චීවර මාසයේ ඇරඹුම – උතුම් වප් පොහෝ දිනය අදයි.
මහ සෙනගක් එක්ව එකවර බුදු පදවි පැතූ අසිරිමත් වප් පුන් පෝය අදයි.
“නමේ දිට්ඨො ඉතෝ පුබ්බේ නස්සුතෝ උදකස්ස ච
එවං වග්ගුවදෝ සත්ථා තුසිතාගණිමාගත“
සම්බුද්ධත්වයෙන් හත්වෙනි වස් කාලය තව්තිසා දෙව්ලොව වැඩ සිටි අප තිලෝගුරු බුදු පියාණන් දෙව් ලොවින් යළි මනු ලොවට වඩිනා මොහොතයි. සාධු දනන්ගේ අසීමිත භක්ත්‍යාදරය මුසු වූ සාධු…! සාධු…! නාදය සංකස්සපුරයෙන් ඇසෙද්දී සැරියුත් මහ රහතන් වහන්සේ බුදු පියණන්ගේ සිරි පතුල ස්පර්ශ කරමින් “මෙවන් බුද්ධානුභාවයක් මීට පෙර කිසිදා නොදුටුවෙමි. බුදු රජාණන්ගේ බලය අහෝ…! ආශ්චර්යයකි.” යනාදී ලෙස ඉහත පාඨයන් දෙසමින් බුදු පියාණන්ගේ ගුණ වර්ණනා කරන්නට වූහ.
මේ අසිරිමත් සිදුවීම සිදු වූයේ අද වන් උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.
මාතෘ දිව්‍ය රාජයාණන් (සිද්ධාර්ථ කුමරු ඉපදී සත් දිනකින් කළුරිය කොට දෙව් පුතෙක්ව පහළ වූ මහාමායා බිසවුන් වහන්සේ) කෙරෙහි අනුකම්පාවෙන් මාතෘ දෙව් පුතුට අනුග්‍රහ පිණිසත් කළගුණ දක්වනු පිණිසත් තව්තිසා දෙව්ලොවට වැඩම කර එම වස් කාලය පුරා තෙමසක් ශක්‍ර දෙවිඳුන්ට අයත් පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩ හිඳිමින් මාතෘ දෙව් පුතුට අභිධර්මය දේශනා කරන ලදී.
දේශනාව ශ්‍රවණය කළ මාතෘ දිව්‍ය රාජයා සෝවාන් ඵලයේ පිහිටි අතර අසූකෝටියක් දෙවියන් මගඵල අවබෝධ කර ගත්හ. මෙම කාලය අවසානයේ දෙව්ලොව සංචාරයෙහි වැඩි මහා මුගලන් තෙරුන් බුදු හිමි හමුව බුදුන් වහන්සේගේ මනු ලොව වැඩම වීම පිළිබඳ විමසූ කල සත් දිනකට පසු තමන් වහන්සේ සංකස්සපුරයෙන් මනු ලොවට වඩින බව දෙසූහ.
මේ පිලිබඳ දැනගත් ජනයාගෙන් සංකස්සපුරය පිරී ඉතිරී යන්නට විය. අවසානයේ ඒ පරම පූජනීය මොහොත උදා විය. සොබා දහම් මාතාවන් පවා බුදුන් පුදනට සෞම්‍ය සුවයක් විහිදුවන්නා මෙන්ය. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සුසැදි බුදු පියාණන් ස්වර්ණමය සත් රුවනින් සුසැදි ඉනිමගකින් මනු ලොවට වඩින්නාහ. දෙව් බඹහු මල් ගඳ සුවඳ දුමින් බුදුන් පුදන්නාහ. මුළුමහත් අහස් තලයම ෂඩ් වර්ණ රශ්මියෙන් වැසී ගොස්ය. දෙව් බඹුන්ගේ අසීමිත පූජෝපහාරත් සැදැහැතියන්ගේ සාධු නාදයත් මධ්‍යයේ දේව සේනා පිරිවරාගත් අප ගෞතම බුදු පියාණන් තම බුද්ධ කෘත්‍ය තුළ එකම “ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යය“ දක්වන්නට වූහ. මෙම අවස්ථාවේදී දෙවියන් බඹුන් මෙන්ම දසදහසක් සක්වල, බඹ ලොව, අවීචිය ආදී සියලු තැන් පැහැදිළි ලෙසින් දර්ශනය වූ බව ශාසන වංශකතාවේ දැක්වේ.
වප් පුන් පොහොය දිනයේ බුදු සිරිත තුළ සිදු වූ අසිරිමත්ම සිදුවීම නම් මෙකී “දේවාරෝහණ පූජාව“ නම් අවස්ථාවයි.
එසේම මෙම අවස්ථාවට පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා උතුම් බුදු බව එක විට ප්‍රාර්ථනා කරන ලද බවත් ඒ අතර සිටි සිරිවර්ධන නම් ගම්පතියාගේ පුත් සිරිවර්ධන කුලපුත්‍රයා බුදු රඳුන් වෙතින් පැවිදි උපසම්පදාව ලබා ගත් බවත් සඳහන් වේ. මෙම කුලපුත්‍රයා අන් කිසිවෙකුත් නොව මතු බුදු වන මෙත් බෝසතාණන් වහන්සේ වන අතර ඒ අනුව තම අවසන් මිනිස් ලොව ආත්ම භාවයේදී මෙත් බෝසතුන් ගෞතම බුදු පියාණන්ගෙන් පැවිදි උපසම්දා ලැබීම වප් පෝදා සිදුවූ සුවිශේෂී සිදුවීමකි.
මේ අතර ධර්ම සේනාධිපතිවර මහා සැරියුත් මහ රහතන් වහන්සේ අසීමිත බුදු බැතියෙන් යුතුව බුදු ගුණ වර්ණනා කරන්නට යෙදුණු අතර එහිදී බුදු මුවින් වදාළ දහම් අසා බොහෝ දෙනා ධර්මාවබෝධය ලදහ. අනතුරුව බුදු පියාණන් සාරිපුත්තයන් වහන්සේගෙන් පැනයන් විමසන්නට වූ අතර සාරිපුත්තයන් වහන්සේ අති දක්ෂ ලෙස පිළිතුරු සපයනු දුටු අමා මෑණියන් වහන්සේ ගෞතම බුදු සසුනේ ප්‍රඥාවන්තයන් අතරෙහි අග්‍රස්ථානයෙහි සැරියුත් හිමියන් නම් කරන ලද්දේ ද එම වප් පෝ දිනයේදීමය.
ශාසන ඉතිහාසයේ මෙන්ම ලාංකේය බෞද්ධ වංශකතාව තුළ අතිශය වැදගත් සිදුවීම් රාශියක් වප් පොහෝ දින සිදු වී ඇත.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද පේතවත්ථු හා විමානවත්ථු සහිත සද්ධර්මය ශ්‍රවණය කළ අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් සෝවාන් ඵලයට පැමිණි අතර දෙවන දින රජතුමා විෂයෙහි දෙසන ලද වේළුවනාරාම වස්තු දේශනාව අවසන ඒ සැම සකෘදාගාමී ඵලයෙහි පිහිටියහ. මේ තත්වය තුළ මහ මිහිඳු හිමියන්ගේ මැදිහත් වීමෙන් කාන්තා පැවිද්ද උදෙසා භික්ෂූනීන් වහන්සේලාත් උතුම් ජය ශ්‍රී මහා බෝ රජුන්ගේ ශාඛාවක්ද රැගෙන ඒම පිණිස දෙවන පෑතිස් රජතුමා විසින් අරිට්ඨ කුමරු ඇතුළු පන්සියයක් දූත පිරිස දඹදිව පැලලුප්නුවර වෙත පිටත් කර හරින ලද්දේ ද වප් පොහෝ දිනක ය.
