දැනුම

ගී තරු අඹරේ නිසංසල සඳ

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්…
සඳ එළිය මමයි නම්…
සඳේ කැළුම් සිනාසේ…
චන්ද්‍රා පායන්න…
සඳ රෑට රෑට… 

සඳට නෑකම් කියන අප කතා නායිකාව සැබවින්ම කිසිදා බැස නොගිය සඳකි. ජීවිත ගමනේත්, කලා ක්ෂෙත්‍රයේත් සමබර පෞරුෂයකට හිමිකම් කියන ඇය එළිමහන් ප්‍රසංග කාලාව, ගෘහස්ථ ප්‍රසංග කලාව, ශාස්ත්‍රීය සංගීතය ආදී මෙකී නොකී සියලු කුලකයන් තුළ දශක ද්විත්වයක් තිස්සේ වැජඹෙන හදවත් දිනාගත් කෘතහස්ත ගායිකාවකි. නමින් සශිකා නිසංසලා නම් ගීත කෝකිලාවිය අද දින සිය ජන්ම දිනය සමරයි. ඒ වෙනුවෙන් Colombo Beacon විසින් තබන ආදරණීය මතාකාවර්ජනයකට මම මෙසේ මුල පුරමි. 

1981 වර්ෂයේ සැප්තැම්බර් 28 වන දා සිය පවුලේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දකින මැය සංගීතය අතැඹුලක් සේ දෝතට රැගන පැමිණෙන්නියකි. දැරණියගල උඩපොළ නම් ග්‍රාමීය පරිසරය තුළ හැදී වැඩෙන සශිකා පසුපස සිටින යෝධ සෙවැල්ල වූයේ  තම සෙනෙහෙබර පියාණන්‍ ය. විදුලි බලයවත් නොමැති වාතාවරණයක බැටරි රේඩියෝවකින් තම අත්දැකීම් පරිපූර්ණ කරගන්නා මේ කුඩා ගැහැණු දරුවා පියාගේ ඇවෑමෙන්ම එකල ජනප්‍රිය ළමා වැඩසටහන් වූ උදාර, මුතුහර, හඳ මාමා වැනි වැඩසටහන්වල ගීත ගායනට සම්බන්ධ වී තම ගී කලාවට අත්පොත් තබන ලදි.

පාසල් අධ්‍යාපනය පළමුව උඩපොළ ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කරමින් පසුව අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලය හා ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා තම අධ්‍යාපන කටයුතුත්, බාහිර කටයුතුත් සමබරව ඉටු කිරීමට ඇය සමත් විය. ඇය උසස් පෙළ අධ්‍යාපනය  නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් හමාර කරන ලද්දේ  සිය ගායන හැකියාවට ලැබුනු බොහෝ වර්ප්‍රසාද ද මදකට පසෙක තබමින් තම ඒකායන අභිප්‍රාය වූ විශ්ව විද්‍යාල සිහිනය පණ ගන්වමිනි

තරුණ ප්‍රජාවේ ප්‍රබෝධයක් ඇති කළ සහස්‍රයක අභිමුව පැවති  සමයක, තරුණ ප්‍රජාවේ හැකියා දක්ෂතා රටක් මවිත කරන්නට විය. වර්තමානයේ මෙන් රියැලිටි වේදිකා නිර්මාණය නොවූවත් ස්වාධීන රූපවාහිනී සංස්ථාව හා තරුණ සේවා සභාව තාරුණ්‍යය වෙනුවෙන් ගොඩනැගූ ‘තුරුණු ශක්ති’ වේදිකාව තවත් බොහෝමයකගේ මෙන්ම සශිකා නිසංසලා නම් සුහදිනියගේ ද හැරවුම් ලක්ෂය විය. 1999 වර්ෂයේ දී  දිස්ත්‍රික්, පළාත් හා සමස්ථ ලංකා වශයෙන් තුරුණු ශක්ති සම්මානය දිනා ගනිමින් එදා සිට අද දක්වාම නොබිඳි ජනප්‍රියත්වයක් තමා වටා නිර්මාණය කරගන්නටත්, ඒ ඔස්සේ නිරහංකාර චරිතයක් ගොඩනගා ගන්නටත් මේ ආදරණීය යුවතිය සමත් වූ බව පැවසිය යුතුමය.

‘පාරමිතා’ කැසට්පටය 90 යුගයේ නෑසු අයෙක් සෙවීමට පවා අපහසුය. තම පළමු කැසට් පටයේම ‘පාරමිතා නොපුරමු අපි දෙන්නා…’, ‘තොල්පෙති විතරක් ප්‍රථම හාදුවෙන් තෙමන්න…’, ‘සඳ රෑට  රෑට…’ යන ගීත කිහිපයක් ම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම යාමට තරම් ඇය භාග්‍යවන්ත විය. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව ඈ තුළ වූ සහෘද හදවත් ඇද බැඳ තබාගන්නා හඬ පෞරුෂයයි. 

උසස් පෙළ විභාගය සඳහා ශාස්ත්‍රීය සංගීතය, තර්ක ශාස්ත්‍රය, සිංහල යන විෂයන් ත්‍රිත්වයටම විශිෂ්ට සමාර්ථ ත්‍රිත්වයක් ලබා ගනිමින් තම විශ්ව විද්‍යාල සිහිනයට පා තබන මැය කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ විශේෂවේදී උපාධියද, පසුව පශ්චාත් උපාධියද, තම හැකියා දක්ෂතා සමඟින්ම සාර්ථක ලෙස නිම කරන ලදි. ඒ ඔස්සේ සශිකා නිසංසලා නම් අප කතා නායිකාව තම වෘත්තීය ජීවිතය තව තවත් පහසු තෝතැන්නක් බවට පත් කරගන්නට විය. 

මෙකී සාර්ථක තරුණිය තම ජීවන සහකරු වශයෙන් තෝරගන්නේ විශ්ව විද්‍යාලයේදී ඈ හිතගත් සුරංග මහතාය. 2008 වර්ෂයේ ජනවාරි 28 වනදා යුගදිවියට එළඹි මෙම දෙපළ අද වන විට  ආදරණීය පුතුන් දෙදෙනෙකුට මවක් සහ පියෙකු ලෙස ජීවන මංපෙත මලින් සරසා ගනිමින් සුන්දර පවුල් සංථාවක් ගොඩනගා ගෙන ඇතැයි කිවහොත් මා නිවැරදි ය. සංගීත දිවියේ මූල බීජය ‘දුවෙක් නම් තාත්තට’ යන කියමන පසක් කරමින්ම තම පියාණන්ගේ යෝධ සෙවනැල්ල යටතේ පැළ කරගන්නා ඇයට වර්ථමානයේ එකී භූමිකාව ආදරණීය ස්වාමි පුරුෂයා සපුරන වග ඈගේ බොහෝ කතාබස් තුළින් රසිකයන් වන අපට මනාව පැහැදිලි වේ. 

තම කලා දිවියේ වසර විස්සක් සපුරන සශිකා නිසංසලා නම් අප සහෘදිනිය ජාතික තලය තුළ සම්මානයට පාත්‍ර වූ අවස්ථා බොහෝමය. වසරේ විශිෂ්ටතම ගායිකාව ලෙස 2006 වර්ෂයේ රයිගම් ටෙලි සම්මාන, 2008, 2013 වර්ෂයන්හි සුමති ටෙලි සම්මාන, 2008, 2009, 2012 හා 2013 වර්ෂවල රූපවාහිනී රාජ්‍ය සම්මාන ඈ හට හිමි විය. ශ්‍රී ලංකාවේ වැඩිම අවධානයක් දිනා ගනු ලබන ස්ලීම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියතම ගායිකාව ලෙස පිට පිට 2016 සිට 2020 දක්වා සම්මානයට පාත්‍ර වීමට ඇය භාග්‍යවන්ත විය

ග්‍රාමීය පරිසරයක හැදී වැඩී ගමේ සුවඳ හොඳින් හඳුනන ඇය ගමේ කෙල්ලක්; ඒ වග පවසන්නට  ඇයට මැලිකමක් නැත. “ජීවිතයම පාඩමක්”  යන්න නිරන්තරව ම ඇය විසින් හුවා දක්වන දැක්මයි. ක්ෂේත්‍රය තුළ කොතරම් දිදුළන තාරකාවක් වුවද ඇගේ නිහතමානීත්වය, සැබෑ ගැහැණියකගේ පවතින සුන්දර බව ඈ කිසිදාක අත් නොහළේය. අඳින පළඳින රටාවේ සිට ඈ ගයන ගීය දක්වාම ඇය භාවනාවක් බව කිව යුතුය.

එදා මෙදා තුර ලාංකේය කලා කෙතහි සුපෙම්බර හදවත් මත නැවතුණු සුහදිනිය ඔබට, තවත් චිරාත් කාලයක් සුභාවිත ගීතයේ නිම් වළලු පුළුල් කළ හැකි අනාගතයකට සුභාශිංසන ගෙන එමින්, චන්ද්‍රාවක් ලෙස සොමි කිරණ පැතිරෙන සුබ ජන්ම දිනයක් වේවා!

සශිකා නිසංසලා ආදරණීය අතීතාවර්ජනයට සමුදෙමින් Colombo Beacon සමූහය ලෙසින් අප ඈගේ ජීවිතෙයෙන්, උගත් පාඩම අවසාන වශයෙන්  මෙසේ සටහන් තබමු.

“සමාජයේ කොතරම් ජනප්‍රිය තලයක ගැහැණියක් බැබලුන ද මිනිසත් බව, නිරහංකාර බව, ආදර්ශවත් බව ගැහැණියක් පළන් ආභරණ වේ.”

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කිවිදිනි ජනානි

නීති පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment