දැනුම

ගලන ගඟ

විරහව, සන්තාපය, ප්‍රේමය හා මෙකී නොකී නේකවිධ හැඟීම් සමුදායන් මතුවන කල්හි, හදවත හා මනස අතර ඇතිවන්නා වූ නිරන්තර නොනිමෙන ඝට්ටනය කලා ඇසට නිතර හසුවන සුලබ පරාසයකි. නමුත් චරිත අතලගේ නම් නව පරම්පරාවේ සංගීත මාවත නවමු මගකට යොමු කළ සංගීතවේදියාගේ පද හා තනු මුසුවත්, සාම්ප්‍රදායික ගීත කලාවෙන් ඔබ්බට ගොස් හෘදයාමන්ත්‍රණය කරවනසුළු රැප් රිද්මයක් එකතු කළ රවී ජේ කලාවේදියාගේ සංයෝගයත් උකහා ගෙන බිහිවූ ගලන ගඟ ගීතය මෙම සියුම් ඝට්ටනයේ වෙනස්ම රසයක් රසික හදට ළඟා කරලූයේ හුදෙක් ගීයකින් එහා ගිය පණිවිඩයක් මනසට දෙමිනි.

අසන්නාගේ හද ගීතය කෙරේ ඇද බැඳ තබාගන්නා  පළමු තුරුම්පුව ලෙස චරිත අතලගේ භාවිත කොට ඇති ඉන්දියානු ආරේ සිතාර් වාදනය මුසු පසුබිම් ගැයුමත්, හද රිද්මයට වදින ඩ්‍රම්ස් රිද්මයත් ගීතය ඇසුමට මෙන්ම ගතට රිද්මය කාවද්දන්නට මනස නිතැතින් යොමු කරලීමට පොළඹවනසුළුය. නව පරම්පරාවේ සංගීත මුසුකරලීමේ පුරෝගාමියා යන අන්වර්ථ නාමයට චරිත අතලගේ සතු මේ හැකියාව හේතු වූවා නොඅනුමානය. සංගීතය අතරින්ම එන රවී ජේ ගේ හඬ ඔහුගේ ‍රසික ලෝලීන්, බටහිර රසික ලෝලීන් හා චරිත අතලගේ රසික ලෝලීන් යන තුන් පිරිසම එකම ආලින්දයකට කැඳවයි.

නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත්වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්…

චරිත අතලගේම ගායනා කරන ස්ථායී කොටස ඉතා සුමට සිනිඳු හද සනසන පද මාලාවකින්, රිද්මයකින් හා සංගීත මුසුවකින් යුක්තයි. රසිකයා තුළ දෙව්ලියකට සමාන රූ ඇති ඉතාමත්ම ශෝභන තරුණියකගේ රූ ශ්‍රියාව චිත්‍රණය කිරීමට මෙන්ම ගයන්නා තුළ ඇය කෙරේ ඇති අසීමිත ආශාව හා ළබැඳි ප්‍රේමය පිළිබිඹු කරලීමට පැදිය සමත් වේ. නීල දෑස, වළලු හඬ හා නීල වරල යනාදිය ගුත්තිල කාව්‍යයේ එන සුරඟන වැනුමේ සුරඟනකගේ රුව නිතැතින්ම රසික හද තුළ මවාපාන්නේ හැබැහින් නැතත් මනසින් හෝ ඇය හා රැඳීමට ගයන්නාගේ ආමන්ත්‍රණය ද සමඟිනි.

ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුණේ…
සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුණේ…

සැනින් හුවමාරු වන වේග රිද්මය සමඟ ගයන්නා තුළ ඇති වන කලබල සහිත කුඩා පටලැවිල්ල රසික හද, ගීයට තව තවත් පොළඹවයි. ගලන ගඟක රළ මෙන්, ක්ෂිතිජ ඉමක අපරිමිතය මෙන් බලා ඉවර කරගත නොහැකි තරම්, වර්ණනා කොට ඉවර කරගත නොහැකි තරම් ඈ ලස්සනය; වශීකෘතය; අලංකාරය. කෙතරම් ඈ ගැන පැවසුවත් සෑහීමකට පත් නොවන තරම් හේ දැන් ඈට වශී වී හමාරය. අසන්නාටද ඈ ගැන සිතක් පහළ වන අන්දමේ මායා කර්මයක් කිරීමට චරිත අතලගේ ගත් උත්සාහය සාර්ථක බැව් නොකියාම බැරිය. 

මින්පසු ගීය යොමුවන්නේ මෙතෙක් පැවතියාට වඩා හාත්පසින්ම වෙනස් රැප් කොටසටයි. නව පරපුරේ රැප් කලාව කාලීන, සංකීර්ණ, සියුම් මාතෘකා වෙතට යොමු කළ වෙනස්ම චින්තනයක් සහිත රවී ජේ ගේ සංයෝගය ගලන ගඟෙහි හැරවුම් ලක්ෂය වූවා නොඅනුමානයි.

ලෞකික සැප 
කාලය කා දැමීමක් නිර්වාණෙට පිවිසෙන
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මම තපසෙක්ම විය නුඹ දකින්න පෙර…

ස්ථායී කොටසෙහි තරුණියගේ රූ සපුවට මනමත්ව සිටි තරුණයාගේ හදින් එන ආශාභරිත වදන් වෙනුවට බෞද්ධ දර්ශනය හා මනස අලලාගත් සංකීර්ණ හැඟීම් දාමයක් රවී ජේ ගේ හඬ හමුවේ කරළියට එයි. තරුණියගේ රූ සපුව දැක වසඟ වීමට මත්තෙන් තමා ජීවිතයේ අස්ථිර බව වටහාගෙන කම්සැප කෙරේ ආශාවක් අතහැර සිහිනුවණින් හේතෙමේ සිටි බවට අවංක පාපොච්චාරණයක් කෙරෙයි.

ඔයාගෙ ළපටි තඹර දෙකොපුල 
තුහින වැටී දිලිසෙයි ඝන අඳුර මත
ඇසට නොපෙනන පර්‍යන්තෙක සුන්දර බව විඳපු මට
ඔයාගෙ රුව දැක බිඳුන මගෙ
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මා දිට්ඨිය අද මගෙ නතර වෙලා…

සාධුචර්‍යා දිවියක ලෝකෝත්තර සැපයට ආසන්න මඟක සිටි මේ තරුණයාගේ දිවියේ තරුණියගේ ආගමනය නිසා හිටිහැටියේ සිදුවී ඇත්තේ කැළඹීමකි. ඔහු හිටියේ ආලෝකය කරා යමිනි. එහෙත් ඇගේ රුව අඳුරෙහි දිලෙන විට ඔහුගේ සිහිය විතැන් වෙයි. 

මෙතෙක් කල් තපසින් ගොඩ නැගූ ධ්‍යාන සියල්ල ඈ හමුවේ බිඳී ගොසිනි. අස්ථිර දිවිය ගැන තිබූ නිවැරදි දැක්ම ඇගේ ළපටි සුකුමල රුව හමුවේ බොඳව ගොසිනි.

 ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතරමග කිමද
ගන්ධකුටියෙන් හිමිට බැස 
සීලය පසක දමා 
වින්දා නැසෙන රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය 
සසර මඟ පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා…