එසේම මෙරට තුළ සම්බුදු සසුන පිහිටු වීමට නම් මෙරට සිංහල දෙමාපියන්ට දාව උපන් කුල දරුවෙකු මෙරට දී පැවිදිව විනය පිටකය හදාරා මෙරටදීම විනය සංගායනා කළ යුතු යැයි මිහිඳු හිමියන් විසින් දෙවැනි පෑතිස් රජුට පැවසූ කල්හි රජුගේ අනුග්‍රහයෙන් මිහිඳු මාහිමියන්ගේ අධීක්ෂණයෙන් අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාම පුද බිමේදී අදවන් වප් පුර පෝය දිනක විනය සංගායනා කළහ. ඒ සමඟ මහ පොළොව කම්පා වෙමින් ලංකා ධරණීතලය තුළ ගෞතම බුදු සසුන සුපිහිටි බව සඳහන් වේ.
මෙරටට වැඩම වීම පිණිස වෙන් කළ යුතුව තිබූ දඹදිව ජය ශ්‍රී මහා බෝ රජුන්ගේ දක්ෂිණ ශාඛාව ධර්මාශෝක මහාධිරාජයාණන් විසින් සලකුණු කළ අවස්ථාවේ ඉබේම වෙන්වූ ශාඛාව රන් බඳුනෙහි වැඩ හිඳියේ ද අද වන් වප් පෝ දිනකය.
වප් පුන් පොහෝ දිනය බෞද්ධයින් හට තවද වැදගත් වන්නේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේ ද මෙම පොහෝ දා වීමයි. ඊට හේතුව නම් වප් පෝයෙන් පසුව වස් තුන් මාසය අවසන් වීමත්, ඒ හා සමඟ විහාරස්ථානවල කඨින පින්කම් ආරම්භ වන අතර එතැන් සිට ඉල් පොහෝ දා දක්වා භික්ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජාව සිදු වෙයි. වප් පොහොයත් සමග කඨින චීවර මාසය මෙලෙසින් ඇරඹෙයි.
වප් යනු වැපිරීමයි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද අතීතයේ සිට කෘෂිකර්මාන්තය මූලික කර ගත් රටවල් බැවින් මෙම මාසයේ යෙදෙන වප් මගුල් උත්සවය අතිශය වැදගත්කමක් උසුලයි. බෝසතුන් ඉපිද පස් මසක් ගිය තැන සුදොවුන් රජුගේ ප්‍රධානත්වයෙන් මේ මහා වප් මගුල් උත්සවය සංවිධානය කොට තිබිණි. උත්සවයට නුදුරු තැනක දඹ ගසක් මුල කුමරු තබා රැකවල්ලා සියල්ලෝ උත්සවයට නෙත් යොමා සිටියහ. එකනෙහි අවදි වූ මහ බෝසතාණෝ පලක් බැද ආනාපානසතිය වඩන්නට වූ අතර මේ ආශ්චර්යය දුටු කිරි මව්න් වහා රජතුමන්ට මේ ගැන දැන්වූහ. ඒ අසා එහි පැමිණි පිය රජු තම පුත් කුමරුන්ට සිය දෙවෙනි වැඳීමත් සිදු කළේය. වප් පෝදාම මෙම සිදු වීම සිදු වුණිදැයි නිශ්චිත නොවන නමුත් වප් පොහොය හා බැඳි මේ අසිරිමත් සිදුවීමද අමතක කළ නොහැකිය.
උතුම් දේවාරෝහණ පූජාව ඇතුළු අතිශය වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මේ උතුම් වප් පෝදා අපේ පැතුම නම් උතුම් තුණුරුවන්ගේ බලයෙන් වසංගත රෝ බිය නැති වී ලක් වැසි ලෝ වැසි සැමට සුව සහනය උදා වේවා! යන්නයි. තෙරුවන් සරණයි.
Images :
Leave a Comment