සාමාන්‍ය

ගල් ලෑල්ලෙන් දුරකථන තිරයට ආ අධ්‍යාපනය

“සුළගේ ලෙළෙනා – මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ – යාළුවො අද නැත
වෙන අය එහි ඇත – කාලය මැව් වෙනසක අරුමේ”

ඉහත පැදි පෙළ කියැවෙන විට ඔබේ නෙතගට කඳුළක් නොඉනුවේ නම් ඔබ ඔබේ පාසල් කාලය මැනවින් රස විඳ ඇත්තෙකු නොවේ. එක වසරේ දී ඉස්කෝලේ ඉන්න බෑ අම්මේ කියලා අඩපු අපි, ඒලෙවල් ඉවර වෙලා අන්තිම දවසෙ ඇඩුවෙ යාළුවො දාලා යන්න බෑ කියලා. පොඩි කාලෙ ඉදලා අපි ඒලෙවල් ඉවර වෙලා සමාජගත වෙනකල් ගොඩාක් යාළුවො ගුරුවරු සමාජයේ විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා. ඒ අය එක්ක ගනුදෙනු කරලා ලැබෙන පන්නරය, අනාගතයේ මනුස්සයෙක් වශයෙන් මේ රටේ ලෝකයේ ජීවත් වෙන්න ගොඩාක් පිටුවහලක් වෙනවා. සෙල්ලම් බත් උයලා සෙල්ලම් ගෙවල් දාලා කුඩා අවධිය පසු කරලා අවුරුදු 10 ක් වගේ වෙද්දී ඔන්න ශිෂ්‍යත්වය කියලා විභාගයකට මුහුණ දෙනවා. අපේ අම්මලාගේ තාත්තලාගේ කාලෙට අපේ ආච්චිලාගෙ සීයලාගේ කාලෙට වඩා සැලකිය යුතු පීඩනයක් මේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් අපේ කාලේ ඒ කියන්නේ 90 දශකයේ අපි ලැබුවා කීවොත් මා නිවැරැදියි. නමුත් 2000, 2001, 2002 පස්සෙ  ඉපදුනු අහිංසක නංගිලා මල්ලිලාට මේ ළමා කාලය හරියටම ලැබුනාද කියන එකත් සැකයක්. පොඩි ළමයෙක් ඉපදිලා අවුරුදු 2 ක් 3 ක් යද්දිම ඉංග්‍රීසි පන්ති, දෙමළ පන්ති, ශිෂ්‍යත්ව පන්ති යවන මට්ටමටම අද සමාජය වෙනස් වෙලා. දෙමාපියො වෙනස් වෙලා. ළමයි යාන්ත්‍රික වෙලා. මැෂින් වගේ වෙලා. ඒ ළමයින්ට කිසිම ළමා කාලයක් ඉතිරි වෙලා නෑ.

දැන් වසර දෙකකට කිට්ටුයි මේ අධ්‍යාපනය කලින් තිබ්බටත් වඩා හාත්පසින්ම වෙනස් වෙලා. ළමයින්ගේ ළමා ලෝකය කඩන් වැටිලා. ගෙදරක කාමරයක් අස්සට හිර වෙලා. චීනයේ වූහාන් නගරයෙන් කඩන් වැටුණු කොරෝනා වෛරසය සම්පූර්ණ ජන ජීවිතයම හාත්පසින්ම උඩු යටිකුරු කරලා ඉවරයි, අද මේ මොහොත වන විට. 2021 එක වසරට ඇතුළු වුන ළමයි හරියට දවස් පහක්වත් ස්කෝලේ ගියා ද කියන එක සැකයක්. වෙන අවුරුදු වල සෙල්ලම් ගෙවල් දාලා සෙල්ලම් කරලා ටීචගේ සාරි පොටේ එල්ලිලා දුවන පනින අහිංසක ළමයි අද ගෙදරක කාමරයක කොටු වෙලා. ටීචර්ලා වට්ස්ඇප් එවන වැඩ කරනවා. සැබවින්ම මේක කණගාටුවට කරුණක්. මේ ළමයි ඉදිරි අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද? මොවුන්  ජීවිතේ ඉස්සරහට එන අභියෝග ජය ගන්නේ කොහොමද? 

පොඩි ළමයි විතරක් නෙවෙයි ඕලෙවල්, ඒලෙවල්, කැම්පස් ළමයි පවා මේ නිසා ගොඩාක් අපහසුතාවලට ලක් වෙලා ඉන්නවා. ඔන්ලයින් අධ්‍යාපනය 100% ක් ම අසාර්ථකයි කියලා නෙවෙයි මම කියන්නේ. මේක ගොඩාක් ළමයින්ට මානසික වදයක් හිරිහැරයක් වෙලා තියෙනවා. ගොඩාක් දරුවො දුරකථනය නිසා ගොඩාක් නොමනා ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ පිළිබඳව මම පහතින් තවත් විස්තර කරන්නම්.

මේක ලියන මමත්, කැම්පස් එකේ පළමු වසර ශිෂ්‍යාවක්. ඉතින් අපේ ගුරුවරු පෙන්නපු සුන්දර කැම්පස් ලෝකය අපි දකින්නේ නෑ. එක වතාවක්වත් කැම්පස් නොගිහින් කැම්පස් එකේ පළවෙනි සෙම් එකේ පළමු විභාගයත් ඔන්ලයින් ලියන ළමයෙක් මමත්. වෙලාවකට හිතෙනවා කවදාවත් කැම්පස් යන්න, මේ ඇස් පින් කරලා නැතිව ඇති කියලා.

කොවිඩ් තත්වය නිසා පාසල් වහලා දැනට වසර දෙකක් පමණ වෙනවා. මේ නිසා පොඩි ළමයින්ට පවා දුරකථන, ලැප්ලොප්, ටැබ් පාවිච්චි කරන්න වෙලා තියෙනවා ඔන්ලයින් අධ්‍යාපනය සදහා. ඔවුන් පාසල් අධ්‍යාපන කටයුතු සඳහාම මේ උපාංග පාවිච්චි කරනවා ද යන්න සැකයක්.

කොහොමහරි මේ ළමයි අධ්‍යාපනය කටයුතු සඳහාම මේ දේවල් පාවිච්චි කරනවා කියමුකෝ. ඒත් දවසේ වැඩි කාලයක් මේ ළමයින් විද්‍යුත් තිරය මත ගත කරනවා. ඒ නිසා බොහෝ දරුවො අක්ෂි ආබාධ වලට ලක් වෙලා තියෙනවා.

ඔන්ලයින් අධ්‍යාපනය; කොරෝනා නිවාඩුව සමග ලංකාවේ දරුවන් “මානසික ප්‍රතිකාර සඳහා පැමිණීම 20% කින් ඉහළට”

ඉහත මා උපුටා ගත්තේ පසුගිය දිනක එක්තරා පුවත්පතක ප්‍රධාන සිරස්තලය.

“වැඩිහිටියන්ට වඩා දරුවන්ට යහළුවන් සමග සෙල්ලම් කිරීම, කතා කිරීම වගේ මනෝ සමාජීය පරිසරය ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනයට වැදගත් වෙනවා. මේ අවස්ථාව අහිමි වීම නිසා අපට පෙනිලා තියෙනවා ලංකාවේ ශික්ෂණ රෝහල් වල ළමා සහ යොවුන් මනස පිළිබඳ සායන වලට පැමිණෙන දරුවන් ප්‍රමාණය කොරෝනා වලට කලින් තත්වයට වඩා 20% කින් පමණ වැඩි බව” යනුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ වෛද්‍යවරයකු  එම පුවත්පතට පවසා තිබුනි. 

එලෙසෙම අද වන විට රෝහල් වල; කාන්සාව, නින්ද නොයෑම, අධ්‍යාපනය ගැන ඇති වන දරුණු මානසික පීඩනය, විද්‍යුත් තිර වලට ඇබ්බැහි වූ දරුවන් ගෙන් පිරී පවතින බව ද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුනි.

ඒ විතරක්ම නෙවෙයි, ඔන්ලයින් ඉගෙන ගැනීමට අවශ්‍යතාවය ඇති මුත් අපහසුතා ඇති දරුවන් ද මේ පුංචි රටේ බොහොමයක් ඇත. සමහර දරුවන්ට දුරකථන මිලදී ගැනීමේ ප්‍රශ්න, තවත් දරුවන්ට සිග්නල් ප්‍රශ්න යනාදී නානාප්‍රකාර ගැටලු. මේ නිසා නිදහස් අධ්‍යාපනය සෑම දරුවෙක් සඳහාම නියමාකාරාව බෙදී යන්නේ ද යන්න ගැටලුවක්.

ඒ වගේම සමහර දරුවන් දුරාචාරයට ලක් වූ පුවත්ද එමටයි. දෙමාපියන් බහුතරයක් උදේ වැඩට ගොස් ගෙදර එන්නේ ගොම්මනේය. ඉතින් දරුවන් ඔවුනොවුන්ගේ ලෝක වලය. මෙය කණගාටුවට කරණාවක්. නොසිදුවිය යුත්තක්. අහිංසක දරුවන්ගේ මොළ විනාශ වී හමාරය. මෙම තත්වය සැබවින්ම වෙනස් විය යුතු නමුදු වසංගතය ඉදිරියේ සැවොම අසරණය.

ඉතින්, නොයෙකුත් බාධක පසු කරමින් ගෙවන මේ කාලය අහවර වෙලා, කොරෝනා වලින් තොර ලොවක ඉක්මනින්ම අපට ජීවත් වෙන්න ලැබේවා! යි පතමින් මා සමුගන්නම්.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෝකිලා සනෝජි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment