විශේෂ දිනයන්

ජාත්‍යන්තර ඔලිම්පික් දිනය අදයි

“ක්‍රීඩාව” යන වදන මනසෙහි මවනා සිතුවම පුද්ගලානුරූපීව වෙනස් වේ. ඔවුන් විවිධ ක්‍රීඩාවන් සඳහා දක්වන ප්‍රියත්වය ඒ සඳහා බලපානු ඇතැයි සිතිය හැකිය. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී විනෝදාස්වාදය, ශක්තිය වර්ධනය කරගැනීමේ අරමුණින් පැරැණ්නෝ විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරගත්හ. එමෙන්ම කාලානුරූපීව නීති මාලා එක්කරමින් ඒ අතරින් බොහොමයක් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ගෙන ඒමට ඔවුහු සමත් වූහ.

” ක්‍රීඩාවේ මහා මංගල්‍ය ” ලෙසින් විරුධාවලීලත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොවපුරා වෙසෙන අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වර්ණයන් ක්‍රීඩාලෝලීන්ගේ නෙත්මානයට කැන්දන එක් අපූර්ව දර්ශන රාමුවකි. නමුදු ජන ක්‍රීඩාවේ ආරම්භය හා විකාශනය දෙස බැලූකල, ඔලිම්පික්හි ආරම්භය ඉන් ඔබ්බට ගිය වෙනස්ම ස්වරූපයක් ගනී. ග්‍රීසිය නිජබිම කරගනිමින් සම්භවය ලැබූ මෙම ක්‍රීඩා උළෙල එකී පරිදි සියුස් දෙවියන්ට පූජා පිණිස පැවැත් වූ අතර එය ආගමික උත්සවයක ස්වරූපයක් ගත්බව සඳහන් වේ.

ඔලිම්පික්හි ඉතිහාසය වසර ගනණාවක් ඈතට දිව යන්නකි. එකී කාලපරිච්ජේදය තුල මෙහි පුරාතන සහ නූතන ලෙස පැහැදිලි අවස්ථා දෙකක් දක්නට තිබීම විශේෂත්වයකි. ඉන් පුරාතන ඔලිම්පික් ක්‍රි.පූ 776 සිට ක්‍රි.ව 393 දක්වා පැවතුන අතර එහි අභාවය සිදුවන්නේ රෝම අධිරාජ්‍යයෙකු වූ තියඩෝසියස් ක්‍රි.ව 393 දී එය තහනම් කිරීමත් සමඟිනි. නූතන ඔලිම්පික්හි ආරම්භය සිදුවන්නේ ඉන් වසර 1503කට පසු එනම් ක්‍රි.ව 1896 දී ය. මෙම නූතන ඔලිම්පික්හි විකාශනයට ක්‍රීඩාවට මහත් සේ ඇලුම්කල පියරේද කුබ(ර්)ටීන් නම් වංශාධිපතිවරයා විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) පිහිටුවීම දායක වූවා සේම අද පවතින තත්ත්වය කරා එය රැගෙන ඒමට ඔලිම්පික් ප්‍රඥප්තියෙහි සඳහන් ව්‍යූහ සහ පටිපාටිවලට අනුකූලව කටයුතු කිරීම හේතු සාධක විය.

රටවල් 14ක ක්‍රීඩකයන් 241 දෙනෙකු තරග අවස්ථා 43ක් සඳහා ඉදිරිපත් වෙමින් ග්‍රීසියේ ඇතන්ස්හි දී පළමු පියවර තැබීය. එතැන් සිට මෙතෙක් ආ ගමනේදී 20 සහ 21 වන සියවස් තුල සිදු වූ වෙනස්වීම් හේතුවෙන් ඔලිම්පික්හි වෙනස්කම් කිහිපයකට මඟපෑදිනි. ඒ අනුව ග්‍රීස්ම සහ ශීත සෘතුවලට අදාල ක්‍රීඩා සඳහා වෙන් වශයෙන් සෑම සිව්වසරකට වරක් බැගින් එම සෘතු දෙක සඳහා දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ත වෙමින් ඔලිම්පික් පැවැත්වීම ආරම්භ විය. තවද විශේෂයක් ලෙස ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැරා ඔලිම්පික් ලෙස ද යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යොවුන් ඔලිම්පික් ලෙස ද ක්‍රීඩා උළෙල දෙකක් සෑම වසරකම උක්ත සඳහන් කල ඒවාට සමඟාමීව එක්ව තිබේ.අටවල් 14ක සහභාගීත්වයෙන් ඇරඹි මෙම ක්‍රීඩා උළෙලට වර්තමානය වන විට රටවල් 200ක පමණ සහභාගීත්වයක් ලැබී ඇත.

මෙම ක්‍රීඩා උළෙල පිළිබඳ කතිකාවට පැමිණෙත්ම කැපී පෙනෙන තවත් එක් අංගයක් නම් පංච වර්ණයෙන් යුත් ඔලිම්පික් ධජයයි. ග්‍රීසියට පමණක් සීමාව තිබූ ඔලිම්පික් ලොව පුරා ව්‍යාප්තවීම විදහා දැක්වීමට වර්ෂ 1914 දී මෙම ඔලිම්පික් ධජය ප්‍රකාශයට පත් කරන ලදී. එම කහ, කළු, රතු, කොළ සහ නිල් යන පංච වර්ණයෝ පිළිවෙලින් ආසියා, අප්‍රිකා, ඇමෙරිකා, ඕස්ට්‍රේලියා සහ යුරෝපා මහද්වීප නිරූපණය කරයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස ඔලිම්පික් ඉතිහාසය තුල ශ්‍රී ලංකා සහභාගීත්වය දෙස නෙත් යොමු කළ විට එය මුල්වරට දර්ශනය වන්නේ වර්ෂ 1948 දී ලන්ඩන්හි පැවති ඔලිම්පික්හි දී ඩන්කන් වයිට් නම් ක්‍රීඩකයා ජය ලද රිදී පදක්කම සමඟිනි. ඉන් ලද පන්නරයෙන් තවත් අභිමානවත් ජයග්‍රහණයන් ලක්බිම මත පතිත කිරීමට අපේම සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ලිපියේ අවසානයටවත්ම ඔබේ දැනුමට යමක් Colombo Beacon අප සඳහන් කරන්නේ නම්, අවසන් වරට ගිම්හාන ඔලිම්පික් උළෙලක් 2016දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වුනු අතර එය නැවත එනම් 2020 දී එනම් මෙම වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබුන ද පැවති වසංගත තත්ත්වයත් සමඟ එය මෙතෙක් අවලංගුවීම ක්‍රීඩාලෝලී අප සැමගේ කණගාටුවට කරුණකි. එමෙන්ම ශීත ඔලිම්පික් උළෙලක් අවසන් වරට වර්ෂ 2018 දී දකුණු කොරියාවේ දී පැවැත්විණි.

Design by Viraj Chithrananda

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුල්මිණී දේශප්‍රිය

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment