පීතෘ මූලික සමාජයක් තුල කාන්තාවට සම තැන අහිමි වුවද වර්තමානය වන විට බොහොමයක් රටවල කාන්තාවට සම අයිතිවාසිකම් හිමි ව පවතිනුයේ පුරුෂයා මෙන්ම සේම ස්ත්‍රිය ද සමාජයේ වැදගත් කැපී පෙනෙන චරිතයක් බව සනාථ කරමිනි.
වසරකට වරක්, දිනක් වෙන් කොට ජාත්‍යන්තර අවධානය කාන්තාව වෙනුවෙන් යොමු කරනුයේ ඇගේ ඒ ඇයට හිමි විය යුතු අයිතිවාසිකම් ඇය වෙනුවෙන්, ඇය සතු කර දීමට උදෙසා ය. ඒ වෙනුවෙන් හඬක් නැගීම උදෙසා ය. ඇයට හිමි ගරුත්වය ඇය සතු කරලනු උදෙසාය.
ඉතින්, අන්තර්ජාතික කාන්තා දිනය යනු වසරක් පුරා කැපකිරීම් රාශියක් අවසානයේ දිනා ගන්නා කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ජයග්‍රහණ සමරුම් දිනයක් ලෙස පොදුවේ සැලකුණ ද සත්‍ය වශයෙන්ම එහි සැඟවුණු අභිප්‍රායන් රාශියක් අන්තර්ගත ව පවතින්නේ ය.
වර්තමානය වන විට ලෝ පුරා බොහොමයක් රටවල් ජාත්‍යන්තර කාන්තා දිනය වසරක් වසරක් පාසා මාර්තු මස 8වන දින උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අතර ජාතික, ජනවාර්ගික, භාෂාමය, සංස්කෘතික, ආර්ථික හෝ දේශපාලනික යන කිසිදු භේදයකින් තොරව කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පමණක් සාකච්ඡාවට බඳුන් කරන සහ පිළිගැනුමට ලක් කරන දිනයක් වශයෙන් මෙදින සලකයි.
එක්සත් ජාතීන්ගේ කාන්තා සම්මේලන හතරක් මගින් සවිමත් වන්නා වූ අන්තර්ජාතික කාන්තා ව්‍යාපාරයේ ඉදිරි පියවරයන් සඳහා අවශ්‍ය සැලසුම් කෙරෙහි අවශ්‍ය වන්නා වූ ශක්තිය ජාත්‍යන්තරය මගින් නොමදව ලබා දෙන අතර එමගින් කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ සහයෝගයත් සමඟින් දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි සහභාගීත්වය ගොඩනැඟීම සඳහා පෙළ ගැසෙන්නා වූ සන්ධිස්ථානයක් බවට අද මෙය නිතැතින්ම පත් ව හමාරය. ඉතින් අදවන විට එය කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ කොඳු නාරටිය බවට පත්ව පවතී.
වසරක් වසරක් පාසා අලුත් වන්නා වූ ජාත්‍යන්තර කාන්තා දින තේමාවට සමගාමීව මෙවරත් එක් එක් රටවලට වෙන් වූ තේමාවන් රැසක් නිර්මාණය වී පවතී. ඒ අනුව අන්තර්ජාතික කාන්තා දිනය උදෙසා ලබා දෙන්නා වූ වාර්ෂික තේමාවට අනුකූලව ඒ ඒ රටවල කාන්තා දින තේමාව සකස් වන බවක් දැක ගත හැක. එකී තේමාවන් කාලානුරූපවන අතර ඒ ඒ කාලයන්හි දී ඒ ඒ රටවල කාන්තාවන් මුහුණ දුන්නා වූ ගැටලු, අභියෝග පිළිබඳ සාකච්ඡාවන්ට ප්‍රවේශයක් සපයයි.
එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික කාන්තා දින තේමාවන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 1996 වසරේ සිට භාවිතා කළ තේමා පිළිබඳ අවධානය යොමු කළ හොත් 1996 වසරේදී එය ‘අනාගත සැලසුම් කිරීම සඳහා අතීතය සැමරීම’ නම් වූ අතර 1997 වසරේදී එය ‘කාන්තාව සහ සාමය’ විය. 1998 වසරේදී එය ‘කාන්තා හා මානව හිමිකම්’ බවට පරිවර්තනය වුණි. 1999 වසරේදී ‘කාන්තාවන්ට එරෙහි හිංසනයෙන් තොර ලෝකය’ ලෙසින් ද, 2000 වසරේ දී ‘සාමය සඳහා කාත්තාවන් එක්සත් වීම’ ලෙසින් ද, 2001 වසරේ දී ‘කාන්තාවන් සහ සාමය, ගැටුම් කළමනාකරණය කරන කාන්තාවන්’ ලෙසින් තේමාවන් අරුත් ගන්වා තිබුණි.
වසර 2002 දී මෙතෙක් පැවති රාමුවෙන් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයේ තේමාවක් එක්සත් ජාතීන් විසින් තෝරාගෙන තිබුණු අතර එනම් එය ‘ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ වර්තමානය, යථාර්ථයන් සහ අවස්ථා’ නම් විය. ඊට මූලිකම පරමාර්ථය නම් පවතින්නා වූ යුධමය වාතාවරණය හමුවේ බහුල වශයෙන්ම පීඩාවට පත්වන්න්නා කාණ්ඩයක් ලෙස කාන්තාවන් හැඳින්වීමයි.
2003 වසරේ තේමාව ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සහශ්‍ර සංවර්ධන ඉලක්ක’ වූ අතර 2004 වසරේ දී එය ‘කාන්තාවන් සහ HIV/ AIDS’ බවට පත්ව තිබුණි. 2005 වසරේදී එය ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ඔබ්බට වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීම’ දක්වා පුළුල් විය.
වසර 2006 සිට 2015 දක්වාම අන්තර්ජාතික කාන්තා දින තේමාවන් ලෝ පුරා කාන්තාවන් මුහුණ දෙන ගැටලු ඍජුවම ඉලක්ක කරගනිමින් සකස් වූ අතර, ඒ අනුව 2006 වසරේ තේමාව ‘තීරණ ගැනීමේ කාන්තාවන්’ ලෙසත්, 2007 වසරේ තේමාව ‘කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය සඳහා දඬුවම් නොලැබීම අවසන් කිරීම’ ලෙසත්, 2008 වසරේදී එය ‘කාන්තා හා ගැහැනු ළමයින් සඳහා ආයෝජනය කිරීම’ ලෙසත්, 2009 වසරේදී ‘කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමට කාන්තාවන් සහ පිරිමින් එක්සත් වීම ලෙසත්, 2010 වසරේදී ‘සමාන අයිතිවාසිකම්, සමාන අවස්ථා සමඟ සැමට ප්‍රගතිය’ ලෙසත්, 2011 වසරේදී ‘කාන්තාවන් සඳහා අධ්‍යාපනය, පුහුණුව, විද්‍යාව හා තාක්‍ෂණය සඳහා සමාන ප්‍රවේශය’ ලෙසත්, 2012දී එය ‘ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් දරිද්‍රතාව සහ කුසගින්න තුරන් කිරීම’ ලෙසත්, 2013 වසරේදී ‘කාන්තාවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමට පියවර ගැනීම’ ලෙසත්, 2014 වසරේ දී ‘සැමට ප්‍රගතියක් වන කාන්තා සමානාත්මතාව’ ලෙසත් 2015දී එය ‘කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් මනුෂ්‍යත්වය සවිබල ගැන්වීම’ ලෙසත් පුළුල් පරාසයක් ආවරණය කරමින් සැකසී තිබුණි.
2016 සිට අන්තර්ජාතික කාන්තා දින තේමාවන් යළිත් ලෝකය සහ කාන්තාව සම්බන්ධ කරගනිමින් සකස් වූ අතර ඒ අනුව 2016 වසරේ දී තේමාව ‘වසර 2030 වන විට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා පියවර තබමු’ යන්න විය. වසර 2017 දී ‘වෙනස්වන රැකියා ලෝකයේ කාන්තාවන්’ ලෙසත්, 2018 වසරේ දී ‘ග්‍රාමීය හා නාගරික ක්‍රියාකාරීත්වය තුළ කාන්තා ජීවිත පරිවර්තනය’ ලෙසත් සකස්ව පැවතුණි.
මුළු ලෝකයම එක යායක් ලෙසින් ඩිජිටල්කරණය වූ යුගයක 2019 වසරේ අන්තර්ජාතික කාන්තා දින තේමාව ද ඩිජිටල්කරණය වූ මුහුණුවරකට හිමිකම් කියූ අතර එය ‘සමානව සිතන්න, ගොඩනඟන්න, වෙනස් කිරීම සඳහා නව්‍යකරණය කරන්න’ නම් විය.
2020 මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව වන්නේ ‘කාන්තා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනුම උදෙසා සැමට සාමානාත්මතාව යන්නයි. ඊට සමගාමීව මෙවර ද මෙරට අන්තර්ජාතික කාන්තා දින ජාතික උත්සවය සඳහා තේමාවක් තෝරාගෙන ඇති අතර එය නම් ‘ඇය දිරිමත්, රට සවිමත්’ යන්නයි. කාන්තාව සමාජ, ආර්ථික සහ දේශපාලනමය වශයෙන් දිරි ගැන්වීම මඟින් රට සවිමත් කිරීම එහි මුඛ්‍ය පරමාර්ථය යි.
කාන්තාව යනු දුර්වල යැයි සිතා අවතක්සේරුවට ලක් නොකළ යුතු පිරිසක් බව වර්තමානය වන විට පැහැදිලි සාධක සමඟ අනාවරණය වන අතර ලෝකයේ ප්‍රමුඛ පෙළේ ප්‍රභල පුටු ගණනාවකම මුලසුන හොබවන කාන්තාවන් මේ සඳහා නිදසුන් වශයෙන් හුවා දැක්විය හැක. වර්තමානය වන විට කාන්තා ක්‍රිඒකාකාරීත්වය වැඩි වශයෙන් පිළිබිඹු වන අතර පවුලේ ආර්ථිකයේ සිට රටේ ලෝකයේ ආර්ථිකයේ ද සැලකිය යුතු බර ප්‍රමාණයක් කාන්තාව විසින් උසුලයි.
ගෙදර දොර කටයුතු සමඟින් තම දුවා දරුවන්ගේ ද, ස්වාමියාගේ ද කටයුතු නොපිරිහෙලා ඉටු කරන ඇය ඉන් නොනැවතී හැකි පමණින් ආර්ථිකය නගා සිටුවීමට දායක වීමෙන් ම ඈ තුල පවතින්නා වූ දරා ගැනීමේ හැකියාව හා සහජ කළමණාකාරීත්වය ඇය ලෝකයට පසක් කර හමාරය. ඉතින් විටෙක මවක්, දියණියක්, ලේලියක්, සහෝදරියක් වන ඇය ම තවත් විටෙක හොඳ ව්‍යවසායිකාවක්ද වන්නී ය. ආයතන කළමණාකරිණියකද වන්නීය. තවත් විටෙක සමාජ සේවිකාවක් ද වන්නී ය. ඉතින් ඇය දුර්වල යැයි පැවසීමට උත්සාහ දැරීම කෙතරම් දුරට සාර්ථක දැයි ස්වයං චින්තනයට බඳුන් කළ යුතුමය.
“සෑම සාර්ථක පිරිමියකු පසුපසම කාන්තාවක් සිටින ලෙසින් ම සෑම යුග පුරුෂයකුම මව් කිරේ හිමිකරුවන් ය.”
ඉතින් දිනෙක මවක් වන්නට වරම් හිමිව උපන් කතක් වෙනුවෙන් නිසා ගෞරවය ලබා දීම සමාජයක් ලෙස අභිමානයක් මිස තමාට වන්නා වූ මදි පුංචිකමක් ලෙස යමෙක් සිතන්නේ නම් එය හුදෙක් තම තම බුද්ධි මට්ටමේ පවතින්නා වූ අඩුලූහුඬුකමක් ය.
ඉතින් සමාජයක් වශයෙන් අපි සැවොම කාන්තා අයිතීන් සුරකිමින් කාන්තාවට නිසි ගෞරවය ලබා දෙමු. සුරක්ෂිත සමාජයක් තුල අභිමානයෙන් නැගී සිටීමට ඇයට ශක්තියක් වෙමු. ජාත්‍යන්තර කාන්තා දින ලාංකීය අපේ වගකීම එයයි.
Leave a Comment