දැනුම

ගෙවතු වගාවට කාබනික පොහොර භාවිතය

මීට කලින් ස්වයංපෝෂිත යටතේ ඔබ වෙත ගෙන ආ ලිපිවලින් අපි මූලික වශයෙන් කතාබහ කළේ ගෙවත්තක ඉතා පහසුවෙන් වගා කළ හැකි බෝග වර්ග ගැනයි. නමුත් ගෙවතු වගාවෙදි බෝග වර්ග පිළිබඳව පමණක් දැනුවත් වීම ප්‍රමාණවත් නෑ කියල අපි කවුරුත් හොදින්ම දන්නවා. අන්න ඒ නිසාම අද අපි කතා කරන්න යන්නේ වගාවක් සදහා පොහොර භාවිතා කරන ආකාරය ගැනයි.

ඇත්තටම බෝගයක් වගා කරනකොට ඉහළ ඵලදාවක් ලබා ගන්න නම් පස හා පෝෂක ගැන වඩාත් සැළකිලිමත් වෙන්න වෙනවා. පස ගැන කතා කරනවනම් වගාවකට හුඟක් උචිත වෙන්නෙ සාමාන්‍ය ලොම් පසක්. මොකද ඒ පසේ වැලි, මැටි, හා කාබනික කොටස් සමාන ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. මේ ලිපියෙන් අපි වැඩි අවධානයක් යොමු කරන්නේ අනිත් අවශ්‍යතාවය ගැන. ඒ කියන්නේ පෝෂක ගැන. වගාවකදි ශාකයට අවශ්‍ය පෝෂක සපයන්න තමයි අපි පොහොර වර්ග භාවිතා කරන්නේ.

බෝග වර්ග වලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය මූලිකවම ලබා දෙන්නෙ පසෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය මගින්. පසෙහි ජීවත්වන ක්ෂුද්‍රජීවීන්, ගැඩවිලන් හා පනුවන් මගින් එම කාබනික ද්‍රව්‍ය, බෝග වලට වඩාත් ප්‍රයොජනවත් වන හ්‍යුමස් බවට පත් කරනවා. ක්ෂුද්‍රජීවීන් විදිහට පසෙහි ජීවත්වන දිලීර හා බැක්ටීරියා මේ කාර්‍ය සදහා දායක වෙනවා. හැබැයි මේ ක්‍රියාවලියට යම්කිසි කාලයක් වැය වෙනවා. අන්න ඒ නිසාම බොහෝ දෙනෙක් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් රසායනික පොහොර භාවිතා කරනවා. නමුත් ඒ රසායනික පොහොර මගින් පසෙහි සමතුලිතතාවය බිඳ දමනවා වගේම, පසෙහි ව්‍යූහයත් එන්න එන්නම දුර්වල කරනවා. මොකද එය කෙටිකාලීන විසඳුමක්. රසානික පොහොර වල සංඝටක මගින් පාංශු ජීවීන් හා ක්ෂුද්‍රජීවීන් විනාශ කරනවා. අන්න ඒ නිසා පසෙහි ගුණාත්මක බවට හානි වෙනවා.

මේ නිසා බෝග වලට අවශ්‍ය පෝෂක ලෙස කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීමට යොදාගත හැකි උචිතම ක්‍රමය ලෙස කොම්පෝස්ට් පොහොර භාවිතය දක්වන්න පුලුවන්.

කොම්පෝස්ට් පොහොර අපිට අපේ ගෙවත්තේදීම සාදා ගත හැකි වීම තමයි මෙහි වැදගත්ම දේ වෙන්නෙ. මොකද මේ පවතින වාතාවරණයත් එක්ක අපිට පිටින් සපයා ගන්න දේට වඩා අප විසින්ම පිළියෙළ කර ගත හැකි දෙයක් තමා හුඟක් වටින්නෙ. කොම්පෝස්ට් පොහොර නිපදවීමට අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ වියළි කොළ රොඩු, ආහාර කොටස් වගේ දිරාපත් වන දේවල්. අන්න ඒ නිසාම අපිට ගෙවත්ත අතුගාල ලැබෙන වියළි කොළ රොඩු, ගස් වලින් කපා ඉවත් කර දමන අතු කැබලි, දහයියා , ලී කුඩු, මුළුතැන්ගෙයි ඉවතලන ආහාර කැබලි හා අපද්‍රව්‍ය මේ සදහා යොදාගන්න පුළුවන්. මෙමගින් අපට ගේ දොර අපද්‍රව්‍ය කාර්‍යක්ෂමව බැහැර කරන්න අවස්ථාකුත් ලැබෙනවා. ඒ වගේම සත්ව අපද්‍රව්‍ය ලෙස ගොම, එළු බෙටි සහ කුකුල් පොහොර සපයාගත හැකි අයට ඒ අමුද්‍රව්‍යත් මේ සදහා යොදා ගන්න පුලුවන්. මොකද සත්ව අපද්‍රව්‍ය වල ඉහළ පෝෂක ගුණ අඩංගු වුනත්  එක වරම බෝග වලට යෙදීම, හානි දායක වෙන්න පුලුවන්. ඒ නිසා ඒ අපද්‍රව්‍ය කොම්පෝස්ට් සෑදීමට බාවිතා කිරීම මගින් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

කොම්පෝස්ට් සෑදීමට යොදාගත හැකි ක්‍රම රාශියක් තිබුනත් මේ ලිපියෙන් අපි අවධානය යොමු කරන්නේ ප්‍රධානතම ක්‍රම දෙකක් ගැන පමණයි. ඒ ගොඩ ක්‍රමය හා වල ක්‍රමයයි. ගොඩ ක්‍රමයේදී භූමිය මත දිරා යන අපද්‍රව්‍ය ගොඩ ගසා අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදමින් කොම්පෝස්ට් සකසා ගන්නවා. වල ක්‍රමයේදී වලක් සකසාලා, එයට දිරාපත් වන අමුද්‍රව්‍ය එක් කිරීමෙන් හා සුදුසු පරිදි ජල කළමනාකරණය කිරීමෙන් කොම්පෝස්ට් සකසා ගැනීම සිදු කරනවා.

නමුත් කොම්පෝස්ට් පොහොර සෑදීමේදී ජල සැපයුම ගැන වැඩි අවධානයක් යොමු කිරීම කරන්න ඕන. මොකද වැඩි ජල සැපයුමකින් ආහාරමය අපද්‍රව්‍ය කුණු වෙන්නත්, අඩු සැපයුමකින් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය අඩාල වෙන්නත් පුලුවන් නිසා. අන්න ඒ නිසා ජල සැපයුම ගැන සළකා බලලා කොම්පෝස්ට් සැකසීමට උචිත ක්‍රමයවේදය තෝරා ගනීම හරිම වැදගත්.

තෙත් කලාපයේ නිතරම වර්ෂාව පවතින නිසා ගොඩ ක්‍රමය තමා වඩාත්ම සුදුසු. නමුත් වියළි කලාපයේ (යල කන්නයේ) වර්ෂාව අඩු නිසා ගොඩ ක්‍රමයේදී ජලය සැපයීම අපහසු වෙනවා. ඒ නිසා වඩාත්ම සුදුසු වන්නේ වල ක්‍රමයයි. නමුත් වියළි කලාපයේ මාස් කන්නයේදී වර්ෂාපතනය අධික බැවින් ගොඩ ක්‍රමය තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම පහසුවෙන් ජලය සපාය ගත හැකි ස්ථානයකට ගොඩ ක්‍රමය වඩාත් උචිතය.

මීට අමතර කොම්පෝස්ට් පොහොර සෑදීමේදී සැළකිලිමත් වෙන්න ඕන යම් යම් කරුණු තියෙනවා. ඒවා ගැන තමා දැන් අපි අවධානය යොමු කරන්න යන්නේ.

ගිනිසීරියා කොළ, රනිල ශාක, කෙසෙල් අතු හා බඩ වගේ නයිට්‍රජන් අධික ද්‍රව්‍ය කොම්පෝස්ට් වලට එක් කිරීමෙන් අපට පොහොර වල ගුණාත්මකබව වැඩිකර ගන්න පුලුවන්.

ඒ වගේම යොදන ශාක ද්‍රව්‍ය පුලුවන් තරම් කුඩා කැබලි වලට කඩා එක් කිරීමෙන් ක්‍රියාවලිය වඩාත් කාර්‍ය්ක්ෂමව කර ගන්න පුලුවන්.

ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තෙතමනය පවත්වා ගන්න එක හරිම වැදගත්. ඒ නිසා වියළි කලාපයේ ගොඩ හා වල, වියළීමට නොදී කිහිපවරක් ජලය යෙදිය යුතුයි.

කොම්පෝස්ට් සෘජු හිරු එළියට නිරාවරණය නොකර වැසුම් යෙදීම වඩාත් උචිතයි. මේ සදහා පිදුරු, පොල් අතු, ගෝනි යොදාගන්න පුලුවන්.

ඒ වගේම මුළුතැන්ගෙයි ඉවතලන ද්‍රව්‍ය වගේ හතර ගුණයක් පමණ වියළි දිරායන ද්‍රව්‍ය යෙදීම වැදගත්. මොකද මුළුතැන්ගෙයි ඉවතලන එළවළු කැබලි, ආහාර ද්‍රව්‍ය පමණක් යොදාගැනීමෙන් ඒවා දිරාපත් වීම වෙනුවට සිදුවන්නේ ඒවා කුණුවීමයි.

මේ කියපු ආකාරයට ක්‍රියා කළොත් සති 4-6 වගේ ඉතා කෙටි කාලයකින් කොම්පෝස්ට් පොහොර සකසා ගන්න පුලුවන්. හොඳ ගුණාත්මක කොම්පෝස්ට් පොහොර තද දුඹුරු/කළු පැහැයක් ගන්න ඕන.

ලොකු වෑයමක්, ආයාසක් නැතුව තමන්ගෙ ගෙවත්තේ වගා කරන බෝග වලට, ගෙවත්තේ, මුළුතැන්ගේ ඉවතලන අපද්‍රව්‍ය වලින්ම පොහොර සකසා කරගන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද?

ඔබට ඒ වෙනුවෙන් දවසේ පොඩි කාලයක් විතරයි කැප කරන්න වෙන්නෙ.

ඒ නිසා අද ඉඳන් අපේ ගෙවත්තට අවශ්‍ය පොහොර අපිම සකස්කර ගෙන, ගුණාත්මක බවින් ඉහළ ඵලදාවක් නෙලා ගමු.

හරිතවත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අපිත් දායක වෙමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිපුනි හප්පිටිය

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment