එයම යැයි මාගේ අදහසයි.

මෑන් බුකර් සම්මානය සෑම වසරකම පාහේ පිරිනැමෙන අතර එංගලන්තයේ ප්‍රකාශයට පත් වන ඕනෑම කෘති ප්‍රවර්ගයකට එය හිමි කර ගැනීමේ හැකියාව පවතී. මෙවර ද මෙම නවකතා අංශය උදෙසා ප්‍රබල තරගයක් පැවැති අතර, Balawayo, Alan Garner වැනි රචකයන්ගේ කෘති ද සම්මානයට නිර්දේශ වී තිබුණි. එහෙත්, අවසානයේ දී තීරක මණ්ඩලයේම සමස්ත අවධානය තමා ගෙන එන ප්‍රබල අත්දැකීම වටා නතු කරගනිමින් 2022 ඔක්තෝබර් මස 18 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 01:45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර Roundhouse ශාලාවේ දී 2022 නවකතා අංශයේ මෑන් බුකර් සම්මානය වෙනුවෙන් පිදුම් ලැබීමට The Seven Moons Of Maali Almeida කෘතියට හැකි විය. මෙම ජයග්‍රහණයත් සමඟ මුදලින් බ්‍රිතාන්‍ය පවුම් පන්දහසක් ($56000) සම්මානලාභී ශෙහාන් කරුණාතිලකයන්ට හිමි විය.

The Seven Moons Of Maali Almeida  යනු, ඔහුගේ දෙවන කෘතියයි. මීට පෙර ස්වකීය කුළුඳුල් කෘතිය ලෙස ප්‍රකාශයට පත් වූ Chinaman (චයිනාමන්) හෙවත් The legend of pradeep mathew ද සම්මාන කිහිපයක්ම ලැබූ කෘතියකි. ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියැවුණු දෙවන හොඳම නවකතාව ලෙස ද චයිනාමන් විචාරක පිළිගැනීමට ලක් වේ. 

‘ශෙහාන් කරුණාතිලක’ ඔහු සැබැවින්ම විශිෂ්ටයෙකි; සුවහසක් ලෝක පාඨකයන්ගේ අවධානය එක රැයින් තමා වෙත නතු කර ගත් අයෙකි; 1992 වසරේ දී The English Patient වෙනුවෙන් බුකර් සම්මානය ලැබූ මයිකල් ඔන්ඩච්චිට පසුව ශ්‍රී ලංකාවට දෙවන බුකර් සම්මානය දිනා දුන් විශිෂ්ට ශ්‍රී ලාංකේය පුත්‍රයෙකි.

මෙම සම්මානය එංගලන්තයේ අභිනව මහ රැජින කැමිලා පාකර්ගේ සුරතින් ලබා, ෂෙහාන් කරුණාතිලකයන් විසින් සුවහසක් ලෝක ප්‍රජාව ආමන්ත්‍රණය කළේය. එය සජීවීව බීබීසී රේඩියෝ (BBC Radio) සේවයෙන් විකාශනය වන අතරවාරයේ දී ඔහු ස්වකීය දේශවාත්සල්‍යය ලොවට කියා පෑවේ සිංහල හා දමිළ මාධ්‍යයෙන් ද තම කෙටි ස්තුති දේශනය හරහා උත්සව සභාව අමතමිනි. ඔහු එහි දී පවසන ලද අදහසක් පාදක කර ගනිමින් මාගේ සටහන නිමා කරමි.

“Maali Almeida තව කාලයක් යනකම් bookshops වල ගන්න තියේවි. නමුත් අපි පරණ සිද්ධි වලින් පාඩම් ඉගෙන ගනී ද කියන එක නම් sure කරන්න අමාරුයි.”

මේ ඔහු අමතනුයේ අපවයි. එනම් ශ්‍රී ලාංකේය ඔබ සහ මමයි…!

ලොවක් සෘණ පක්ෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරන සමයක ශෙහාන් කරුණාතිලක විසින් අපේ රට පිළිබඳව ධනාත්මක ලෙසින් සිතන්නට ලොවට කතාවක් ලියා ඇත. ඒ විශිෂ්ට කතාන්දරය වෙනුවෙන් නැවතීමේ තිත තබනවාද, නැතිනම් එය කොමාවකින් දිගු කරනවාද යන්න ඔබට, මට භාරය.

2022 මෑන් බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලකයානනි, ඔබට සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන්ම මාගේ හද පිරි සුභාශිංසන මෙසේ එක්කරන්නෙමි. ඔබට සදා ජය…!

දිනිති නවෝද්‍යා සුදුසිංහ
දෙවන වසර
ශාස්ත්‍ර පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිනිති නවෝද්‍යා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment