සාමාන්‍ය

ගෙවුනු නව වසරට පසු වදනක්

උත්සව කොතෙක් තිබුණත් පවුලක සතුට වැඩි දියුණු කරවන අන් සියලූම උත්සව වලට වඩා අපූර්වත්වයක් අන්තර්ගත අපගේ ඒ සූර්‍ය මංගල්‍යය හෙවත් සිංහල හා දමිළ අවුරුදු කාලය පසු වුනා පමණි.

චාරිත්‍ර වාරිත්‍ර මුළු රටම එකම වෙලාවකට සිදුකරන, රටම එකතු වී සමගියෙන් අවුරුදු ක්‍රීඩා කරන මේ සමය සැබැවින්ම අවුරුද්දේ හොඳම කාලයයි. ජනතාව පමණක් නොව, සතා සිවුපාවුන් ඇතුළු ස්වභාව ධර්මයද වර්ණවත් වන කාලයක් තමයි මේ ගෙවී යන්නේ. මේ සියල්ල නිසා මේ කාලය වසන්ත කාලය නමින් හඳුන්වනවා.

නමුත් අන් අවුරුදු වල මෙන් මේ අවුරුද්දේ මේ උත්සවය ලස්සනට සමරන්න බොහෝ පවුල් වලට නොහැකි වුණා.

කොරෝනා වසංගත බිය මුළු ලෝකය පුරාම පැතිරී ඇති මේ මොහොතේ, අපේ රටේ සෞඛ්‍ය සේවයේත්, ආරක්ෂක සේවයේත් රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළේ ඇති සාර්ථක බව නිසා ම වසංගතය මෙරට පැතිර යාම යම්තාක් දුරට පාලනය වී ඇතත් විදෙස් රට වල පැය 24ක් ඇතුළත මිය යන ගණන ඇසූ විට අප සැමටම දැනෙන්නේ දැඩි බියක්. ඉදිරියේදීවත් අපේ රටටත් අද විදෙස් රටවලට අත් වූ එම ඉරණමම නම් අත් නොවේවා යන එකම පැතුම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සිතේ මේ මොහොතේත් පවතින්නක්.

එපමණක් නොව, අප රටේ බොහෝමයකට මේවන විටත් දැඩි ආර්ථික අපහසුතවයෙන් පවතී. විශේෂයෙන්ම එදිනෙදා ජීවනෝපාය සොයාගෙන ජීවත් වූ මිනිස්සුන්ට මේ අවුරුද්ද නම් අතේ මිටේ මුදල් හිඟ වූ අවුරුද්දක් වන්නට ඇති. ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම ජංගම වාහන වලින් නිවස අසලටම පැමිණියත්, ඒවා මිලදී ගන්න අතේ සල්ලි නැති වූ විට කෙතරම් අසරණ බවක් ඒ හිත් වලට දැනෙන්නට ඇතිද? තම දරුවන් කෑම බීම ඉල්ලා හඬන විට පොඩි දෙයක් වත් අරන් දෙන්න වරම් නැති ඒ මවුපියන්, කෙතරම් නම් අසරණ වන්නට ඇතිද? එවන් වූ දුක්ඛිත කාලයකුත් ඔවුන් දැන් මේ පසුකරමින් ඉන්නේ.

කෙසේවෙතත් මොහොතක් නිවැරදිව සිතා බැලුවහොත්, ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාම රට වෙනුවෙන් මෙහෙවරක යෙදී සිටිමු. මෙය පවුලකට දෙකකට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොවේ. මුළු රටම මේ අපහසු කාලය පසු කරමින් සිටියි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අප ආඩම්බර විය යුතු කරුණ නම් මෙවන් අසීරු මොහොතක ඇති අය තමන්ට හැකි අයුරින් නැති අයට උපකාර කරමින් සිටීමයි. අප අතර ඇති ඒ සබැඳියාව වර්ධනය කරගැනීම අලුත් අවුරුද්ද සාර්ථකව සැමරුවා හා සමානය.

අපි යම් දුකක් විදිනවනම් එසේ සිදු කරන්නේ අපේ මවුබිම වෙනුවෙනි. ලෝවැසියන් බොහෝ දෙනෙක් මෙන්ම අප රටේ ද බොහෝ දෙනා කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින මොහොතක අප සැම සතුටින් මේ උත්සවය සැමරීම එතරම් සාධාරණ නොවේ. මේ නිසා මා සිතන ආකරයට නම් අවුරුද්ද සමරන්න වරම් නොලැබුනත් ඒ නිසා දුක් විය යුතු නැත. මන්ද යත්, හැකි ආකාරයෙන් සතුටින් මේ දින කිහිපය අපි ගෙවා දැමිය යුතුයි. එය ශ්‍රී ලාංකික අපේ මේ මොහොතේ වගකීමයි.

මේ උත්සව කාලය ඉදිරි අවුරුදු වලත් මෙලෙසටම පැමිණේවි. අපට පෙර පරිදිම සැමරීමට හැකි වේවි.

වසංගතය අප සැම එකමුතු කමින් සහ උවමනාවෙන් මේ මොහොතේ අවසන් කරගතහොත් අපට ලබන අවුරුද්දේ මේ සමය පෙර අවුරුදු වල මෙන් ලස්සනට සැමරීමට හැකිවනු ඇත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමෝධා සචිකො

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment