ජිවත්වීම අප සැමගේ ඒකායන පැතුමයි.
“මං නම් මැරෙන්න බය නෑ බං…”
“මං හෙට උනත් මැරෙන්න ලෑස්ති!”
මෙසේ පවසන අය අප අතර සිටියත්, අප විසින්ම මෙසේ පැවසුවත් මරණය ළඟා වූ මොහොතේ මරණ බය දැනීම කිසිවෙකුටත් නැවැත්විය නොහැක්කකි. ඉතින්, තත්පරයක් තත්පරයක් පාසා අප සිදු කරන සෑම කාර්‍යයක් ම ජීවත්වීම උදෙසා සිදුකරන බව පැහැදිලි වන්නට තවත් ආටෝප අවශ්‍ය නොවේ.
ලෝකයේ එක් කොණක එකෙකු සුඛෝපභෝගී අසුනක හිඳ සේවකයන් පිරිවරාගෙන ගතට නොදැනෙන්නට රාජකරියක නිරත වී කෝටි ගණනින් මුදල් උපයන විට ලෝකයේ තවත් කොණක තවකෙක් කටුකොහොල් උසුලාගනිමින් කරගැට වලින් දරදඬු දෑත් විසිකරමින් සුළු මුදලක් උපයා ගනියි.
ජීවත්වීම යන්න අභියෝගයකි. එම අභියෝගයේ ස්වභාවය එකිනෙකාට වෙනස් ස්වරූපයක් ගනියි. එම වෙනසට හේතුව අප කළ පින් පවු ඵලදෙන ආකාරයයි. එහෙත් බොහොමයක් සිටින්නේ එම අභියෝගයේ ස්වභාවය වෙනස් කරගත් මිනිසුන්. හොඳ පැත්තට හෝ නරක පැත්තට.
සෑම කෙනෙකුටම එම ස්වභාවය හොඳ පැත්තට පමණක් වෙනස් කරගතහැකි නම්…?
සෑම කෙනෙක්ම වෙර දැරිය යුත්තේ මෙයටයි. එනම් තමන් මුහුණා පා සිටින ජීවත්වීමේ අභියෝගයේ වෙහෙසකර බව කෙමෙන් කෙමෙන් අඩු කර ගැනීමයි.
අතපය හතර, ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියන් කිසිදු අඩුවක් නොමැතිව ඇති නමුත් අන් අයට අතපාමින් ඉදිරියට යන්නට දහදිය බිඳක් වැය කරන්නට ක්‍රියා නොකරන අය බරක් වන්නේ තම පවුලට පමණක් නොව මුලුමහත් මිහිමවටමය. කුඩා කළ සිටම කර්කශ දිවි ගෙවූ පුද්ගලයින් අතර නම් මෙම ස්වරූපය දැකිය හැක්කේ අල්ප වශයෙනි. නමුත් කුඩා කළ සිටම සැප පහසුකම් මැදිව දිවි ගෙවූ අය නම් ඔවුන් හුරුපුරුදු ජීවිතය අත්හැර දමන්නට පැකිලි වීමෙන් සදාකාලිකවම දෙමව්පියන් මත යැපෙන්නට හුරු වෙති. පසුව දෙමව්පියන් නොමැති කලක ඔවුහු ආගාදයට වැටෙති.
මින් අදහස් වන්නේ අප කුඩා කළ සිටම කාහටවත් යැපීමෙන් ජීවත් වීමට හුරුවීම නුසුදුසු බවයි. යමක් කමක් තේරුම්ගත හැකි වයසක් එළඹෙන විටම කුඩා කුඩා දේ මගින් දෙමව්පියන්ට හෝ අපව බලාගන්නා අයට සහයක් වන්නට සිතිය යුතුය.
මෙය මහා පරිමාණයෙන් නොව කුඩා අංශුවේ සිට ආරම්භ කළ යුත්තකි. එක්වරම විසල් ව්‍යාපාර පටන් ගැන්මට සිතීම නම් නිශඵල ය. එහෙත් ගෙවත්තේ වගාවක් පටන් ගැන්ම, හැකි අයුරින් අත්කම් නිර්මාණ කිරීම, අධ්‍යාපන කටයුතු මගින් තමන්ට වඩා බාල සහෝදර සහෝදරියන්ට උපකාරක පන්ති පැවැත්වීම වැනි ක්‍රියා ඕනෑතරම් ඇත. මින් අපගේ අරමුණ වන්නේ පවුලේ සියලු බර කරටගැනීම නොවෙයි. සුළු වශයෙන් හෝ එම බර දරාගැනීමට අත්වැලක් වීමයි. එවන් ආරම්භයකින් මතු දිනෙක තම පවුලටත් ලොවටත් බරක් නොවන පුද්ගලයෙකු බිහිවන බවට සහතික විය හැක.