තරුණයාට දිවි ගමනේ තිබුණේ එක අරමුණකි. ඒ සසරින් ඔබ්බට යාමටයි. හේතුඵල දහමේ දැක්ම තිබූ ඔහුගේ මසැසේ අද ඇත්තේ ඇගේ නෙත්සරය නිසා අන්ධව ගොළුව වැරද්දෙන් නිවැරද්ද වෙන් කරගැනීමට නොහැකියාවකි. පංචස්කන්ධයේ අස්ථිර බව දැන මිදීමට අරමුණු කර සිටියද ඔහුගේ හද ඔහුගේ මනසට රිසි ලෙස නොනැමෙන සෙයකි. හේ හදට අවනතව මෙතෙක් කල් වැඩි සීලය පසක දමා ඇයගේ පහසට නතුවීමට පෙළඹෙයි. එතෙර යන්නට ඔන්න මෙන්න සිටි තරුණයාට, බුදුහිමි අභියසටත් ආ තණ්හා දුවණියම පැමිණෙයි. බුදුහිමි මෙන් කෙලෙස් මුළුමනින් නසා නැති හේ ඊට නතු වෙයි.

තරුණියකගේ රූ වර්ණනාවෙන් මෙහිලා චරිත – රවී ජේ ද්විත්වය පවසන්නට උත්සාහ දරන්නේ ජීවිතය පිළිබඳව යන්න මාගේ මතයයි. ජීවිතයේ නිස්සාර බව තේරුම්ගෙන ඉන් මිදීම අරමුණු කොට බවුන් වඩන්නකුට එය පූරණය කරනු මත්තෙන් හදවත හා මනස අතර ඇතිවන්නා වූ අසීමිත අනන්තවූත් ඝට්ටන හමුවේ ඔහු තුළ ඇතිවන්නා වූ හැඟීම් සමුදාය හමුවේ හේතෙමෙ පරාජය වෙයි. කෙතරම් සසරින් එතෙර වීමට උත්සාහගෙන කැපවී සිටියද සිතේ ඇතිවන එක් කෙලෙස් සිතුවිල්ලකින් සියල්ල බිඳී ඉහිරී යළි යළිත් ජීවත් වන්නට මේ ගලන ගඟෙහි පිහිනන්නට ආශාව, බැඳීම ඇතිවෙයි. 

රවී ජේ ගෙන්, යථාර්ථය හඳුනාගත් මනසත්, චරිත අතලගේ තුළින්, ආශාවන් කෙරේ යලි යලිත් දිවයන හදවතත් විද්‍යාමාන වන සෙයක් පෙනෙයි. මනස කෙතරම් සත්‍යාවබෝධ කිරීමට තැත් කළද හද යළි යළිත් දිව යන්නේ හීන මවා රහසින් හෝ කම්සැප විඳීමටයි. මනුෂ්‍ය මනස හා හදවත අතර ඇතිවන මේ සංකීර්ණ හැඟුම් දාමය රසිකයාට ළඟා කරදීමට රවී ජේ හා චරිත දැරූ උත්සාහය සාර්ථක බවට, 2017 හි එළි දුටු මෙම ගීතය තවමත් බොහෝ දෙනා අසන කියන ගීයක් වීමෙන්ම මෙන්ම කුවේණී ප්‍රසංගයේදී ගලන ගඟ ලත් ජනප්‍රියත්වයෙන්ද පිළිබිඹු  වෙයි. 

ගීතයට ඔබින රූප රචනය මෙම පද සංකලනය මනාව ඇස් ඉස්මත්තට ගෙන එයි. හුදෙක් ආදරය හා හැල්මේ දිවයන සින්දු කලාවෙන් ඔබ්බට ගොස් රසිකයාට සිතන්නට යමක් එක් කළ ගලන ගඟ ලාංකීය සංගීත ගමනේ දීප්තිය එළිපහළියට ගෙනා වචනේ පරිසමාප්තියෙන්ම අගනා නිර්මාණයකි. 

තව තවත් මෙවන් මනසට ගෝචර නිර්මාණ බිහිවේවා යන්න මාගේ මෙන්ම  රසික ඔබේ ද පැතුම බැව් නොඅනුමානයි.

 

Design by : Pathum Lakshan

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සමාධි අනුත්තරා

පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment