“හිත්වල ආදරේ හිස් වුණාම ඒ හිත් වලට යක්කු රිංග ගන්නවා. හිස් වුණ ආදරෙත් අරන් දෙවිවරු වැඩියම ඒ යක්කු පැනල යනවා…”
සමාජ මාධ්‍ය තුළින් උපුටා ගත් ඉහත වැකිය ඇසු සැනින්, ඔබ ලංකේය සිනමාවේ රසිකයෙක් නම් ඝරසර්ප චිත්‍රපටය මතක් විය යුතුම ය. ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් රචිත ප්‍රභාත් රොෂාන් සිනමාකරණය කළ ඉසුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් ලෙස 2018 වර්ෂයේ දී ඝරසර්ප ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය විය.
1980 දශකය ආශ්‍රය කර ගොඩනැගෙන මෙම කතාව වර්තමානය තුළ සුලභව නගරාශ්‍රිතව ඇසීමට නොලැබුණත් අදටත් ගම් දනව් වල ඝරසර්ප ආශ්‍රිත කතා රැසක් පවතියි. මෙවැනි කිසිදු අදෘශ්‍යමාන හෝ දෘශ්‍යමාන නරක දෑ ඉදිරියේ උදාරතර මනුෂ්‍ය ගුණ නැති කර නොගන්නා පිරිස් අදටත් සිටින බවට සාක්ෂි දැක්වීම මෙම චිත්‍රපටයේ එක් අරමුණක් ලෙස දැක්විය හැකිය.
මෙහි ප්‍රධාන චරිත ද්විත්වය සඳහා අතීතය හා වර්තමාන කතාව තුළ තරුණ හා වැඩිහිටි විය නිරූපණය කරන බැවින් සඳරැස් එදිරිසිංහ ගේ චරිතයෙහි තරුණ වියට දෙව්නක පොරගේ පන පොවන අතර වැඩිහිටි වියේ දී කමල් අද්දරආරච්චි රංගනයෙන් දායක වේ. විද්‍යාගේ චරිතයෙහි තරුණ වියට කාවින්ද්‍යා අධිකාරී රංගනයේ යෙදෙන අතර වැඩිහිටි විය නිරූපණය කරනු ලබන්නේ සංගීතා වීරරත්න විසිනි.
කළු කුමාර නොහොත් ඝරසර්ප චරිතයට ජැක්සන් ඇන්තනී මහතා අතිවිශිෂ්ට රංගනයක යෙදෙන අතර තවත් අතුරු චරිත කීපයක්ම ඇත.
1980 කාලයේ දී යක්ෂාවේශය ලද තරුණියක් ගදාගම පල්ලියට රැගෙන යන ගමනින් චිත්‍රපටය ආරම්භ වේ. දෙමළ තරුණියක් වන ඇය නමින් විද්‍යා නම් වේ. තම අන්තෝනි නම් ඥාතියෙකුගේ යක්ෂාවේශයක් ඉවත් කිරීමේ අරමුණින් ඔහු සමඟ සඳරැස් ද ගදාගම පල්ලියට යන ගමනේ දී මෙම අහඹු හමු වීම සිදු වෙයි.
සඳරැස් බාහිරින් මෙන්ම අභ්‍යන්තරිකව ද මෛත්‍රී සිතුවිලි ගහණ ළතෙත් සිතුවිලි ඇති තරුණයෙකි. එමෙන්ම ඔහු ආදරණිය ය. විද්‍යා, ආදරය හිස් වූ මෙතෙක් ආදරය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව කළු කුමාර බැල්මෙන් පීඩිත වූ තරුණිය කි. අහම්බෙන් වාහනය තුළ සිටි විද්‍යා දකින සඳරැස් නන්නාඳුනන මේ තරුණියට සිනහවකින් පමණක් සංග්‍රහ කරයි. කිසි දාක නැතිව විද්‍යා ද පෙරළා සිනහ වෙයි. පසු බිම තුළින් කළු කුමාර ආමන්ත්‍රණය විද්‍යාගේ මනසට නැගී එකවරම ඇය අනෙක්පස බලා ගනියි.
කළු කුමාර හඬ ඒ මොහොතේ මෙලෙස පවසයි.
“මට ඕන වුණා උඹ යන වෑන් එක පෙරලන්න. ඒක චප්ප කරලා දාන්න. ඒකට මම උඹේ හිතට රිංගන්න ඕනේ. මෙන්න බොලේ කවදාවත් නැතුව මට ඒක කරන්න බෑ. මගේ යක්ෂ කට්ටුවට වත් බෑ. මොකද උඹේ හිත පිරිලා. උඹේ හිත ආදරයෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරිලා. ගල්මුසල ගස් බල්ලා…”
විද්‍යා ගේ හිතට පහසුවෙන් රිංග ගත්තත්, එපරිදිම සඳරැස්ගේ හිතට ද ඇතුළු වීමට උත්සහ ගන්නා කළු කුමාරයාටවත් යක්ෂ කට්ටුවටවත් එය කිරීමට නොහැකි වෙයි. චිත්‍රපටයේ අරම්භයෙන්ම ලබා දෙන ඉඟිය එයයි. ආදරය, කරුණාව, සෙනෙහස පිරුණු හිත තුළට යක්ෂ හත් කට්ටුවටවත් හානියක් කළ නොහැක.
ගදාගම පල්ලියේ පියතුමාගේ චරිතයට පන පොවන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ය. කැමිලස් දාබරේ පියතුමා ඉදිරියේ දී විද්‍යාගේ යක්ෂාවේශය නැවත සිදුවන අතර එය දකින සඳරැස් ඇය අසලට පැමිණෙයි. ඉතා රෞද්‍ර ස්වරූපයකින් සඳරැස් දෙස බලන ඇය ක්ලාන්තය වි ඇද වැටෙයි.
සවස් යාමයේ දී පල්ලියේ යාඥාවට රෝගී වූ සියලු දෙන පැමිණෙයි. එහි දී ද අනෙකුත් සියලු දෙනා අවේශයෙන් පසු වුණත් විද්‍යා ආවේශ වුයේ නැත. මන්දයත් සඳරැස් ගේ බැල්ම ඇයට වැටී හමාර ය. කලුකුමාර බැල්මට ඇයට ලං වීමටවත් දැන් ඉඩක් නොමැත.
මෙය සුක්ෂම ලෙස බලා සිටින කැමිලස් පියතුමා විද්‍යාගේ දෙමවුපියන් හට තම දරුවා මහා පුජාවෙන් පසු පුර්ණ වශයෙන් සුවය ලබාවි යැයි පවසයි.
මහ පුජාවට පෙර ඔවුන් දෙදෙනා පල්ලිය අසල ඇති කඩමණ්ඩිය තුළ දී හමුවෙයි. ජනාශ්‍රිත මෙන්ම පෙම්වතුන් අතර ප්‍රසිද්ධ ඇතැම් කියමන් කෙරෙහි මනා සංයමයකින් යුතුව විමසා බලන ජයන්ත චන්ද්‍රසිරි මහතා “ලේන්සු මුලින්ම හුවමාරු කළාම ඒ පෙම්වතුන්ට වෙන්වෙන්න වෙනවා” යන මෙම කියමන මගින් අනාගතය පිලිබඳ ඉඟියක් ද සපයමින් ඔවුන් මුලින්ම ලේන්සුවක් තෑගි ලෙස හුවමාරු කර ගැනීම සිදු කරයි.
මෙම චිත්‍රපටය තුළ ප්‍රේමයෙ හි උච්චතම දෙබස් කීපය සිදු වන්නේ මෙම අවස්ථාව තුළ ය.
“විද්‍යා: හෙට මහා පුජාවෙන් පස්සේ තමයි යකා යන්නම යනවා කියන්නේ.
සඳරැස්: ඒ කියන්නේ හෙටින් පස්සේ යකත් යනවා, ඔයත් යනවා.
විද්‍යා: මට ඔයාට කරන්න request එකක් තියනවා.
සඳරැස්: ඒ මොකද්ද?
විද්‍යා: හෙට මහා පුජාව තියන තැනට ඔයා එන්න එපා.
සඳරැස්: ඇයි?
විද්‍යා: මම කැත වෙනවා ඔයා දකිනවට මම කැමති නෑ.
සඳරැස්: මට දැන් ඔයා කොහොමත් එකයි.”
ප්‍රේමයේ ඉතා සියුම් තැන් දෙබස් ගත කරමින් සිනමකරණයේ උපරිම සංවේදනය ප්‍රේක්ෂකයාට ලබා දුන් අවස්ථාවක් ලෙස මෙම උපුටා දැක්වීම වඩාත් සුදුසු ය.
විද්‍යාගේ හිත සඳරැස් කෙරෙහි උපන් කුළුඳුල් ප්‍රේමයෙන් මුසපත් වි හමාර ය. තවත් කුරා කුහුඹුවකුට තරම් වත් ඉඩක් නොමැති හිතක යක්ෂයෙක් කෙසේ නම් ලැගුම් ගන්න ද?
මහ පුජාව දින සඳරැස් ද අන්තෝනි රැගෙන දේවස්ථානයට පැමිණෙයි. විද්‍යා ද දේවස්ථානයේ රෝගීන් ට වෙන් වූ කොටසේ සිටියි. යාඥාව අතර තුර සියලු දෙනා පෙර පරිදි නොව, වඩාත් බිහිසුනු ස්වරුපයෙන් ආවේශ වී සිටියත්, විද්‍යා බලා සිටින්නේ සඳරැස් දෙසම පමණි. සඳරැස් ද සුපුරුදු විලසින් අව්‍යාජ වූ සිනහවෙන් ඇය දෙසම බලා සිටියි.
“විද්‍යා: හුඟ දෙනෙක් හිතුවේ මට එදා යකා වැහෙයි කියලා.
සඳරැස්: හිනා වේවි හිටියට මමත් හිතුවේ ඔයාට එහෙම වෙයි කියලා.
විද්‍යා: වෙනදා වගේ මගේ තොල් පටවල් හිරි වැටීගෙන ආවා. ඒත් ඔයාව දැක්කම, ඔයාගේ හිනාව දැක්කම, ඒ ගතිය නැති වෙලා ගියා. හැබැයි, මොකක්දෝ powers දෙකක් මගේ ඔලුව ඇතුලේ ලොකු fight එකක් කරනවා කියලා මට තේරුණා.
සඳරැස්: ඒ මමයි යකයි වෙන්න ඇති. මමත් එදා ඔයාට වැහිලනේ හිටියේ.”
කළු කුමාර දිෂ්ටිය ද ඇයගෙන් තුරන් වි යන අතර අවසාන වශයෙන් දිෂ්ටිය මෙලෙස පවසයි.
“මම පැරදුනේ උඹට නෙවෙයි. ගල් මුසලයට. තී නිදහස්. මම යනවා.”
ගල් මුසලයා යනු සඳරැස් ය. ඒ ලෙස ඇමතීමට තරම් සඳරැස් සමඟ යක්ෂයාට කේන්තියක් ඇත. ආදරය නමැති පිරිත් පැන් ඉස යක්ෂ වේශයෙන් මුදවා ගත්තේ ඔහු ය. සැබවින්ම පල්ලිය තුළින් ඇයව සුව නොවූ බව පියතුමා ද පිළිගන්නා කරුණකි.
කැමිලස් දාබරේ පියතුමා නික්මයාමට සුදානම් වන විද්‍යා ව අමතා මෙලෙස ප්‍රකාශ කරයි.
“මේ හැමදෙනාවම සනීප කළේ මම තමයි. හැබැයි, මම නෙවෙයි තමුන්ව සනීප කළේ”
හිස් නොවුණු අදරණීය හිත්වල යක්කුන්ට අරක් ගැනීමට ඉඩක් නැත.
චිත්‍රපටයේ එන සමිතා මුදුන්කොටුව මහත්මිය හා ප්‍රවීන ගායක බාචි සුසාන් එක්ව ගායන කරන ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින්ම පද රචනය කළ චින්තක ජයකොඩි ගේ සංගීතයෙන් ඔපමට්ටම්ව ඇති “හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ…” ගීතයෙහි මිහිරියාව සටහන් කිරීමට වචන නොමැති තරම් ය. ශෝකාන්තය ද ශෘංගරය ද සහිතව රචිත මෙම ගීතය, චිත්‍රපටයේ රසවින්දනය වැඩි කළ එක් සාධකයකි.
සඳරැස් සහ විද්‍යා තම තමන්ගේ ලිපින හුවමාරුවෙන් පසු දේවස්ථානයෙන් නික්මෙයි.
පසුබිමින් ගීතයෙහි කොටසක් ගයනු ලබයි.
“භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණිය ද
ඔබම වේ මට සැනසුම්…
මට සැනසුම්…”
මේ භවයේ මුලින්ම නැතත් ඔබ අතරමග දී මට හමු වූ බව සැබෑවකි. එහි කිසිදු ගැටළුවක් නොමැත. ඔබේ මෘදු ස්වරුපය මෙන්ම කෙතරම් රෞද්‍ර ස්වරුපයෙන් ඔබ මා වෙත ආමන්ත්‍රණය කළත් එය ද මට ලැබෙන සැනසීමක්ම පමණි.
පෙමින් බැඳුණු දෙදෙනෙකුගේ ප්‍රේමයෙහි උච්චතම අවස්ථාව වෙන් වීමට පෙර අවසාන වශයෙන් මුණ ගැහෙන මොහොතයි.
ඔබත් මමත් හොඳින්ම දන්නා 1989 කැරැල්ල හේතුවෙන් විද්‍යා ලංකාවෙන් පිට වෙයි. සඳරැස් උසස්පෙළ විභාගයට පෙනී සිටියි.
කතාවෙහි සමෝදානය ගළපන චන්ද්‍රසේනයන්, සඳරැස්ගේ වැඩිහිටි චරිතය කමල් අද්දරආරච්චි ද විද්‍යාගේ වැඩිහිටි චරිතය සංගීතා විමලරත්න විසින් ද රංගනයේ යෙදෙති. ෆ්‍රැන්කි එදිරිසිංහ, සඳරැස්ගේ බිරිඳ වන අතර පසු කාලීනව ඇයට ද කළු කුමාර දෝෂය ඇති වීම මගින් මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇය යොමු කරවයි. ෆ්‍රැන්කි එදිරිසිංහගේ චරිතයට අමිෂා කාවින්දි රංගනයෙන් දායක වෙයි.
නැවතත් තරුණ වියෙහි කතාව ඉදිරිපත් කරමින් එහි සුවිශේෂී අවස්ථාවක් දක්වයි. එනම්, සඳරැස් විද්‍යාගෙන් කිසිදු ලියමනක් හෝ හමුවීමක් නැතිව ඇයට පණිවිඩයක් යවන්නේ කෙසේ ද යන්න තම මිත්‍රයින් සමඟ කතා කරමින් සිටියි. එහි දී උපහාසයට මෙන් නෝනිස් ජෝයි විසින් යක්ෂයෙක් අතීතයේ දී තම පෙම්වතියට මේඝයක පණිවිඩ යැවූ බව පවසා කළු කුමරයාගෙන් උදවු ඉල්ලමු යැයි පවසයි.
“නෝනිස්: කෙල්ල ලෝකේ කොහේ හිටියත් පණිවිඩ යවන්න කෙනෙක් ඉන්නවා.
සඳරැස්: ඒ කවුද?
නෝනිස්: කළු කුමාරයා බොගේ යාළුවා… යකෙකුට පුලුවන්නම් මේඝයක් යවලා එයාගේ පෙම්වතීට පණිවිඩයක් යවන්න, යකෙකුට බැයිද හොඳ කොල්ලෙකුට මේකට support එකක් දෙන්න…”
“ප්‍රබන්ධ තමයි දවසක ඇත්ත වෙන්නේ, ඇත්ත තමයි දවසක ප්‍රබන්ධ වෙන්නේ…”
මෙම කියමන කෙතරම් සාර්ථක ද යන්න ඝරසර්ප චිත්‍රපටය සාක්ෂි දරයි. ප්‍රබන්ධයක් මුල් කරගෙන නිර්මාණය කළ මෙම චිත්‍රපටය ඇතැමෙකුට සත්‍යයකි. තවකෙකුට අමුලික බොරුවකි.
උත්සාහය අත්නොහරින සඳරැස් තම මිත්‍රයන් සමඟ ගමෙහි කළු කුමාර දිෂ්ටිය වැළඳී තොවිලයක් සිදු කරන ස්ථානයකට ගොස් බලා සිටියි. එහි දී දිෂ්ටිය වැහුණු කාන්තාවගේ චරිතය යශෝදා විමලවීර විසින් රංගනයෙන් දායක වෙයි.
සඳරැස් මෙන්ම මිත්‍රයන් ද මවිතයට පත් කරමින් කළු කුමාරයා විසින් යකැදුරා විමසන ප්‍රශ්න අතර සඳරැස් අමතයි.
“කළු කුමාරයා: ගුරුන්නාන්සේ… මගේ යාළුවෙක් ඇවිදින්…
ස…ඳ…රැ…ස්… මේ අහපන්, උඹ ඒකිව මගෙන් බේර ගත්තා තමයි. උඹ තවම පොඩි එකෙක් වුණාට උඹේ ආදරේ මහා ලොකුයි බන්. මම උඹට පොරොන්දුවක් වෙනවා. එකී මුහුදු හතෙන් මෙහාට අවොත් මම උඹට ඒකිව මුණගස්සනවා මුණගස්සනවමයි…
ඒක පොරොන්දුවක්.
එහෙනම් ගල් මුසලයෝ… ඕව අමතක කරලා දැන් පලයන්…”
යකැදුරගේ උසුළු විසුළු මැද සඳරැස්ට මෙම පොරොන්දුව දෙන අතර වසර දහයකුත් නිමවෙයි. සඳරැස් විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වුව ද විද්‍යා පිළිබඳව ඇති මතකය අමතක වී නොමැත. හැකි සෑම අයුරින්ම ඇය පිළිබඳව තොරතුරක් සෙවීමට උත්සහ ගත්තත් කළු කුමාරයාගේ පොරොන්දුව නම් සඳරැස් ට අමතක වී හමාර ය.
සඳරැස් මේ වන විට වෘත්තියෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකි.
නැවතත් වර්තමාන කතාව ඉදිරිපත් කරන අතර ෆ්‍රැන්කි සඳරැස් හට තම නෝවෛද්‍යවරියට සඳරැස්ව හමු වීමට අවශ්‍ය යැයි කියූ බව පවසයි. ඒ අනුව මනෝවෛද්‍ය දොරේඅප්පා හමු වීමට සඳරැස් යයි. ඇය ළඟ දී ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි.
ඇයගේ මුව දුටු විගස සඳරැස් හට විද්‍යා මතකයට නැගෙයි. නුපුරුදු ස්වරුපයෙන් කතාබහ කරන් යන අතරතුර ඇය මෙලෙස පවසයි.
“මනෝවෛද්‍යවරියක් හැටියට මම මේ කියන දේ කියන්න මට කිසිම අයිතියක් නෑ. මේ ලෝකේ දැනීම් පිළිගැනීම් ගොඩක් තියනවා. මම ඉගෙන ගත්ත දැනීමට වඩා ඉක්මනින් රෝගීන් සුවපත් වෙනවා මම දැකල තියනවා. ෆ්‍රැන්කි තියෙන්නේ භූත දෝෂයක්.”
මෙලෙස කියා ඇය පල්ලියේ දී ප්‍රතිකාර ලබන අතරතුර පුවත්පතක ඇය පිළිබඳව පල වූ ලිපියක් පෙන්වයි. ඒත් සමඟම දෙදෙනාම තම අතීත මතක අවර්ජනයක යෙදෙන අතර සඳරැස් ද විද්‍යාව හඳුනා ගනියි. විද්‍යා ද මේ වන විටත් විවාහ වි දරුවන් ද සිටින මවකි. දෙදෙනා වැළඳ ගැනීමෙන් අනතුරුව සමු ගනියි. අවසාන වශයෙන් විද්‍යා මෙසේ පවසයි.
“ෆ්‍රැන්කි බේරගන්න පුළුවන් තදබල ආදරයකට විතරයි. හිස් නොවෙච්ච ආදරයකට. හරියට මාව එදා බේරාගත්තා වගේ.”
එදා සඳරැස් දුන් ලේන්සුව ඇයගේ ඒ පත්තර පිටු අතර තවමත් සිහිවටනයක් ලෙස තබා ඇත. කතාවේ මුලින්ම දුන් ඉඟිය පරිදිම ඔවුන්ට කෙතරම් ආදරයෙන් සිටිය ද එක් වීමට ලැබුණේ නැත. 89 කලබල යුගය තුළවත්, විද්‍යා දමිල තරුණියක් වූ නිසාවත් සඳරැස්ගේ ප්‍රේමයෙහි වෙනසක් සිදු වුයේ නැත. එක් වීමට නොහැකි වුව ද විද්‍යාව දුටු මුල් දිනයේ මෙන් අදටත් සඳරැස් තුළ උපන් ආදරය එලෙසම පවතියි.
සඳරැස් රෝහලෙන් පිටවන විටම අසල සිටි හෙදියක් එකවරම ආවේශ ස්වරුපයෙන් මෙලෙස පවසයි.
“ස…ඳ…රැ…සෝ… ඔන්න අපි පොරොන්දු ඉෂ්ට කළා.
සඳරැස්: බොහොම ස්තූතියි. දැන් ඔය ඇති.”
මෙලෙස පවසා සඳරැස් ඉතාම කණගාටු ස්වරුපයෙන් රෝහලෙන් පිට වි යන අතර පසුබිමින් ගීතයෙහි කොටසක් වැයෙයි.
“මල් පිපෙන මහා කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්…”
සමිතා මුදුන්කොටුව මහත්මියගේ හඬින් වැයෙන ඉහත ගී කණ්ඩයෙහි අන්තර්ගතය නොකියාම බැරි ය.
මහා ඝන කැලෑවක මල් පිපීම ඉතාම සොඳුරු මෙන්ම වනාන්තරයේ ද සුන්දරම අවස්ථාව එය යි. කාන්තාර බිමකට වැසි වැටීම දුර්ලභයන්ගේත් දුර්ලභ වුවක් බැවින් එසේ වැටෙන මොහොත කාන්තාරයේ සුන්දරම අවස්ථාව යි. කළු කුහරයන් තරු ගිල ගන්න තරම් භයානක බව සැබෑවකි. නමුදු, කෙතරම් භයානක අවස්ථාවල කෙතරම් දුර්ලභ අවස්ථාවක වුවත් ඇතැම්විට මිත්‍රත්වය පිදීමට සුදානම් වන්නේ ඒ භයානකය යැයි පැවසුවන් විය හැකිය. එවිට පෙර කියූ පරිදි එම අවස්ථාව ලොව ඇති එක්තරා සුන්දරම යැයි හඟවන අවස්ථාවන්ට අයත් වේ.
එබැවින් නොසිතු විලස වසර දහයක් ගත වූ පසුත් ඝරසර්ප නොහොත් කළු කුමාරය ද සඳරැස් හට මිතුරුදම් පාමින් ඔහුට වූ පොරොන්දුව ඉෂ්ට කරනු ලබයි. ෆ්‍රැන්කි මාර්ගයෙන් සඳරැස් ට විද්‍යාව මුණගස්වන්නේ පොරොන්දු ඉෂ්ට කිරීමට ය. අතිශයෝක්තියක් වුව ද චන්ද්‍රසේනයන්ගේ පද ගැළපීම, අන්තර්ගතය ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ට ය. එසේම සියුම් ලෙස ජාති භේදය හේතුවෙන් රටේ මන්දබුද්ධික පිරිස් ක්‍රියා කළ ආකාරය ද, එතුළින් කොටසකට රට හැර යාමට සිදු වීම, ඒ අතරතුර සඳරැස් වැනි මනුෂ්‍යත්වයට පමණක්ම හිතැතිව සිටි අතලොස්ස නිරුපණය කළ ආකාරය ද අතිවිශිෂ්ට ය.
මෙම චිත්‍රපටය තිරගත වූ අවධිය තුළ ගුණ මෙන්ම දොස් ද එමට ය. චන්ද්‍රසේන පණ්ඩිතගේ විසින් මෙලෙස පවසන ලදී.
“මට දැනෙන විදිහට ජයන්ත, එදා කරුණාසේන ජයලත් ගොළු හදවත ලියා තරුණ පරම්පරාව තුළ ජනිත කළ ආදරයේ උත්තරීතරභාවය ඒ ආකාරයෙන්ම ආදරය නොහඳුනන වල් වැදී උන්මත්තකව දඟලමින් සිටින වර්තමාන තරුණ පරම්පරාව තුළ ජනිත කර ඇත. එපමණක් නොව ජාති වාදය තරුණ පරම්පරාවට අයත් දෙයක් නොවන බව ද සනිටුහන් කර ඇත. ඉතා වැදගත් දෙය වන්නේ, අප හා දෙවියන්, අප හා යක්ෂයින්, අප හා විශ්වය අතර ඇති අන්තර් සබඳතා ඔපමට්ටම් කර පෙන්වීමයි. ඇත්තටම මෙම චිත්‍රපටය මිනිසුන් සඳහා නිර්මාණය කළ වුවක් වන අතර මිනිස් ශරීරයක් සහ වානර මනසක් සහිත නොදියුණු සත්ත්වයින් සඳහා නිර්මාණය නොකළ බව ද පැවසිය යුතුමය.”
එසේම මහාචාර්ය වසන්ත දේවසිරි මහතා විසින් මෙලෙස අදහස් දක්වයි.
“මේ කතන්දර දෙක අතර අපට හසු විය යුතු තවත් නොකී කතාවක් ද ඇත. එනම් 1980 ගණන් වල ඇති වූ කුරිරු ත්‍රස්තවාදයෙන් මිනිස් ජිවිත ගණනාවක් බිලිගත් බව සැබෑවකි. මෙවන් වටපිටාවක බොහෝ දෙනෙකුට මතක් වන්නේ යුද්ධය හා බටහිරකරණය තුළ අපට අහිමි වි ගිය දේවල් ය. නමුත් ජයන්ත චන්ද්‍රසිරි ඝරසර්ප තුළින් අපට පෙන්වා දෙන්නේ යුද්ධය හේතුවෙන් අපට අහිමි වී නොගිය දේවල් ය. එනම් ආගන්තුක ක්ලේශයන් නිසා විනාශ නොවුණු කරුණාවෙන්, මෛත්‍රියෙන් ප්‍රභාෂ්වර වූ අප සතු විඥානයි. 1980 දී මෙන්ම 2018 දී ත් ඔවුන් දෙදෙනා හමු වී දුක සැප බෙදාගන්නේ, ආදරය කරන්නේ ජාති ආගම භේද වලින් මිදුණු පිරිසක් ලෙස ය. එදා පාරම්පරික නිර්මාණයේ කොටසක් වූ කළු කුමාරයා (ඝරසර්ප) ඔවුනට හිමි තැන සිහි කරවමින් වරෙක හිතවත්ව හැසිරෙයි”
මේ අයුරින් ඝරසර්ප නිර්මාණය නුතන පරපුරට ලද ආශීර්වාදයක් ලෙසට නම් කිරීම වඩාත් සුදුසු යැයි සිතමි.
යකැදුරන්ගේ යාතු කාර්ම මධ්‍යයේ සහ සමහරුන්ගේ උසුළු විසුළු මධ්‍යයේ කළු කුමරා තවමත් සක්‍රීය ලෙස සැරිසරයි. කෙසේ නමුත්, එදා මෙන් අදත් ආදරය සෑම තැනකම ය.
References :
Images :
Leave a Comment