සිංහල සාහිත්‍යයේ එන මනඃකල්පිත සත්වයකු වන ගුරුලා ගැන ඔබ මින් පෙර අසා තිබෙන්නට ඇති. විශාල ශරීරයක් ඇති මෙම සත්ත්වයා විශ්නු දෙවිඳුන්ගේ වාහනය ලෙස යොදගෙන ඇත. සාහිත්‍යයේ සඳහන් ආකාරයට මහා සමුදුරේ ජලය දෙබෑකරගෙන නාග ලෝකයට ගොස් නාගයෙක් රැගෙන නැවත එම දෙබෑ වූ ජලය යාවෙන්නට පෙර පැමිණෙන්නට තරම් වේගයක් එම සත්වයාට ඇත. නමුත් එම සත්ත්වයා ගමන් නොකරන්නේ ය. කෙතරම් විසල් හැකියාවක් තිබුණත් ඉන් ඵලක් නොමැත. මන්ද යත් ඌ උගේ එම හැකියාව භාවිතා නොකරන බැවිනි.
නමුත් කුහුඹුවෙකු ගැන සිතන්න. ගුරුලාට තරම් විශාල ශරීරයක්වත් එතරම් බැරෑරුම් හැකියාවක් වත් නොමැති කුහුඹුවා දිගින් දිගටම ගමන් කරයි. එම නිසා ගුරුලා සමග සසඳන විට කුහුඹුවා ඉදිරියෙන් සිටියි.
හැකියාවන් එකිනෙකාට පිහිටා ඇත්තේ වෙනස් ආකාරවලට වෙන්නට පුළුවන්. නමුත් අප සැම කොයිම දෙයකට හෝ විශේෂත්වයක් දක්වනවා විය හැක. එවැනි දේ කිසිවෙකුත් අප අසලට පැමිණ පෙන්වාදෙන්නේ නැත. අප විසින්ම ඒව හඳුනාගත යුතුය. මොකුත්ම නොකර සිටීමට වඩා කුමක් හෝ උත්සාහ කිරීම සෑම විටම ඔබව පියවරක් ඉදිරියට ඔසවා තබන බව මතක තබාගත යුතු ය.
ඔබ තවමත් අධ්‍යාපනය ලබන සිසුවෙක් විය හැක; උපතින්ම යම්කිසි ඉන්ද්‍රියක් අහිමි පුද්ගලයෙකු විය හැක; මුදල් පසුබිම අතින් දුර්වල පුද්ගලයෙකු විය හැකි; ඕනෑම ආකාරයක ප්‍රශ්න රාශියක් මධ්‍යයේ ජීවත් වන පුද්ගයෙකු විය හැක. එය කෙසේ වුවත් ඔබගේ අනාගතය ඇත්තේ ඔබ අතේ ය. නිදහසට කාරණා නම් ඕනෑතරම් ඇත. නමුත් නිදහසට කාරණා කියා ඔබ පසෙකට වී සිටින්නේ ඔබට උරුම වන්නට තිබූ වර්ණවත් අනාගතය තවත් දුරස්කරගැනීමටය.
එම නිසා කිසිවිටෙකත් හුදු ගුරුලෙකු පමණක්ම නොවන්න. කුහුඹුවෙක් වන් ගුරුලෙක් වන්න. එනම් ඔබට ඇති හැකියාවන් පුළුවන් උපරිමයෙන් භාවිතා කරන්න. කටුක ආරම්භයක් ගන්නා ඔබේ ගමන අවසන් වන්නේ දැවැන්තයෙකු වීමෙනි. නිතරම කල්පනාවට ගත යුත්තේ මේ සිටිනා තත්වයෙන් පියවරක් ඉදිරියට යන්නේ කෙසේද යන්නයි. ඒ අතරතුර ඔබට මුණ ගැසෙන අනෙකුත් ජීවිත අභියෝගයේ ක්‍රියාකරුවන් හට හැකි අයුරින් උපකාරක් වන්නටත් අමතක නොකරන්න…
ජීවිතය දිනන්නට සමහර විට ඔබ මේ දැන් සිට ඉටා ගන්නට ඇත. කියන්නට ඇත්තේ මෙපමණ ය. තවමත් ඔබ ප්‍රමාද නැත. ඉතින් දිරිය ඔබට ජයෙන් ජයම වේවා!!! මම ද පතන්නෙමි.
සැමට ජය !!!
Image link :
Leave a Comment