දැනුම

ගම්මිරිස්

Covid -19 හෙවත් corona වෛරසය හේතුවෙන් මුලු මහත් ලෝකයම පාහේ මේ වන විට අකර්මණ්‍ය වී ඇති ආකාරය අපට පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවද එම අවධානමට මුහුණ පා ඇති රටක් වශයෙන් මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් ද පාසල් , විශ්වවිද්‍යාලයයන් වසා දමමින්ද , රාජය හා පෞද්ගලික ආයතන වල නිවසේ සිට වැඩ කිරීමේ කාලසීමාවක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ. එබැවින් පවුලේ සාමාජිකයින් සියලුදෙනාම පාහේ නිවෙසට වී කාලය ගතකරන කාලසීමාවක් ලෙසද මෙය හැඳින්විය හැක. එබැවින් මෙම කාලසීමාව ඔබගේ නිවසේ ගෙවත්තක් වගා කිරීමට හොඳම කාලය ලෙස සටහන් කිරීම වරදක් නොවේ.
ඒ නිසා ගෙවත්තක පහසුවෙන් වගා කරන්න පුළුවන්, ඒ වගේම හොඳ දේශීය වෙළඳපොළක් සහ හොඳ අපනයන වටිනාකමක් තියන, එදිනෙදා මුළුතැන්ගෙයට නැතුවම බැරි වටිනා කුළුබඩු වර්ගයක් වන ගම්මිරිස් ඔබේ ගෙවත්තෙ වගා කරන්නෙ කොහොමද වගේම ගම්මිරිස් වල වටිනාකම ගැන අපි පොඩ්ඩක් හොයල බලමු.

ගම්බද ප්‍රදේශයක කුඩා ඉඩමක පවා ගම්මිරිස් වැල් කිහිපයක් අපිට දකින්න පුළුවන්. මේ වන විට හොඳට පැසුණු අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 400ත් 425 ත් අතර අගයකට වගේම වියළි ගම්මිරිස් කිලෝ එකක මිල රුපියල් 1200ත් 1500ත් අතර අගයකට විකිණිය හැකියි. ඉදුණු පොතු ඉවත් කරපු ගම්මිරිස් කිලෝ එකක මිළ රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක වෙනවා. ඒ වගේම විදෙස් වෙළෙඳ පොළේ ද ඉහල මිලකට මෙම ගම්මිරිස් අලවි වෙනවා.

දැන් අපි බලමු ගම්මිරිස් වගා කරන්න කොහොමද ක්ෂේත්‍රය සකසාගන්නෙ කියලා. මේ සඳහා මුලින්ම හොඳින් හිරු එළිය වැටෙන , හොඳ ජලවහනයක් තියන ප්‍රදේශයක් තෝරාගෙන මතුපිට තියන වල් පැළෑටි ආදිය ඉවත් කරගන්න ඕනි. ඊටපස්සේ අපිට පුළුවන් ගම්මිරිස් වලට සුදුසු ප්‍රමාණයෙන් ක්ෂේත්‍රයේ වලවල් සකස්කරගන්න. මේ සඳහා නිර්දේශිත ප්‍රමාණය විදිහට දැක්වෙන්නෙ උස ×පළළ× ගැඹුර පිලිවෙලින් අඩි 1.5×1.5×1.5 ප්‍රමාණයෙන් කපාගන්න වළක්. ඒ වගේම වළවල් කපාගන්න පරතරයත් අඩි 8 ක් වෙන්න ඕනි. ඒ වගේම වැදගත් කරුණක් තමයි වළ කපනකොට ගොඩට දාගන්න පස් වලින් මතුපිට පස් ටික විතරයි අපි ආයෙත් වළ පුරවන්න යොදාගන්නෙ. ඒ වගේම වළකට ගොම , කොම්පෝස්ට් 12kg එක්ක රොක් පොස්පේට් 100g පුරවන්න ඕනි.

ඊටපස්සේ වැදගත්ම කාරණාව තමයි පැළ හිටවන්න මාස තුනකට හෝ හයකට කලින් මේ වළවල් වල ගම්මිරිස් වැල් වලට ආධාරයක සපයන්න ග්ලිරිසීඩියා දඬු හිටවන එක. මේ දඬු වළෙහි හරි මැදින් සිටවන්නෙ නෑ. කෙළවරකින් තමයි සිටවන්නෙ. ඒ වගේම ග්ලිරිසීඩියා දඬු කපලා පැය 24ක් ගතවෙන්න කලින් හිටවන්නත් ඕනි. ඒ වගේම නියමිත කාලයේදී ග්ලිරිසීඩියා අතු කප්පාදු කරන්නත් ඕනි. මොකද එහෙම නැත්නම් කොළ පොහොර හදන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනව , ශ්‍රමිකයෙක් යොදාගෙන නඩත්තු කරන්න වෙනවා. ඊට අමතරව ගම්මිරිස් කරල් නෙලීමේදී අස්වනු වලට හානි වෙන්න පුළුවන් අවකාශය වගේම පමණට වඩා ආධාරක වැඩීම නිසා ග්ලිරිසීඩියා දඬු හා ගම්මිරිස් වැල අතර තරඟයක් ඇතිවෙන්නත් පුළුවන්.
ගම්මිරිස් වගාවට පොහොර යෙදීම ඉතාම වැදගත් . නමුත් පැල සිටුවීමෙන් මාස හයක් යනතුරු පොහොර දැමීමේ අවශ්‍යතාවයක් නෑ. ඒකට හේතුව වලවල් සකස් කිරීමේදී ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් ලබාදෙන නිසා. නමුත් පැල වල වර්ධනයට අඩු බවක් පෙනෙනවානම් කාබනික දියර පොහොරක් ලියන්න පුළුවන්.

මාස හයකට පස්සෙ යූරියා : රොක් පොස්පේට් : මියුරේට් ඔෆ් පොටෑෂ් : කීසරයිට් බර අනුව 4:5:3:1 අනුපාතයට වසරකට දෙපාරක් එකතු කරන්න පුළුවන්. ඒත් වැදගත් කරුණක් විදිහට මතක තියාගන්න වසරකට ග්ලිරිසීඩියා කොළ කිලෝ 10-15 යොදනවානම් රසායනික පොහොර දැමීමේ අවශ්‍යතාවයක් නෑ. මේ ආකාරයට නිවැරදි ආකාරයට නඩත්තු කරන ගම්මිරිස් වැලකින් අවුරුදු 2 1/2 කින් පමණ අස්වනු ලබාගන්න පුළුවන් .
නමුත් ගම්මිරිස් වලට වැළඳෙන විවිධ රෝග ගම්මිරිස් වල අස්වැන්න අඩු කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා එම රෝග කල්තියා හඳුනාගෙන ඒවාගෙන් ආරක්ෂා වෙන්න වගේම එම රෝග පාලනය කරන්න අපිට හැකියාව තියනවා. පහත සඳහන් වෙන්නෙ මෑත කාලයේදී වැඩිවශයෙන් පැතිරුන රෝග වර්ග කිහිපයක් හා ඒවා හඳුනාගතහැකි ලක්ෂණයි

* ක්ෂණික මැළවීමේ රෝගය

* ඇන්ත්‍රැක්නොස් රෝගය -කහ පැහැති වලයකින් වට වූ දුඹුරු පාට පත්‍ර

*ෆුසාරියම් මැලවීම-කොළ සම්පූර්ණයෙන් දිග හැරීමෙන් පසු මුල් අවධියේදී බීජ පැල වලට බලපාන පොදු රෝගයක්

මීට අමතරව නිරන්තරයෙන් වගාව පරීක්ෂා කිරීම , නිසි ආකාරයට සෙවන සැපයීම , ප්‍රමාණවත් ජල සම්පාදනය මගින් අපිට පුළුවන් හොඳ ගම්මිරිස් වගාවක් පවත්වාගෙන යන්න. නිසි කාලවලදී පොහොර යොදන්නත් අමතක කරන්න එපා. ඒ වගේම නිවසට අමතර ආදායමක් එකතු කරගන්න.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment